ඛේදවාචක හමුවේ විභාගයේ අභාගය -01

ලෝකයේ විවිධ වකවානු වල විවිධ වූ අර්බුද ඇති වේ. මෙම අර්බුදයන් හමුවේ ලෝකය වඩාත් තීව්‍රව එයට මුහුණ දුන් අවස්ථාවන් සේම එම අර්බුද හමුවේ කඩා වැටීම් සිදුවීම් දැකිය හැකිවේ. මෑත ඉතිහාසයේ එවැනි දරුණුතම ලෝක අර්බුදයක් ලෙස කොරෝනාවට එරෙහිව මානව සමාජය මුහුණ දුන් අතර මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් මිහි මතින් තුරන් විය. එහෙත් මේ තත්වයන් අබිමුව බොහෝ කළමණාකරණයන් සිදුකරගනිමින් ජීවිත බේරාගත් මිනිසුන් තම ජීවන ක්‍රියාදාවමය එක ලෙස පවත්වාගෙන ගියේය.
මේ අතර ආර්ථික බිඳ වැටීම් අතොරක් නැතිව මුහුණ දුන් අතර ලංකාව වැනි රටක් හොබ්බෙන් යාම දක්වා. මේ ඛේදවාචකයේ ආර්ථිකමය බලපෑම සනිටුහන් කළේය. එසේම සාමාජීය ජන ජීවිතයේ නොයෙක් අංශ යළි ගොඩ ගත නොහැකි තරමට බිඳ වැටුනු අතර එහි ප්‍රමුඛස්ථානය අධ්‍යාපනයට හිමිවේ.

වර්ෂ දෙකක් හෝ තුනක් අභිමුව මුඛ්‍ය ගණයේ විභාගයන් කල් දැමීමටත් බොහෝ විභාගයන් අත්හැර දැමීම් දක්වා තල්ලු වූ අතර වසංගත රෝග තත්ත්වයක් හමුවේ සමාජයට නිරාවරණය විය නොහැකි වට පිටාවක දරුවන් මුහුණ දුන් විශාල අභියෝගයක් වන්නේ තම අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යෑමට සුදුසු වට පිටාවක් නිර්මාණය කර ගැනීමයි.

මේ සඳහා විවිධ රටවල් විවිධ උපක්‍රම භාවිත කළ අතර, ශ්‍රී ලංකාවේද දරුවන්ට මාර්ගගත අධ්‍යාපනයට යොමු වීමට සිදුවිය. දියුණු, ධනවත් රටවල දරුවන්ට මෙය නුහුරු අත්දැකීමක් නොවුනත් අප වැනි දියුණු වෙමින් පවතින රටවලට මෙය කෙසේනම් ගලපන්නේදැයි තර්ක විතර්ක ගොඩ නැගුනි.

එසේ තර්කයන් ගොඩනැගුනු වටපිටාවක් තුල කෙසේ හෝ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යායුතු බවට වන රජයේ දැඩි මතය හමුවේ ජීවිතයේ කිසිඳු දිනක දුරකථන භාවිතා නොකළ දරුවන් මෙන්ම ගුරුවරුන්ද කෙසේ හෝ මෙම රටාවට හුරු විය. එසේ අපහසුවෙන් හුරු වූ පිරිස මෙන්ම මෙය ප්‍රායෝගික නොවුනු ඉතා දුෂ්කර දිවි පැවැත්මක් ගත කරන අය සිටියේ නැත්තේ නොවේ.
කෙසේ වුවද ඉතා වේගයෙන් ලංකාවේ සියළු විභාග කල් යෑමත් සමඟම නිවසට කොටු වූ සියළුම දරුවන් මානසික අවපීඩන වලට ගොඳුරු වීම සෝචනීය කරුණකි. ඒ තමන් ලබන අධ්‍යාපනයට නියමිත වටිනාකමක් සොයාගැනීමට නම් තමන්ගේ දැනුම පරීක්ෂණයට භාජනය වීම අනිවාර්ය කරුණක් වන නිසාවෙනි.

කෙසේ හෝ මාර්ගගත ක්‍රමයෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවන්ට භෞතික වශයෙන් විභාගවලට මුහුණ දීමට සිදුවීම අර්බුදය හමුවේ ඔවුන් මුහුණ දුන් තවත් අර්බුදයක් වූ බව පෙනී යයි.

විභාග කල් දැමීම හේතුවෙන් දරුවන්ගේ නොකඩවා පවත්වාගෙන යන ලද අධ්‍යාපනය ලැබීමේ වේගය අඩාල වීම මෙන්ම ඉක්මන් විය යුතු නොවේ යන මතය මත ධාවන පථයෙන් ඉවත්වීම හේතුවෙන් ලංකාවේ අධ්‍යාපන වේගයේ යම් බිඳ වැටීමක් සිදු වූ බව පෙනී යයි.

ආසියාවේ සාක්ෂරතාවයේ ඉහළින්ම සිටින රටක් ලෙස අප මේ පිළිබඳව ඉතා දැඩිව විමසිය යුතු අතර, රටේ සියළුම දරුවන්ට මෙම ක්‍රමය මනාව ගැලපේදැයි සෙවිය යුතුය. එය රට කරවන අයගේ යුතුකමක් මෙන්ම වගකීමකි.
නමුත් මෙම මාර්ගගත ක්‍රමය හේතුවෙන් නොසිතූ විරූ අධ්‍යාපන ක්‍රම වේදයන් මෙන්ම ඉතා ඉක්මනින් එම අධ්‍යාපනික ක්‍රම වේදයන් සමාජගත වීමද දක්නට හැකිවිය. නාගරික දරුවන්ට පමණක් ලැබුණු ඉහළ පෙලේ අධ්‍යාපනික තත්ත්වයන් ග්‍රාමීය දරුවන්ට ද ලැබීමට හැකි වීම යහපත් ප්‍රවණතාවකි.

කෙසේ වුවද අධ්‍යාපනය කඩා වැටීම යනු එම රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික යන සියල්ලේ අනාගත බිඳ වැටීම බව නොකිව මනාය. සියල්ලට පෙර දරුවන්ට හොඳම දේ දිය යුතු බවට පිළිගත් සමාජයක ඒ සඳහා සුදුසු ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් පිළිසකර කරදිය යුතු අතර, එය සමස්ථ සමාජයටම ගැලපිය හැකි විය යුතුය.

දර්ශනිකා විමුක්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *