මානව බැදීමක ප්‍රේමය – විමුක්ති දර්ශනිකා
මානව සබඳතා විවිධාකාර ස්වරූපයන් ගනී. මිනිසා උපතේ සිට මරණය දක්වා එකිනෙකා අතර සබඳතාවයන් ගොඩනගා ගනිමින් තම පෞර්ෂ සංවර්ධනය සිදු කර ගනී. සමාජ විද්‍යාවේදී මානව සමාජ සම්බන්ධතා පිළිබඳ කතා කිරීමේදී යොදා ගන්නා සංකල්පයක් වන්නේ තත්ත්වය හා කාර්යභාරය යන සංකල්පයයි. ඕනෑම සමාජ සමූහයක හෝ කණ්ඩායමක පුද්ගලයාට හිමි වන ස්ථානය තත්ත්වය වශයෙන් හැඳින්විය හැකිය. දෙන ලද තත්වයන් තුළ පුද්ගලයාගේ අපේක්ෂාවන් සමාජීය ලෙස නිර්වචනය කරන්නේ කාර්යභාරය මඟිනි. රැල්ෆ් ලින්ටන් නම් මානව විද්‍යාඥයාට අනුව සමාජ තත්ත්වය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කර ඇත. එනම්, ආරෝපිත තත්ත්වය හා සාධිත තත්ත්වයයි. පුද්ගලයාගේ උපතින්, ජන්මයෙන් හා පරම්පරාවෙන් හිමි කරගෙන ආ තත්ත්වය ආරෝපිත තත්ත්වයයි. එනම්, ජනවාර්ගික තත්ත්වය, ජාතිය, ලිංගිකත්වය, වයස, කුලය, ඥාතීත්වය ආරෝපිත තත්ත්වයන් වේ. මේ තත්ත්වයන් පුද්ගලයාගේ ජීවිත කාලය තුළ වෙනස් වන්නේ ඉතාමත් අවම වශයෙනි. සාධිත තත්ත්වය ආරෝපිත තත්ත්වයේ ප්‍රතිවිරුද්ධ සංකල්පයයි. පුද්ගලයෙක් තමාගේ උත්සාහයෙන් ලබාගන්නා තත්ත්වය සාධිත තත්ත්වය ලෙස හැඳින්විය හැකිය. උපාධිධාරී, ආචාර්යය, ව්‍යාපාරික ආදී තත්ත්වයන් කෙනෙක් තම උත්සාහයෙන් ලඟා කර ගන්නා තත්ත්වයන්ය. තත්ත්වයෙන් තොර කාර්යභාරයකුත්, කාර්යභාරයෙන් තොර තත්ත්වයකුත් ගැන කතා කළ නොහැකි යැයි වරක් ලින්ටන් සඳහන් සඳහන් කරන ලදී.
අතීතයේ සාම්ප්‍රදායික සමාජ වල ඒ ඒ තත්ත්ව වලට අනුරූප වූ නිශ්චිත කාර්යභාර පවතී. නමුත් මානව විද්‍යාඥ ෆෙඩ්‍රික් එංගල්ස් පවසන්නේ ධනය රැස්කර ගැනීම හා පුද්ගල දේපළ හිමිකාරීත්වය පිරිමින්ට ලැබීම මඟින් ස්ත්‍රිය ලබාගෙන තිබූ ඉහළ තත්ත්වය නැති වී ඇති බවයි. මෙයින් පසු කාන්තාවන්ගේ වැදගත් බව නැති වූ අතර, ඇය ගෙදර වහළියක් වූ අතර, පුරුෂයාගේ කාමාශාව සතප්පවන මෙන් ම දරුවන් පමණක් වදන තත්ත්වයට ද පත්විනැයි එංගල්ස් වැඩිදුරටත් පෙන්වා දෙයි. නමුත්, වර්තමානය වන විට මෙම ස්ත්‍රී, පුරුෂ කාර්යභාරයන් වෙනස් වී ඇති අතර එය නිශ්චිතවම නිර්වචනය කළ නොහැක. එක් පුද්ගලයෙක් කාර්යභාරයන් විශාල ප්‍රමාණයක් සිදු කරන තත්ත්වයක් වර්තමානයේ උද්ගත වී ඇත.
මානව සබඳතා වල ස්වරූපයද මේ අනුව වෙනස් වී ඇති අතර, පුද්ගල අවශ්‍යතාද වර්තමානයේ වෙනසකට භාජනය වී ඇත. ඉතා වේගයෙන් දියුණුව කරා දිව යන සමාජයක මානව සබඳතා පවත්වා ගැනීමද ගැටළුවක් වී ඇත. පුද්ගලයා ආරෝපිත තත්ත්ව පසෙකලා සාධිත තත්ත්ව වලට මූලිකත්වය දී ක්‍රියා කරයි. එවිට පුද්ගලයා වටා බැඳුනු මානව සබඳතා නිසා ඔවුන් අපහසුතාවයන්ටද ලක් වේ.
වර්තමානයේ සෑම පුද්ගලයෙක්ම තම තමන්ගේ අවශ්‍යතා අනුව ස්ථිර හෝ තාවකාලික හැඟීම් මත ඕනෑම මොහොතක සබඳතාවයේ හැඩය වෙනස් කර ගනී. එය ආත්මීය වීම නොවීම පුද්ගලයාගේ ආකල්ප මත රඳා පවතී. තම තමාට උරුම වී ඇති කාර්ය කොටස් ඉටු කරනා අතරම, බැඳීම් පිළිබඳව වර්තමානයේ වෙනස්ම ආකල්ප දරයි. තම තත්ත්වයට උරුම කාර්ය කොටස් ඉටු කිරීම තමන්ගේ වගකීම් ඉටු කිරීමක් පමණක් ලෙස වෙනස්ම මතයන් දරන පිරිස් අද සමාජයේ බහුලව දක්නට ඇත. තමාගේ හැඟීම් සමඟ කරනා ගනුදෙනු වලදී ඔවුන් පරිසරයට අනුව එය ගලපාගෙන හැසිරෙන ආකාරයක් දක්නට ඇත. වර්තමානයේ සමාජයේ පවතින ආර්ථික තත්ත්වය අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවයද වෙනසකට භාජනය වී ඇත. එනම්, පුරුෂයන්ගේ කාර්ය භාරයන් ස්ත්‍රීන් විසින් සහ ස්ත්‍රීන්ගේ කාර්ය භාරයන් පුරුෂයන් විසින් ද සිදු කරනු දක්නට හැකිය. ඔවුන්ගේ රැකියා මාරු වී ඇත.
උදාහරණයක් ලෙස, ඉවුම් පිහුම් වැඩ, මැහුම් වැඩ, මනාලියන් හැඩගැන්වීමේ කාර්යයන්, ගෙවතු වගාව ආදී අතීතයේ ස්ත්‍රීන් සතුව තිබූ බොහෝ කර්තව්‍යයන් පුරුෂයන් විසින් රැකියාවන් ලෙස වර්තමානයේ සිදු කරනු දක්නට ලැබේ. ස්ත්‍රීන් ද බරවාහන යන්ත්‍ර වල කාර්යයන්, අහස්යානා නියමුවරියන්, රා මැදීමේ කාර්යයන්, රාත්‍රී වැඩමුර වල රාජකාරි කටයුතු ආදිය සිදු කරනු දක්නට ලැබේ. මේ අනුව, වර්තමානයේ ස්ත්‍රිය ලිංගික කාර්යයන්ට යොදාගන්නා භාණ්ඩයක් ලෙස නොසලකා පුරාණ බ්‍රාහ්මණයන්ගේ කිමන් වලට පහරක් ගසා ඇති බව පෙනී යයි. අතීතරයේ ස්ත්‍රිය පුරුෂයාගේ විඩාබර ගතට ලිංගික තෘප්තිය ගෙන දෙන පුද්ගලයෙකි. නමුත් වර්තමානයේ ඇය ද පුරුෂයා සමඟ උරෙනුර ගැටෙමින් ආර්ථික කාර්යයට සහාය දෙයි. එබැවින් ඇයගේ ශරීරය විවාහක පුරුෂයාගේ උත්තේජනයට පමණක් යොදා ගනිමින් සහ විවාහයෙන් පිටත සමාජයේ සිටිනා කාන්තාවන් එලෙස යොදා ගැනීමද අවම වී ඇත. අතීතයේ මානව සබඳතා පුරුෂයාගේ සිතැඟි අනුව පමණක් ඉටු විය. එවිට ස්ත්‍රිය කෙළි බඩුවකි. පුරුෂයාට අවශ්‍ය ආකාරයට ඇය හැසිරිය යුතුය. දරුවන් වදා දරුවන් රැක බලා ගැනීම සහ ගෙදර දොර කාර්යයන් පමණක් ඇයට උරුම විය. වර්තමානයේ තත්ත්වය වෙනස් අතට හැරුනද කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් ඇයට අවශ්‍ය ආකාරයෙන් ඉටු වේදැයි යන ගැටළුව පවතී. ඇයට අවශ්‍ය ශාරීරික මෙන්ම මානසික අවශ්‍යතාවයද ඉටු වීම සමාජයේ යහපැවැත්මට බෙහෙවින්ම බලපානු ලබන්නේ තොටිල්ල පදවන අත ලොව පාලනය කරනා බැවිනි. මානව සබඳතා මුලින්ම යහපත් ආකාරයෙන් ඉදිරියට යන්නේ මානව පවුල තුළිනි. එබැවින් තමන්ට උරුම වී ඇති වගකීම් සහගත වූ කාර්ය කොටස් නොපිරිහෙලා ඉටු කරන අතරම, තමාගෙන් සමාජානුයෝජනය ලබන දරුවන් නිවැරදි ආකාරයෙන් සමාජගත කිරීමට ද වග බලාගත යුතුය. එසේ වීමට නම් පවුල තුල මානව සබඳතා ඉතා ශක්තිමත්ව මෙන්ම නිවැරදි ආකාරයෙන් සිදුවිය යුතු බව පෙනී යයි. පවුල තුල පවතින අඹු සැමි සබඳතා මෙන්ම දෙමාපියන් සහ දරුවන් අතර සබඳතා මෙලෙස ශක්තිමත් බවකින් පවත්වාගෙන යෑමෙන් පවුල තුලින් සමාජානුයෝජනය වන දරුවා නිවැරදිව සමාජගත වන අතරම, වැඩිහිටියන්ගෙන් සමාජයට විය යුතු යුතුකම් සහ වගකීම් ද නිසියාකාරයෙන් ඉටු වේ.
පවුල තුළ සිදුවන මානව සබඳතා ඉතා ආදරණීයව සිදු විය යුතු අතර, එවිට සමාජය පිළිබඳ වෛරී ආකල්ප සහිත පුද්ගලයන් නිර්මාණය නොවේ. මානව සබඳතා නිසි අයුරින් පවත්වා ගැනීමට නම් මානව අවශ්‍යතා පිළිබඳ මනා දැනුවත් භාවයකින් යුතුව ක්‍රියා කළ යුතු වේ. අඹු සැමියන් වශයෙන් සැමියාගේ අවශ්‍යතා සහ බිරිඳගේ අවශ්‍යතාවයන් පිළිබඳව වැටහීමකින් ක්‍රියා නොකල හොත් එතැන සබඳතාවය බිඳ වැටීමට එය හේතු වනු ඇත. දූ දරුවන් අතර ද මනා වැටහීමක් තිබිය යුතුය. නැතහොත් සහෝදර සහෝදරියන් අතර අනාගතයේදී ගැටුම් වර්ධනය විය හැකිය. දෙමාපියන් දරුවන් අතර සබඳතාවය ද නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම තුළ දරුවන් දෙමාපියන්ට ගරු කිරීම සහ දෙමාපියන්ට දරුවන් නිසි මාවතේ ගමන් කරවීමද පහසු වනු ඇත.
මේ අනුව මානව සබඳතා යනු අප සියල්ලන්ටම පොදු, අප ජීවත් වන වටපිටාවම බව පැහැදිලි වේ.
විමුක්ති දර්ශනිකා.