රැජිනගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට සහභාගී වන්නේ කව්ද?

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති අතර මහජනයා ඇයට අවසන් බුහුමන් දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති. මේ සඳහා විවිධ රටවලින් සහභාගී වන රාජ්‍ය නායකයින් කව්ද?

සැප්තැම්බර් 14 වැනි බදාදා උදෑසන සිට පෝලිම් දිගු වෙමින් පවතින අතර, සඳුදා අවමංගල්‍ය කටයුතු පැවැත්වීමට නියමිතයි. ඉදිරි දින කිහිපය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැජිනට ගෞරව දැක්වීමට අපේක්ෂා කරති. බදාදා දහවල් සිට මහජනතාව වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැස්වෙමින් ඇති අතර රාජ්‍ය අවමංගල්‍ය පැවැත්වෙන සැප්තැම්බර් 19 වැනි සඳුදා එරට වේලාවෙන් 06:30 දක්වා දවසේ පැය 24 පුරාම දේහය මහජන ගෞරවය සඳහා විවෘතව තැබෙනු ඇත. රජය අනතුරු අඟවා ඇත්තේ ජනතාවට වෙස්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට පැය 30 ක පමණ කාලයක් පොලීමේ සිටීමට සිදුවනු ඇති බවටයි.

එලඹෙන සඳුදා පැවැත්වෙන රැජිනගේ අවමංගල්‍යය, දශක ගණනාවකට පසු එක්සත් රාජධානියේ රාජකීයයන්ගේ සහ දේශපාලනඥයන් සහභාගී වන විශාලතම රැස්වීම්වලින් එකක් වනු ඇත. මේ සඳහා විවිධ රටවල රාජකීයයන් සහභාගී වනු ඇත.

යුරෝපය පුරා සිටින රාජකීය පවුල්වල සාමාජිකයින්ගෙන් බොහෝ දෙනෙක් රැජිනගේ ලේ ඥාතීන් බවට සැළකේ. නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු සහ ඔහුගේ බිරිඳ මැක්සිමා රැජින සහ ඔහුගේ මව වන හිටපු ලන්දේසි රැජින බියට්‍රික්ස් කුමරිය ද, බෙල්ජියමේ පිලිප් රජු සහ මැටිල්ඩ් රැජින ද තම පැමිණීම තහවුරු කර ඇත. නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය සහ මොනාකෝ රජ පවුල් මෙන්ම ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජින ද ආරාධන පිළිගෙන ඇත.

ජනාධිපති ජෝ බයිඩෙන්, ජනාධිපති ආර්යාව ජිල් බයිඩෙන් සමඟ සහභාගී වන බවට ධවල මන්දිරය තහවුරු කර ඇත.

නමුත් අමුත්තන්ගේ ප්‍රමාණයේ සීමාවන් නිසා හිටපු ජනාධිපතිවරුන්ට කිසිසේත් සහභාගී වීමට නොහැකි වනු ඇත. ඇතැම් හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති ආර්යාවන්ට විශේෂයෙන්ම, ඔබාමා දෙපළට පුද්ගලික ආරාධනා ලැබිය හැකි බව කියැවේ.

රැජින සිය පාලන කාලය පුරාම ප්‍රධානියා ලෙස කටයුතු කළ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයින් අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට අපේක්ෂා කෙරේ. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ද ආරාධනයන් පිළිගෙන ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්ෂේත්‍රයක රාජාණ්ඩුවේ නියෝජිතයා ලෙස කටයුතු කරන ආණ්ඩුකාර-ජනරාල්වරුන් ගණනාවක් ඔවුන්ගේ රටවල නායකයින් සමඟ සහභාගී වනු ඇත.

දීර්ඝ කාලයක සිට අගමැති ධුර‍ය හොබවන බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ආරාධනා පිළිගෙන ඇති බව වාර්තා වේ. ඉන්දියාව නියෝජනය කරන්නේ ජනාධිපති දෘවුප්‍රති මුර්මු විසිනි.

ඇරයුම් පිළිගත් බව කියනු ලබන අනෙකුත් ලෝක නායකයන් අතර අයර්ලන්ත ටෝසර්ච් මයිකල් මාටින්, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් සහ ඉතාලි ජනාධිපති සර්ජියෝ මාටරෙල්ලා මෙන්ම යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියෙන් ද ඇතුළත් වේ. දකුණු කොරියානු ජනාධිපති යූන් සක්-යොල් සහ බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ ද ඔවුන්ගේ පැමිණීම තහවුරු කර ඇත. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොගන් සහ ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් ද පැමිණීමට අපේක්ෂා කෙරේ.

නමුත්සි, සිරියාව, වෙනිසියුලාව සහ ඇෆ්ගනිස්ථානයේ කිසිදු නියෝජිතයෙකුට ආරාධනා කර නොමැති බව, එක්සත් ජනපද රජයේ ආරංචි මාර්ග බීබීසීයේ ජේම්ස් ලැන්ඩේල් වෙත පවසා තිබේ. මෙයට හේතුව එක්සත් රාජධානිය මෙම රටවල් සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවැත්වීමයි. උතුරු කොරියාව (DPRK) සහ නිකරගුවාවට ආරාධනා කර ඇත්තේ තානාපතිවරුන් පමණක් එවීමට මිස රාජ්‍ය නායකයින්ට නොවේ. රුසියාව, බෙලරුස් සහ මියන්මාරය යන රටවලින් කිසිවෙකුටත් ආරාධනා කර නැත.

රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් රාජධානිය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු පසුගිය සතියේ කියා සිටියේ අවමංගල්‍යයට සහභාගී වීම ගැන සළකා බලන්නේ නැති බවයි.

BBC News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *