අරගලය, සරලත්වයේ සිට සංකීර්ණත්වය දක්වා.. ( විප්ලවය සහ ප්‍රතිවිප්ලවය – 02 )

ලෝක ඉතිහාසය පිරික්සා බැලීමේදී පුරාතනයේ සිට නූතන යුගය දක්වා විප්ලවීය සිදුවීම්වලින් පිරී තිබේ. මෙම විප්ලවයන්ගෙන් ඇතැම් විප්ලව ලෝකය නැවත හැඩගැස්වූ ඉතිහාසයේ මුලික සංධිස්ථානයන් බවට පත් විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ සංකල්ප නැවුම් කරමින් සිදුවූ එබඳු ප‍්‍රධාන විප්ලවයන් සඳහා හොඳම උදාහරණ වන්නේ ඇමරිකානු සහ ප‍්‍රංශ විප්ලවයන් ය.

මහජන විප්ලවයක් ඕනෑම රටක ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂ්‍යයක් සනිටුහන් කරන්නේ එහි ඉල්ලීම් සහ ප්‍රතිඵල මහජනතාවගේ අපේක්ෂාවන්ට ගැලපේද නැද්ද යන්න අනුවයි. Nietzel ට අනුව, “‘විප්ලවය’ යන්නෙන් අදහස් කරන්නේ, බොහෝ විට පැරණි පාලන තන්ත්‍රයක් පෙරලා දැමීම සහ සමාජයේ මූලික ආයතනවල සම්පූර්ණ වෙනසක් ඇති කිරීම සඳහා වූ ව්‍යාපාරයකි.” සමාජයක් පාලන තන්ත්‍රයක අසාධාරණයට යටත්ව ජීවත් වන විට, විප්ලවය මහජනතාවට වඩා හොඳ අවස්ථා, විකල්ප සෙවීම සඳහා තාර්කික ක්‍රියාවක් වනු ඇත. විප්ලවය යනු යම් පාලන තන්ත‍්‍රයක් එහි ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට ඇති නොහැකියාව පෙන්නුම් කරන සංඥාවකි.

Tullock (1971) විසින් විප්ලවීය තත්වයක මිනිසුන් විසින් සිදු කළ හැකි තේරීම් සලකා බැලීමට රාමුවක් පෙන්වා දී ඇත.

මින් පළමු කණ්ඩායම, සාමාන්‍යයෙන්, කිසියම් නිශ්චිත උනන්දුවකින් සමාජ චංචලභාවයන් නිරීක්ෂණය කරමින් සිටින අතර, විප්ලවයන්ගෙන් කවුරුන් ජයග්‍රහණය කළත් ගැටුම අවසන් වන බැවින්, අවසානයේ රට යථා තත්ත්වයට පත් වනු ඇති බවට ඔවුන් අපේක්ෂා කරයි.

දෙවන කණ්ඩායමට පාලන තන්ත්‍රය පෙරලීමේ අවස්ථාවට සෘජුව මැදිහත්වන අතර, ඇතැම් විට අරගල කණ්ඩායම්වල සෘජු සාමාජිකත්වය පවා ලබාගනී. දේශප්‍රේමී විප්ලවවාදියෙකු ලෙස මහජන ගෞරවය ලබා ගනී.

තුන්වන කණ්ඩායම, සාමාන්‍යයෙන්, පවතින පාලන තන්ත‍්‍රයෙන් ලාභ ලැබීම වැනි සුවපහසු තත්ත්වයක සිට ක්‍රියා කරන අතර, පාලන තත්ත්‍රය වෙනස් කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවලට හානි කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ ඇතැයි සිතන්නට වෙයි.

බොහෝ මහජන විප්ලවවල සටන්කාමීන්ට කෙටි කාලයක් තුළ සිය අරගල ජයග්‍රහණය ලබා ගත නොහැකි වන්නේනම්, සිවිල් යුද්ධයක් දක්වා පහසුවෙන් ගෙන යාමට පාලන තත්ත්‍රයන් සහ සමාජ වටපිටාව මගින් ඉඩ හසර විවර කර දෙයි.

විප්ලවය යනු සමාජයක් අත්විඳිය හැකි ප්‍රචණ්ඩත්වයේ අවස්ථා වලින් තවත් එකක් පමණකි. අරාබි වසන්තයේ සිද්ධීන් සමඟ විප්ලවයේ ප්‍රචණ්ඩත්වය මෙහෙයවනු ලැබුවේ තම යටත්වැසියන් තෘප්තිමත් කිරීමට කිසිදා ප්‍රතිචාර නොදැක්වූ පාලන තන්ත්‍රවල වෙනස්කම් සඳහා වූ ඉල්ලීම් මගිනි.

Gurr (1970) විසින් මානව හිංසනයේ සම්මත පදනම් පිළිබඳ මානසික සම්ප්‍රදායන් තුනක් වෙන්කර පෙන්වා දී ඇත.

1. පළමුව, ප්‍රචණ්ඩත්වය මූලිකව සහජයෙන්ම පිහිටන කණ්ඩායම්.

2. දෙවනුව, ප්‍රචණ්ඩත්වය අත්දැකීම්වලන්ම ඉගෙන ගන්නා කණ්ඩායම්.

3. තෙවනුව, ප්‍රචණ්ඩත්වය අපේක්ෂා භංගත්වය නිසා ඇතිවන සහජ ප්‍රතික්‍රියාවක් බවට පත්වූ කණ්ඩායම්

ඔහු විසින් වැඩිදුරටත් පැහැදිලි කළේ ප්‍රචණ්ඩත්වය යනු අඛණ්ඩව වැඩිදියුණු වන සහජ බුද්ධියක් වැනි යමක් වන බවත්, බහුතරයක් පිරිමින් තුළ ප්‍රචණ්ඩත්ව ආශාවන්ගේ ස්වයංක්‍රීය පදනමක් ඇතැයි යන බවත්ය. ප්‍රචණ්ඩ ක්‍රියා ජාතික ප්‍රතිපත්ති හෝ මතවාදී අදහස් කැටිවූ දේශපාලන මූලධර්ම සඳහා වන අරගලයේදී භාවිතා වීම අරුමයක්ද නොවේ.

ප්‍රචණ්ඩත්වය සිදු වන්නේ පාලනයේ සැලසුම් සහගත ක්‍රියාවන්ට බාධා කිරීමේ ප්‍රතිචාරයක් වශයෙනි. අරාබි වසන්තයට මුහුණ දුන් අරාබි සමාජ තුළ, දශක ගණනාවක් තිස්සේ මිනිසුන් ඔවුන්ගේ පාලන තන්ත්‍රවල පීඩනයට ලක්ව සිටි අතර, පරම්පරා ගණනාවක් පෙර සදහන් කල මානව ප්‍රචණ්ඩත්වයේ ප්‍රභවයන් තුනම සංකලනය කර ගැනීමට පටන් ගත්හ. මිනිසුන් විප්ලවවාදී අරමුණු සඳහා සටන් කරන්නේ ඔවුන්ගේ අරමුණු නිවැරදි යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි.

CAIRO, EGYPT – JANUARY 25: Egyptians supporting Abdel Fattah el-Sisi the Minister of Defense of Egypt gather at Tahrir square to mark the 3rd anniversary of Egyptian revolution which unseated autocrat president Hosni Mubarak in 2011, January 25, 2014. (Photo by Ahmed Ramadan/Anadolu Agency/Getty Images)

අරාබි කැරලි ඇති වූයේ වසර කිහිපයක දේශපාලන පීඩනයෙන් පමණක් නොව, පීඩාකාරී පාලන තන්ත්‍රයන් යටතේ දශක ගණනාවක නැගුණු අතෘප්තියෙන් පසුවය. ඒ අනුව ප්‍රචණ්ඩත්වය තම අරමුණු කරා ළඟා වීමට භූමිකාවක් ඉටු කරනු ඇතැයි අදහස් කළ මිනිසුන් තම ආණ්ඩු පෙරළීම පිළිබඳ අපේක්ෂා ගොඩනඟා ගැනීමට පටන් ගත්හ. රජයකට එරෙහිව කැරලිකරුවන්ගේ කණ්ඩායම් නැඟී සිටින විට මතවාදයන් එක් කණ්ඩායමකින් තවත් කණ්ඩායමකට වෙනස් විය හැකිය. මේ අනුව, කැරැල්ලේ සාර්ථකත්වයද අවදානමට ලක් විය හැකිය.

“විප්ලවවාදී හෝ වෙනත් ආකාරයකින් දේශපාලන ප්‍රචණ්ඩත්වයට සහභාගී වන බොහෝ දෙනා විප්ලවවාදී නායකයින් විසින් දරණ සංකීර්ණ මතවාදයන්ම තම හිසෙහි දරා නොගනිති. (Gurr, 1970).

මෙම පැහැදිලි කිරීම සිරියානු විප්ලවයට අදාළ වන අතර එහිදී කැරලිකරුවන් විවිධ මතිමතාන්තර සහ ඉලක්ක සහිත කණ්ඩායම් ගණනාවකට කැඩී ගියහ. එවකට ජනාධිපති වූ අල්-අසාද් පාලනය එලවා නව සමාජයක් සඳහා ආ නිදහස් සිරියානු කණ්ඩායම් සහ අනෙක් අතට ඉස්ලාමීය බලයක් පිහිටුවීමේ අරමුණින් ඇතිවූ ISIS වැනි කණ්ඩායම් අතර එවැනි ගැටුම් ඇති විය.

ඇතැම් තත්වයන් තුළ, අතෘප්තිමත් පුද්ගලයින් විප්ලවය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ නව අදහස් දරන්නට වෙයි. විවිධ පෞද්ගලික මතවාද, සටන් පාඨ, කටකතා සමාජ මාධ්‍යවල පැතිරවීම ඔවුන්ට පහසුය. පීඩාකාරී පාලන තන්ත්‍රයකට එරෙහිව නැගී සිටීම යුක්ති සහගත සහ තාර්කික වන්නේය. පෙලපාලි පවත්වන්නන්ට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගිවන්නන්ගෙන් බහුතරයකට ප්‍රයෝජනාත්මක අභිප්‍රේරණයන් මෙන්ම ආවේගයක්ද ඇත. න්‍යායවාදීන් සාමාන්‍යයෙන් පිළිගනු ලබන්නේ අරගල තත්වයන් තුළ මිනිසුන්ගේ තාර්කික බව අවම බවයි. එබැවින්, ඔවුන් අරමුණු කරන දේ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ක්ෂණික ඕනෑම ක්‍රියා මාර්ගයක් තෝරා ගැනීමේ ප්‍රවණතාවක් ඇත. ටියුනීසියානු විප්ලවයේ ජයග්‍රහණවලින් පසුව, පාලන තන්ත්‍රයන්ට එරෙහි මහජන පෙලපාලි සහ විප්ලව අරාබි ලෝකය පුරා ලැව් ගිණි මෙන් පැතිර ගියේය.

චින්තක සමන් හේරත්
2022.08.04

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *