පොඩි එකාගේ ලියමන

අයිස් විකුණන එවුන් අල්ලල හිරේ දාන එකට හොදටම බයවෙලා ඉන්නෙ විජේ බාප්පාය .දැන් මෑන් ඒ වැඩේ නවත්තලාය .අනික මිනිහා ඉස්කෝලෙ ඉස්සරහම ලමයින් ඉලක්ක කරගෙනම මේ වැඩේ කොරලාය .අල්ලගත්තොත් ඒකාට ඇපත් නැතිවෙන බව කීවේ තාත්තාය . අත්තම්මා ඒකාට හෙණ හතම ඉල්ලුවේ හොර කපුටා වාගේ හිටියාට මේකා මොළ හතක වැඩ්ඩෙක් යැයි කියමින්ය .

උඹලට පිස්සුද බං .. ඒ අයිස් නෙමේ…… ඒකා වික්කේ අයිස් පලම් . එව්ව තවම තහනම් කලේ නෑ ..කොල්ලො සෙට්ටෙක නේ මෑන් බය කරල තියෙන්නෙ කී අයියා අයිස් සහ අයිස් පලම් අතර ඇති වෙනස අපූරුවට පැහැදිලි කලේ විපත් මඟ අනුපාතයටය .
පොලෝසියේ මාමිලා ඉස්කෝලෙටම ඇවිත් අයිස් ගහන හැටි අපූරුවට කියාදී අත්හදා බලන්නට එපා කියනවාය .කඩේ මාමා ඉස්කෝලේ මුරට දාල තියෙන්නේ අපේ මල්ල චෙක් කොරන්නටය .ඒත් ඒකා එතැනින් නොනැවතී කිරිපල්ලත් අතගානවාය .එතකොට මට නම් හිරිකිතය .මල්ලේ මොනවාදැයි අහපුවාම අයිය කෙනෙක් කීවේ මල්ලේ පොල් කියලාය .ඒ කතාව තාත්තට කීවාම තිත්තා කීවේ ඒකනම් හරියටම හරි කියලාය .ඒ කතාව නොතේරුං මං ඇඹෙරෙන හැටි දැකපු අයියා කීවේ පොඩි එවුන්ගේ කිරිපල්ල අතගාන්නේ නැතිව එව්වා ගෙන්නන මහ එවුන් අල්ලගත්තානම් වැඩේ අහවරයි කියලාය .
ඒකට නම් තාත්තාට හොදටම හිනාය .ඒ ඇයිදැයි ඇහුවේ අම්මාය . ඇයි යෝදියේ අල්ලන්න ඕනෑ උන් ඉන්නනෙත් ආරක්ෂාව යටතෙ නේ .ඉතිං කොහෙ අල්ලන්නද බං. දැක්කනේ අල්ලන්න ගියාම හෙළිකොප්ටරෙන් ගිහින් කරට අත දාල බේරගත්ත හැටි .තව ඔය ජීවිතාන්තය දක්වා සිරගත කරපු එවුන් නිදහස් කරපු හැටි කියා මල්ලේ පොල් කියාද කීවේය .
වැඩිපුරම අයිස් ගහන්නේ ආන්ඩුවේ කන්තෝරු වල උන් බව කී අත්තම්මා ඒකුන් එකෙක් නෑර හිරේ දමන්නට ඕනෑ බවද කීවේය .කඩෙයා කීවේ කියවන්නාවේ අයිස් ගහන උන් ඉන්නා බවත් කටබලියාගෙන පුටු උඩම නිදාගන්නේ රටට කෙළවුනත් උන්ට නොදැනෙන නිසාත් බවය .
මටනම් නිකං පිෂ්ෂු වගේය .අයියාගේ මූණ බැලුවේ නිකමටය .ඒකා මගේ පොතේ අඹ ගෙඩියක් වාගේ තිබුන සිතියමට යටින් අයිස්ලන්තය කියා ලියලාය .අනේ මන්දා මූත් අයිස් ගහලද කොහෙද කී අම්මා පොත උදුරා ගත්තාය .ඒකට කමක් නෑ බං ..අයිස් කන්ද බේරගෙන නැව ගෙනියන්න පුළුවන් පොරක් දැන් අපට ඉන්නනවා නේ කී තාත්තා තුහ් නොදකින් කියා කාරා කෙල ගැසුවේ ය … ඒකත් වැටුනේ මගේ පොතටමය .
මීට
පොඩි එකා …..
සුභාෂ් දික්වැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *