අතුරු අයවැය හා ළමා මන්දපෝෂණය

පසුගිය දිනවල යුනිසෙෆ් සංවිධානය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ නිවේදනය කණ වැකුණු මොහොතේ සිට ඉතා කම්පන තත්ත්වයක් ඇති වුනි. මන්ද යත්‚ අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ ඉන්දියන් සාගරයේ මුතුඇටයට වී ඇති ඛේදවාචකය අද ලෝකයටම මුහුණ දිය නොහැකි තත්ත්වයකට ඇද වැටීමට හේතු වී ඇති බව දැකීමෙනි.

අතීතයේ සිට මුතුන් මිත්තන් පවසනුයේ මේ ලංකාදීවීපයේ කිසිවෙකු බඩගින්නේනම් මිය යා නොහැකි බවයි. මන්ද මඤ්‍ෙඤාක්කා දණ්ඩක් බිමට දැමූවත් එය පැළවෙන පොළොවක් අපට උරුමව ඇති බැවිනි. එසේ වූ අප රටේ දරුවන් මෙසේ ආහාර හිඟය හේතුවෙන් ලොව හයවන තැනටත්‚ආසියාවේ දෙවන තැනටත් පත් වීමට කප් ගසා ඇත.

මෙසේ වීමට බලපෑ හේතු කාරණා පසුගිය දිනවල හොඳාකාරවම කරලියට බැස තිබුනි. නමුත් නැවත මිනිසුන්ට සියල්ල අමතකව‚ ලද දෙයින් සතුටු වී පසුබා ඇති හෙයින් මෙම අර්බුදයෙන් මිදීමට ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බව පෙනී යයි. එසේම දකුණු ආසියාවේ වයස අවුරුදු පහට අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය ඉහළම දෙවන රට ශ්‍රී ලංකාව බව යුනිසෙෆ් සංවිධානය විසින් පවසද්දී අප රටේ පාලකයන් මේ පිළිබඳව නිහඬ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ ඇයි ද යන්න පුදුමයට කරුණකි. අද දින පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් වූ වියදම් ඇස්තමේන්තු සහිත අතුරු අය වැයෙන් මේ සඳහා කිසියම් හෝ පිළිතුරක් ලැබුනේද යන්න විමසිය යුතු කරුණකි. එහි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 248ක මුදලක් වෙන් කර ඇති අතර එයින් කවර ප්‍රමාණයක් මෙම රටේ දරුවන්ගේ මන්දපෝෂණය පිටු දැකීමට වෙන් කර ඇත්ද යන වග සහ ඒ සඳහා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක් නැත. මෙහි ඇති ගැටළුව වී ඇත්තේ ළමා ආහාර වේල් පිළිබඳව දරුවන්ගේ සෞඛ්‍ය සහ සංවර්ධන සටහන් පොතෙහි දක්වා ඇති ආකාරයට අද දින ආහාර වේල් ලබා දීමට දෙමව්පියන්ගේ නොහැකියාවයි. එහි සඳහන් ආකාරයට දරුවන්ගේ වේල් තුන සඳහාම සත්ව ආහාර ලබා දීම අනිවාර්ය වීම උදාහරණයක් ලෙස ගත හොත්‚ අද මේ රටේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් බිත්තර‚කුකුල් මස්‚ මාළු සහ සියළුම කිරි ආහාර වර්ග වල මිල ඉතා සීඝ්‍ර ලෙස වැඩි වී ඇත. මෙසේ මෙම අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහළ යාම හේතුවෙන් දරුවන්ගේ මෙම ආහාර කොටස දෙමාපියන් විසින් කපා හැර ඇත. රජයෙන් ආහාර සැසි පවත්වා දරුවන්ගේ ආහාර වේල් පිළිබඳව දෙමාපියන් දැනුවත් කරනු ලැබූවත්‚ ඒ සඳහා රජයෙන් ලබාදෙන ආධාරය කුමක්දැයි පවසන්නේ නැත. කුරක්කන් ඇතුළු සියළු ධාන්‍ය වර්ග වල මිලද ඉහළ යෑම හේතුවෙන් මෙම සත්ත්ව ආහාර සඳහා ආදේශකද සපයා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. තවද‚ රජයෙන් නොමිලේ ලබාදුන් ත්‍රිපෝෂ අතිරේකයද දැන් කාලාන්තරයක් තිස්සේ දරුවන්ට, කිරි දෙන මව්වරුන්ට සහ ගැබිනි මව්වරුන්ට ලැබෙන්නේ නැත. එම නිසා ඒ සඳහා වෙළඳපොලේ ඇති ආදේශක ලබා දීමට දෙමව්පියන් දරණ උත්සාහයේදී සිදු වන්නේ මිලේ වැඩි වීම හේතුවෙන් එම ආහාරද කපා දැමීමකට ලක් වීමයි.

ශ්‍රී ලංකාවේ මෙම උද්ගතවී ඇති ආර්ථික අර්බුදය ළමයින්ගේ අර්බුදයක් වී ඇත්තේ මේ නිසාවෙනි. යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ළමුන් මිලියන 1.7 කට මෙම අර්බුදයේ බර දරාගැනීමට සිදු වී ඇති බවයි. මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් 10 කින් 7ක්ම තම දෛනික ආහාර වේල් මගහැර ඇත. මේ අනුව ලෝකයේ උතුම්ම රට ලංකාව බවට උදම් ඇනූ අප මේ වන විට ලෝකයෙන් මානුෂීය ආධාර හිඟාකන සිඟනුන්ගේ තත්ත්වයට ඇද වැටී ඇත. මේ හේතුවෙන් දරුවන් සෑදීමද මේ වන විට විවාහක යුවලවල් විසින් ප්‍රමාද කරන වටපිටාවක් නිර්මාණය වී ඇත. එය අප ජාතියේ මළගමද සනිටුහන් කරනු ඇත.

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු ගැඹිණි මාතාවන් සඳහා ලබා දෙන රුපියල් 20,000ද දීමනාව සඳහා රුපියල් 2,500ක මාසික අතිරේක දීමනාවක් ලබා දීමට සහ සහන සැලසිය යුතු තොරාගත් පවුල් සඳහා මාසයකට රුපියල් 10,000ක් බැගින් ඉදිරි මාස හතරක් මුළුල්ලේ ලබා දීමට යෝජනා වී ඇත. මෙය ඉතා සතුටු දායක තත්ත්වයකි. නමුත් එය ගැඹිණි මාතාවන් සඳහා පමණක් ප්‍රමාණවත්දැයි සොයා බැලිය යුත්තේ මේ වන විට දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය උග්‍ර වී ඇති වටපිටාවක් නිර්මාණය වී ඇති බැවිනි.

තවදුරටත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය වල මිලද ඉතා ඉහළ ගොස් ඇති අතර, රැකියාවක් කරන දෙමව්පියන් තම දරුවා දරුවන් රැක බලාගන්නා ස්ථාන වල නවත්වා රැකියාව සඳහා යාම සිදු කරයි. එහිදී දරුවන් සඳහා ලබාදී යායුතු සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය ඔවුන් කෙසේ හෝ ලබාදිය යුතුය. තවද, දරුවන්ගේ කිරිපිටි මිලද ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති වටපිටාවක ඔවුන් කෙසේ දරුවන් රැකබලා ගන්නා ස්ථාන වලට බාර දී රැකියාවන් සිදු කරන්නේදැයි ගැටළුවක් පැන නගී. මේ වෙනුවෙන් ඉදිරිපත් වී හඬ නගන කිසිවෙකුත් අපට අද දින දැක ගැනීමට නොහැකි වී ඇත. දේශීය කිරි නිශ්පාදනය ඉහළ නැංවීමට අද දින යෝජනා පැමිණීමද සතුටට කරුණකි. නමුත් මේ වන විට දේශීය කිරි මිල ද ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දරුවන් සඳහා කිරි නිශ්පාදන කෙසේවත් ලබා දීම සිදු කළ නොහැකි වී ඇත. එම නිසා ආහාර නිශ්පාදනය සේම මිල පිළිබඳවද රජයේ අවධානය යොමු වන්නේනම් ඉතා යහපත් බව කිව යුතුය.

ලොව දියුණු රටවල කුඩා දරුවන් යනු එම රටේ සම්පත් ලෙස සලකයි. මන්ද යත් ඉදිරියේදී රට බාර ගැනීමේ නියමුවන් වනුයේ ඔවුන් නිසාවෙනි. එම නිසා දරුවෙක් ඉපදීමේ සිට ඔවුන් නිසි වයසට පත් වන තුරුම රජයෙන් ඔවුන්ට සහන සලසා දෙමින් ඔවුන්ව දෙමාපියන්ට බරක් නොවන්නට රැක බලා ගනී. උදාහරණයක් ලෙස පින්ලන්තය වැනි ලොව සන්තුෂ්ටි දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් කුඩා දරුවන් ඉපදුනු දා සිට වයස අවුරුදු 17 වන තෙක් ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙල්ලම් බඩු වැනි දෑ නොමිලයේම සපයයි. දෙමාපියන්ට රැකියාවන් සිදුකර ගැනීමට රජයෙන්ම දරුවන් බලාගන්නා මධ්‍යස්ථාන ද පවත්වා ගෙන යයි. මේ ආකාරයට දරුවන් බිහිකිරීම සහ රැකබලා ගැනීම දෙමව්පියන්ට බරක් නොවූ වටපිටාවක රටේ ආර්ථික දියුණුව මෙන්ම සමාජ සංස්කෘතික දියුණුවද නොකඩවා පවත්වාගෙන යාම සඳහා රජයන් විසින් භාරදූර කර්තව්‍යයක් ඉටු කරයි. ඉතින් මෙවැනි වූ ලෝකයක් සමඟ අප සිටින්නේ කොහිදැයි අප විමසිය යුතු නොවේද?

ලංකාවේ මේවන විට රැකියාවන් සඳහා යන දෙමාපියන්ට දරුවන් නිවෙස්වල තනිකර දමා යාමේ මහත්වූ ගැටළු පැන නැගී ඇත. දරුවන් නිවෙස් තුළම දූෂණයට ලක්වීම සහ ළමා අපචාර නඩු මේ සඳහා සාක්ෂි සපයයි. එසේ වූ සමාජ පරිසරයක දරුවන්ගේ ආරක්ෂාව, පෝෂණය සේම සෞඛ්‍ය පිළිබඳව වගකීම ද රටේ ආර්ථිකයට උරදෙන දෙමාපියන් වෙතම පටවා රජයක් නිහඞව සිටීම සාධාරණදැයි යන පැනය ඇසීමට සිදුවේ.

විමුක්ති දර්ශනිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *