ගංගුබායි කාඨියාවාඩී

රට ගිණි ගන්න වෙලාවේ, මිනිස්සුන්ට ෆිල්ම් බලන්න නිදහසක් නැති බව දැන දැනත් සංජය ලීලා බන්සාලිගේ අලුත් ෆිල්ම් එක ඊයේ බලන්න හිතුනා. පෙම් පලහිලව් එක්ක පහුගිය කාලේ හැදුනු එයාගෙ ස්ටෝරියට වැඩියෙන් මියුසික්, නැටුම් උඩට ආපු ෆිල්ම් වලට වඩා මේක ටිකක් වෙනස් විදිහේ වැඩක් නිසා ඒ ගැන පොඩ්ඩක් ලියන්නත් හිතුණා.
“යුධ පිටියේ නිමක් නැතිව සටන් කරන රටේ රණවිරුවන් සේම ගණිකාවන් වන අපද දිනපතා ලොකු සටනක් කරනවා, දහසකුත් එකක් ප්රශ්ණ කරපින්නාගත් පිරිමින් පිරුණු නගරයේ සමතුලිතතාවය පවත්වාගෙන යන්නට අපටත් පැවරි ඇති කාර්යයක් තිබෙනවා”
අසාද් මයිදාන්හි තිබුණු කාන්තා සමුළුවක් අවසානෙදී එහෙම කියන්නේ ගංගුබායි කාඨියාවාඩී කියන ඉන්දියාවේ කාමාතිපුරම් වල මීට අවුරුදු හැටකට වගේ කලින් ඉඳපු වෘත්තීමය ගණිකාවක්. ඒ සමුළුවේදි ඇගේ එක මූලික ඉල්ලීමක් වෙන්නේ ලිංගික ශ්රමිකයන්ට වෘත්තීය වටිනාකමක් දෙන්න කියන එක සහ එයට නීතිමය රැකවරණයක් දෙන්න කියන එක. ඩයනා ගමගේ වගේ කෙනෙක් පහුගිය දවස්වල අපේ පාර්ලිමේන්තුවෙත් ගණිකා වෘත්තිය නීතිගත කරලා, ලංකාව පොඩි Night Economy එකකට අරන් යමු කියලා යෝජනා කරද්දි ඩයනට බැන්නත් කතාවේ එන ගංගුබායි, එවකට ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරුට ඒ වගේ යෝජනාවක් කරද්දී එයාට එහෙම බනින්න අපිට හිතෙන් නෑ. ඒක තමයි ඉතිං සිනමාව කියන්නේ.
ගංගුබායි කාඨියාවාඩී බන්සාලි බොරුවට හදපු චරිතයක් නෙමෙයි. මීට දශක හයකට වගේ වගේ කලින් මුම්බායි වල සැහෙන්න බලවත්ව හිටපු ගෑනු චරිතයක්. මුල් නම ගංගා හර්ජිවන්දාස්. එයා මුම්බායිවල කාමාතිපුරම් ගණිකා නිවාසයක ප්රධානීය ලෙස කටයුතු කලා. ඉන්දියාවේ එකල මාධ්යවේදියක් වුණු හුසේන් සයිඩ් ගේ Mafia Queen පොතේ තමා එයා ගැන ලොකු විස්තරයක් තියෙන්නේ. බන්සාලිගෙ මේ ෆිල්ම් එක හැදෙන්නේ ඒ පොතේ කතාව අනුව .
ඒ පොතට අනුව, ගංගුබායි වෙන්න කලින් එයාගෙ නම ගංගා. එරික් ඉලයප්පාරච්චිගේ අර සද කිදුරු කවියේ වගේ, ජානක වික්රමසිංහගේ සදකිදුරා මියගියා සිංදුවේ වගේ නිළියක් වෙන්න හීන තියාගෙන ඉදපු ගමේ කෙල්ලක්. තාත්තා ගාව වැඩ කරපු තරුණ සේවකයෙක් එක්ක ගෙදරට හොරෙන් එයා අවුරුදු දාසයේදී මුම්බායිවල ට පැනල එනවා. එයාව ගණිකා නිවාසයකට රුපියල් පන්සීයකට ඒ කාලේ විකුණපු පෙම්වතා පැනලා යනවා. පෙම්වතා නිසා ජීවිතයෙන් පැනලා යන්නේ නැතුව ගංගා ගණිකා වෘත්තියේ ඉදිරියට යන්න එතනින් පස්සේ තීරණය කරනවා.
කරීම් ලාලා කියන්නේ ඒ නගරෙ ඉන්න මැර ව්යාපාරිකයෙක්. ගණිකා නිවාසයට එන අය අතරේ කරීම් ලාලාගේ කල්ලියේ සාමාජිකයෙක් දවසක් ඇයව විකෘති විදිහට හිංසනයට ලක් කරනවා. ඇය ඊට යුක්තිය ඉල්ලගෙන කරිම් ලාලාව හම්බෙන්න යනවා. ලාලාගේ අතේ රාකි නූලක් එහෙම බැඳලා ඔහු සහෝදරයෙක් හැටියට හඳුන්වා ගන්නවා. කරීම් ලාලාගේ උදව් ඇතිව පැවති ඡන්දයෙන් කාමතිපුරම් වල ප්රධානීයා බවට පත්වෙනවා. එතැන් පටන් ඇය කාමාතිපුරම් වලම් ලිංගික ශ්රමියකයන් වෙනුවෙන් හඬ නඟනවා.
ඇගේ හඬ ඇහුණු ජවහල්ලාල් නේරු එවකට ඉන්දීය අග්රාමාත්යවරයා ඇයව මුණගැහෙනවා. ලිංගික ශ්රමිකයන්ට ඉන්දියාවේ තියෙන ගැටළු ගැන ඇය ඔහුට කියනවා. ඒත් ඇය ඇගේ වෘත්තීය ජීවිතය කිසිවිටෙක අතාරින්නෙ නෑ. ලිංගික ශ්රමිකයන් සහ අනාථ දරුවන් ගැන ඇය මුළු ජීවිතයම කැප කරනවා. ඔවුන්ට අධ්යාපනය ලබා දෙන්න,වෘත්තිමය ගෞරවයක් ලබා දෙන්න කළ යුතු සියලු කැපකිරීම් කරනවා. ගණිකා වෘත්තීයට අකමැති කිසිම කෙනෙක් ඇය ඇගේ ඒ ගණිකා නිවාස වල තියා ගන්නේ නෑ. ගණිකා වෙළදපොළ මුම්බායි වලින් ඉවත් කරන ව්යාපාරයට ඇය නායකත්වය දෙනවා.
ෆිල්ම් එකේ සමහර දෙබස් හරියට කවි වගේ. ඒව ෆිල්ම් එකෙන් පස්සෙත් වරින් වර මතක් වෙන ජාතියේ එව්වා.
ගංගුබායි තමන්ගේ ගණිකා නිවාසයේ නාන කාමරයේ ඉන්න වෙලාවේ එතෙන්ට තරුණයෙක් එනවා. ගංගු බායි දිහා බලාගෙන ඉද්දී ඔහු එකවර තිගැස්සෙනවා. එතකොට එයා අහනවා ” මම නාන කොට ඔබ තෙමෙන්නේ ඇයි” කියලා. ඒක අර අපිට පුරුදු ලක්ෂාන්තගේ කෙටි කවිය වගේ එකක්.
තව තැනක ගණිකා වෘත්තියේ කිසිම කෙනෙක්ට බැංකු ගිණුම් විවෘත කරන්නේ නෑ කියලා එවකට නගරයේ බැංකු හිමියන් ඔවුන්ට දන්වා එවනවා. ඒ වෙලාවේ ඇය “බැංකු හිමියන්ට හවසට ඇවිත් අපේ කාන්තාවන්ගේ ඇදුම් විවෘත කරන්න පුළුවන්නම් ඔවුන්ගේ නමින් බැංකුවේ ගිණුමක් විවෘත කරන්නට බැංකු හිමියන්ට බැරි ඇයි ?” කියල අහනවා.
ගණිකා නිවාසෙ ඉදපු කම්ලි කියල කාන්තාවක් දරු ප්රසූතියකදි මිය ගිහින් ඇගේ දේහය මිහිදන් කරන්න භාරදෙන්න කලින් ඇය මෙහෙම කියනවා. “ආදාහනකරුවන්ට භාරදෙන්න කලින් කම්ලි ගේ කකුල් හොඳට තදට බැඳලා යවන්න. ඔය ආදාහන වැඩ කටයුතු කරන තැන්වලත් ඉන්නේ පිරිමි අය. අපිට විශ්වාස කරන්න පුළුවන්ද උන්ව”
කාමාතිපුරම්වල පාසල් පුළුල් කොට විවෘත කිරීමේදී ගණිකා නිවාසය ඉවත් කරන්න කියලා එක්තරා පිරිසක් පෙත්සමක් උසාවියට ඉදිරිපත් කරනවා. එහි සඳහන් වන්නේ පාසලක් අසල ගණිකා නිවාසයක් තිබීම නිසා පාසැලට සිදුවන බලපෑම ගැන. ගංගුබායි ඒකට දෙන්නෙ මෙහෙම උත්තරයක් .
‘පාසැලක් අසල ගණිකා නිවාසයක් පවත්වාගෙන යද්දී ඒකෙන් පාසැලට ඇතිවන බලපෑම, එම පාසැලෙන් පිටතටද එසේ ඇති වූවානම් ගණිකා නිවාසයක් පාසැලක් අසල ඉදිවන්නේ ඇයි’
ෆිල්ම් එක අවසානයේ ඇගේ සැබෑ අවසානය ගැන සඳහනක් නැති වුනත් , හෘදයාබාධයක් හැදිලා ඇය ගණිකා නිවාසයේම මිය යනවා. අදටත් කාමාතිපුරම් පිවිසුමෙහි ඇගේ ප්රතිමාවක් වගේම බිත්තිවල පවා තාමත් ඇගේ චිත්ර තියෙනවාලු. (පලවෙනි කමෙන්ට් එකේ පින්තූරේ ඉන්නේ ඇත්ත ගංගුබායි කාඨියාවාඩී)
සංජය ලීලා බන්සාලිගේ පරණ ලව් ස්ටෝරි ෆිල්ම් වලට වඩා මේක හෙන ලස්සනයි. බන්සාලිගේ දිගටම සිනමා විශ්වාසය දිනුව දීපිකා, අයිශ්වර්යා වෙනුවට ආලියා වගේ මූණක් යොදාගත්ත එකම අභියෝගාත්මක, ලස්සන වැඩක්. ඒත් මේක පහුගිය කාලේ ජයලලිතා ගැන ආපු තලවි මූවි එක තරමටම මටනම් දැණුනේ නෑ. එහෙම නොදැනෙන්න හේතුව විදිහට මට හිතෙන්නේ ආලියා කොච්චර විශිෂ්ඨ විදිහට ඇඩ් කලත් මට මේ වගේ ලොකු චරිතයකදි එකපාරටම ඔලුවට සිලෙක්ට් වෙන්නේ විද්යා බාලන් වගේ නිළියක් නිසා.
කෙසේ වෙතත් මේක අරගල වෙහෙස අතරේ වෙලාවක් තිබුනොත් මේක බැලුවට පාඩුවක් නොවෙන ෆිල්ම් එකක්. ලෝක කම්කරු දිනය යෙදුනු අද වගේ දවසක ලෝකයේ පැරණිම වෘත්තිය වන මේ ලිංගික ශ්රමය වගේ දේවල් කම්කරු අයිතිවාසිකම් අතර කොයි වගේ තැනක ස්ථානගත කල හැකිද යන්නත් ඕනෙනම් අපිට සංවාද කරන්නත් පුළුවන්.
චින්තක සමන් හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *