මගෙ නිර්මාණවලින් දූවිලි සුවඳ එනවට මම කැමතියි. – සුගත් සෝමවීර

ජීවිතයේ බින්දු මාත්‍රික කියවා ගැනීම් මිනිසෙකුගේ ජීවතාලෝකනය උදෙසා වන lankatarget.com හි signature සනිටුහන පෙරලා ප්‍රශ්න කිරීමක් නොව ජීවිතාදර්ශය හා ඔහුගෙන් හෝ ඇයගෙන් ගත යුත්තක් ගෙන අවසේස ජීවිත සාර්ථක කර ගැනීම් සදහා වන සටහන් තැබීමකි. මෙවර ජීවිතයේ පැතිකඩක් විවර කිරීම උදෙසා අප ඇරයුම් කර සිටියේ ප්‍රවින මාධ්‍යවේදියෙකු හා ගී පද රචකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුගත් සෝමවීරයන්ටය. මේ ඔහුගේ ජීවිත පැතිකඩෙහි ආදරණීය පිළිබිඹුවයි..

 

සම්පූර්ණ නම කොහොමද යෙදෙන්නේ

හපන්තිලකගේ සුගත් සෝමවීර

හුරතලේට කියන නමක් තියෙනවද ?

දැනුවත්ව නෑ. නොදැනුවත්ව සමහරු කියන හුරතල් නම් ඇති.

අම්මා ගැන කිව්වොත්

අපේ අම්මා මහ පුදුම ගැහැණියක්. තාත්තා අපිට අවුරුදු නවයෙදි දහයෙදි විතර මිය ගියාම මාත් නංගිත් හදාගත්තෙ අම්ම කුලී වැඩ කරල. ඒ දවස්වල පඩිය රු. 75යි. හැමදාම කුලී වැඩ නෑ. කඩයප්පන් තැම්බුව. හැබැයි අපිට මතක හැමදාම අපිට දුන්නෙ බත්. අපිට හැමදාම බත් දුන්න ඒ සූත්‍රය තාම හොයාගන්න බැරි එකක්. කටු මැටි ගහපු පොල් අතු හෙවිල්ලපු පොල්ලතු පැලැල්ලකින් දොර වහගත්ත තාත්ත නැති ගෙදර අපිවත් පරිස්සම් කරගෙන අම්මත් පරිස්සම් වෙලා අපිව මෙතනට ගෙනාපු එකම ඇති අම්ම ගැන කියන්න.

එයා පහ වසරට විතරයි ඉගෙන ගෙන තිබ්බෙ. හැබැයි එයා එක්ක මනෝමෙන් ගණන් හදන්න ගණන් විභාග පාස් කරපු කෙනෙක්ටත් අමාරුයි. අම්මගෙ තාත්ත ටීටර් නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. සෙබස්තියන් පීරිස් කියල. ඒ කලා අභාෂය එයාට තිබ්බ. ඉයර් එකට සර්පිනාව වාදනය කරන්න පුලුවන්. සිංදු කියන්න පුලුවන්. පුදුම ලස්සනට නැළවිලි ගීත ගයල අපිව නිදි කෙරෙව්ව.

එයා ඉගෙන ගන්න කිව්ව අපිට. හැබැයි ඉංජිනේරුවො වෛද්‍යවරු වෙන්න නෙවෙයි. හැම වෙලේම කිව්වෙ හොඳට ඉගෙනගෙන හොඳ මිනිහෙක් වෙයන් කියල. එච්චරයි.

තාත්තා ආදරේ හංගලමද දුන්නේ

තාත්තගෙ ආදරේ ගැනත් තාත්තා ගැනත් ලොකු මතකක් මට නෑ. අපිට තේරෙන කාලෙ වෙනකොට එයා මිය ගියා. නමුත් සිදුවීම් කිහිපයක් බොහොම ගැඹුරින් මතකයේ තියෙනවා. ඒ ටික උනත් ඇති එයා ගැන සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න.

තාත්ත වඩු වැඩ කළා. මේසන් වැඩ කළා. බාබර් වැඩ කළා. ගමේ අය තාත්තට සැලුන් කිව්ව. අම්මට සැලුන්ගෙ ගෑනි කිව්ව. මට සැලුන්ගෙ කොල්ල කිව්ව. නංගිට සැලුන්ගෙ කෙල්ල කිව්ව.

තාත්ත තැපෑලෙන් තමා ඉගෙන ගෙන තියෙන්නෙ කියල අහල තියෙනව. සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනම හොඳටම පුලුවන්. කවි කියන්න ලියන්න පුලුවන්. චිත්‍ර අඳින්න පුලුවන්. මට චූටි මතකක් තියෙනව පුංචිම කාලෙ එයා මගෙ අතින් අල්ලගෙන අන්දවපු ඇත් පැටියෙක් ගැන. එයා යනව හිටිවන කවි මඩුවලට. වෙන්දේසිවලට. ඒ යනකොට මාවත් එක්ක ගියා සමහර දවස්වලට. ගිහින් අර වෙන්දේසි භාණ්ඩ තියෙන මේසෙ උඩම මාව ඉන්දවල එයා කවි කියනව ටිකක් මතකයි.

මං හතර වසරෙ ඉද්දි තමා මගෙ මුල්ම කවිය අතුරු මිතුරු පත්තරේ පලවුණේ. ඒ කවියෙ වැඩි හරියක් ලිව්වෙ තාත්ත බව මතකයි.

පුංචිම කාලෙ අම්ම උයනකල් මායි නංගියි අඬනකොට එයා බිම ඉඳගෙන කකුල් දෙක උඩ අපි දෙන්නව තියාගෙන හයියෙන් අපිට ඇහෙන්න කවි කියනව. ටික වෙලාවක් යනකොට ඇඬිල්ල අමතක වෙලා අපිත් හයියෙන් කවි කියනවා.

පස්සෙ කාලෙ ස්කෝලෙ උසස් පෙළ ඉගෙන ගන්නකොට තමා දන්නෙ එතකොටත් කට පාඩම් ඒ කවි සැලළිහිණි සංදේශයෙ, වදන් කවි පොතේ, බුදු ගුණ අලංකාරෙ තිබුණ කවි කියල.

තවත් මතක සිදුවීමක් තමා සමහර දවස්වල රාත්‍රියට ගේ ඉස්සරහ මිදුලෙ පැදුරු දෙක තුනක් එළාගෙන සිංදු කියන සිරිතක් තිබ්බා. ඉස්සරහ ගෙදර කපුරුබණ්ඩා මාමයි, හැමදාම වගේ මේ සාජ්ජයට එන පොයින්ට් බණ්ඩ මාමයි හරිම රසවතුන් දෙන්නෙක්. තාත්ත ආසම ගීත තමයි අඩුකුලේ කියාලා අසරණයා, ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි, පනාමුරේ ඇත් රාජා කියන ගීත. එක අතක් මිට මොලවගෙන අනික් අතේ දබරඟිල්ලයි මැදගිල්ලයි උඩ පහල යවමින් තට්ටු කර කර ඒ සිංදු ලොකු සංවේදනාවකින් ගයපු හැටි මට ගොඩක් මතකයි.

වැඩියෙන්ම ආදරේ ඇති සහෝදරයා හෝ සහෝදරිය කවුද ?

වැඩියටත් අඩුවටත් කෝකටත් මට ආදරේ කරන්න ඉන්නෙ එක සහෝදරියයි. එයා මගෙ නංගි. නදීකා සංජීවනී. ඇය ගුරුවරියක්. මට අක්කෙක් ඉඳල තියෙනව. මම උපදින්නත් අවුරුදු හතකට කලින් එයා නයෙක් කාල මැරිල.

පාසල් ගියේ ?

එකොළහ වසරට වෙනකල් නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ කැලේවැව විජය කණිෂ්ට විද්‍යාලයට. දැන් නම් ඒක මහා විද්‍යාලයක්. උසස් පෙළ ඉගෙන ගත්තෙ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයෙ.

ඉස්කෝලේ දක්ෂතම ශිෂ්‍යයාද , ඇක්ටරයාද , කලර්ස් පෙන්නපු චරිතයක්ද ?

ඔය චරිත තුනටම මාව ඇතුලත්. මම එක වසරෙ ඉඳල දහය වසර වෙනකල් පංතියෙ පළවෙනිය. එකොළහේදි මගෙ යෙහෙළියක් ඒ තැන ගත්ත. මම දෙවෙනිය. ඒව ලොකු කම් නෙවේ. ගොඩේ අපේ ස්කෝලවල තරඟයක් නෑ.

ඇට්ටර වැඩනම් ගොඩක් කරල තියෙනව. ඒව ටිකක් දිග කතා. එකක් විතරක් කියන්නම්.

මම ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලයට උසස්පෙළට ආවම ඒ ස්කෝලෙ අය රැග් කළා. නොයෙක් නොයෙක් ක්‍රියාකාරකම් ඒ අතර තිබුණා.

එදා සඳුදාවක්. ස්කෝලෙ මහ රැස්වීම. පිට්ටනිය ගාව තියෙන විශාල රැස්වීම් ශාලාව ඉස්සරහ එළියෙ. ළමයි හත් අටසීක් ඉන්නවා. උදේ හත හමාර අට කියන්නෙ හොඳ අව්ව. අපි පේලි පේලිවලට හිටගෙන ඉන්නව. මම හරි චූටියි. මම පේළියෙ ඉස්සරහම ඉන්නෙ.
පන්සිල් කියල ඉවරවෙලා ළමයින්ගෙ විශේෂාංග තියෙනවා. පිටිපස්සෙ හිටපු ඒ ස්කෝලෙ ජ්‍යෙෂ්ට ශිෂ්‍යයෙක් මගෙ කොලර් එකෙන් අල්ලල ඉස්සරහට තල්ලු දැම්ම කතාවක් කරපං කියල. සූදානම් නැති නිසා මං අපහසු තාවට පත් වෙනවා දැකීම තමා ඔවුන්ගෙ අරමුණ වෙන්න ඇත්තෙ.

මම ගිහින් කතාව පටන් ගත්තා. මුළු කතාවම හිටිවන කවියෙන්. අවසර ගැනිල්ලෙ ඉඳල. මට ගානක් නෑ. මම වචන අමුණ අමුණ කවි කියනවා. ඉවරයක් නෑ. කාටවත් නවත්වන්න බෑනෙ. අවුවෙ ඇඹරෙනව කට්ටිය. මම පියස්ස යටනෙ මට අව්ව නෑ. මම තව තවත් කවි කියනවා. කවියෙන් කළේ මාව එහෙම ඉස්සරහට එවපු අයට බැනපු එක තමා. කවි කතාව අවසන් කළේ  “රිදෙන තැන්වලට හොඳටම රිදේවා  හැදෙන අය නියම මගකට යෙදේවා” කියල. මට ඕනි ටික ඔක්කොම කියලමයි නැවැත්තුවෙ.

දාඩිය දෙකොනෙන් දාගෙන මට රැග් දෙන්න ආපු අයියල රැග් එක කෑව. එදා ඉඳල මට රැග් කරන්න ආවෙ නෑ කවුරුත්. මට පහුවදා ඉඳල ස්කෝලෙ ගුරුවරු සහ ළමයි කිව්වෙ මහා කවිකාලිදාස කියල.    තව ඉතින් ඔය වගේ දේවල් තියෙනව. එහෙම උනොත් සාකච්චාව දිග දැඩි වෙනව. කලර්ස් පෙන්නන්න කියල වැඩ කරල අමුතුවෙන් කරපු දෙයක් නම් නෑ. නමුත් කරපු සමහර වැඩ නිසා ඒ තැන මට ලැබිල තියෙනව.

කොච්චර ගුටි කාල තියෙනවද ?

පාසලේ දි මතක හිටින අවස්ථා දෙකකදි ගුටි කාල තියෙනව හොඳටම. ඒ අවස්ථා දෙකේදිම මම වරදක් කරල නෙවෙයි.

එක අවස්ථාවක් අටේ නවයෙ පන්තිවල ඉන්න කාලෙ. අපේ ස්කෝලෙ ළමයි සමහරක් එන්නෙ පා පැදවල. ඒව ස්කෝලෙ ඉස්සරහ නවත්තල තියෙනව. දවසක් එතන ඉන්නකොට මාත් එක්ක හිටපු මගෙ යාලුව හැට්ට කට්ටකින් රෝදෙකට ඇනල පැන්න. මම ඉතින් එතන හිටිය. බයිසිකලේ අයිතිකාරය ඇවිත් සර්ට මාවයි අල්ලල දුන්නෙ. මම ඒ වගේ වැඩ නොකරන බව දන්න සර් කෙනෙක් ඒක පළමු අවස්ථාවත් අවසාන අවස්ථාවත් වෙන්න ඕනි කියල හිතල වෙන්න ඇති පොල්ලකින් කැරකිල්ල හැදෙනකල් ගැහුව.

දෙවෙනි අවස්ථාව එකොළහ පන්තියෙදි. එදා හැමෝටම චිත්‍ර සටහන් පොත් සම්පූර්ණ කරල ගේන්න කියල තිබ්බ. මම සම්පූර්ණ කරලයි තිබ්බෙ. මගෙ පොත තමා ගොඩක් අය බලාගෙන ලියන්න අරගන්නෙ. එක ළමයෙක් ඒක ගෙදර ගෙනිහින් ගෙනත් නෑ. සර් පොත් බලාගෙන එනව එක එක්කෙනා ගාවට. ඔක්කොම ගාව පොත් තියෙනව. මගෙ ළඟ නෑ. මට කෝටුවකින් හොඳ මතක හිටින පාරක් ගැහුවා. ගහල කිව්වෙ “මම දන්නව තමුසෙ වැඩ කරල තියෙන්නෙ කියල. ගහන්නෙ ඒකට නෙවෙයි. තමුන්ගෙ දේවල් පරිස්සම් කරගත්තෙ නැතුවට” කියල.

වෙන නම් මතකයක් නෑ ගුටි කාපු වෙලාවක් ගැන.

ඉස්කෝලේ ලව් එකක් තිබුන නේද ?

තිබ්බ. එකක් නෙවෙයි මතක හිටින දෙකක්. එකක් එකොළහ වසරෙදි. ඒක ඇත්තටම ආදරයක් ද මොකක්ද කියල දන්නෙ නෑ. පංතියෙ හිටපු ලස්සනම ළමය ගැන තමා හිතුවෙ. මම හොඳටම දන්නව කෙසඟ කැහුටු මාව ඒ ළමයට ආකර්ශනයක් වෙන්න විදියක් නෑ කියල. ඒත් මම ගොඩක් හිතුව එයා ගැන. පොඩි පොඩි ඉඟි කළාට එයා ගනන් ගත්තෙ නෑ. එච්චරයි. ඊට එහා මොකුත් නෑ. ඒ ගැන ගීතයකුත් මම ලිව්ව පස්සෙ කාලෙක “හිතාගන්න බැරි ඈතක” කියල.

අනික් ලව් එක උසස් පෙළ පංතියෙ. එතකොටත් මම හරි කෙට්ටුයි. කළුයි. හැබැයි ආදරෙන් හිතුවෙ ඒත් පංතියෙ හිටපු පෘෂ්ටිමත්, ලස්සන හැඩ ගෑනු ළමයෙක් ගැන. එතනදි නම් ඇයත් මට යම් පමණකට ආදරේ කළා. මම හිතපු හැටි ද දන්නෙත් නෑ. රැවටුණාද දන්නෙත් නෑ. කොහොම හරි අන්තිම වෙනකොට එයත් ගෙදර අයගෙ යෝජනාවක් මත වෙනත් කෙනෙක්ට තීරණය වෙලා කියල එයා කිව්ව. ඇත්ත බොරු කොහොම උනත් මං ඒකට ගොඩක් දුක් වින්ද. ඒ දවස්වල මම පරන කැසට් එකක් මකල දුක් ගැනවිලි සිංදු ටිකක් ටේප් කරල එයාට යැව්ව. පස්සෙ මමත් ගීත කිහිපයක් ලිව්ව. සංයුක්ත තැටියකට ගීත හතරක් පටිගතත් කළා. සාම සමන්ත කියල අයිය කෙනෙක් තමා ඒ ගීත ගැයුවෙ.

එයා මට ලියුමක් එවල තිබ්බ. ඒක පුදුම ආදරණීය ලියුමක්. “සිතුවිලි සිරවී හදවත පතුලේ” කියන සිංදුවෙන් තමයි පටන් අරන් තිබුණෙ. මම ඒ ලියුම පුදුම විදියට පරිස්සම් කළා. කාටවත් අහුනොවෙන්න තැනින් තැන හංගල වරින් වර කියව කියව දුකත් එක්ක කලවම් උන මහ පුදුම සතුටක් වින්ද. අනේ දවසක් බලනකොට වේයො ටිකක් ඒ ලියුම කාල. කොච්චර දුකක් තරහක් ආවද කිව්වොත් මම බෝතලයක් අරන් අර වේයො ටික බිම දාල ඇඹරුව. එච්චරට මම ඒ ලියුමට ආදරේ කළා.

කොහොම උනත් මගේ ගීත රචනා ජීවිතේ පටන් ගන්න ඈ ලොකු හේතුවක්. බොහෝ විට ගොඩක් මගේ විරහ ගී අස්සෙ අදටත් ඇය ඇවිත් යනව මම දන්නව. ඇයට බොහොම ස්තූතියි ඇත්තටම මට ලියන්න උල්පතක් උනාට.

මොකද හිතෙන්නේ පාසල් ප්‍රේමය ගැන

ඒ කාලෙ නම් පාසල් ප්‍රේමය සුන්දරයි. ලියුමක් එහෙම ලියන් ඒක දෙන්න කාපු කටු අදටත් මිහිරි මතකයක්. එක වචනයක් කතා කරනව කියන්නෙ ඉතින් හිත පුපුරන්න තරම් සතුටක්. ඈත ඉඳන් හොරෙන් මූණ ටිකක් බැලුවාම සුමානෙකට ඇති. රාගය එක්ක වෙච්ච ගණුදෙනුත් අතරින් පතර නොතිබ්බා නෙවෙයි. ඒත් වැඩිපුර ඒවා මහ පුදුම සුන්දරත්වයක් තුබුණ ප්‍රේම කතන්දර.

කැම්පස් ගියාද ? මොකද වුනේ ඉතිං

නෑ. මොන කැම්පස්ද. මම ශිෂ්‍යත්වෙ ඉඳලම පේල්. ඒ කාලෙ එතරම් අපිටත් දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ඒ ගැන වගක් නෑ. මට නම් ලකුණු කොච්චර තිබ්බද වත් මතක නෑ. සාමාන්‍ය පෙළත් මහා ලොකු හොඳකට පාස් උනේ නෑ. උසස් පෙළත් එහෙමයි. මට හොඳටම පුලුවන් විෂය චිත්‍රවලටත් S එකක් තිබ්බෙ. අනිත් විෂයයන් දෙකටනම් B දෙකක්. ඉතින් කැම්පස් යන්න ලකුණු කීපයක් මදි උනා. ආපහු උසස් පෙළ කළේ නෑ. මොකද තව දුර්ටත් අම්මට කුලී වැඩ කරන්න දෙන්න බැරි නිසා.විද්‍යාපීඨ නම් යන්න පුලුවන් උනා වගේ. ඒත් මට ගානක් නෑ ඇයි මම විද්‍යාපීඨ ගිහින් නැත්තෙ කියල.

ජීවිතේ පට්ට කට්ටක් කෑවද ? අමතකම නොවෙන තැන මොකද්ද

ඔව්. අපේ ජීවිතේ ඔක්කොම කටු විතරයි. මල් පිපෙන්න තරම් සරුවක් තිබ්බෙ නෑ. අමතක නොවෙන සිද්ධි නම් එමටයි. ඒ එකක්වත් අමතක වෙන්න විදියක් නෑ.

හා හා පුරා කියල කරපු මුල්ම ජොබ් එක මොකද්ද?

මුලින්ම කළේ නම් අම්මත් එක්ක කුලී වැඩට ගියපු එක. ඒක ඉස්කෝල යද්දිනුත් කළා. ගොයම් කපන්න, කවුපි මුං උදලු ගාන්න වගේ ඒව තමා කළේ. ඊට පස්සෙ උළු මෝලක වැඩට ගියා වයික්කාල පැත්‍තෙ. ඊට පස්සෙ පොලෙත් ගියා නෑදෑ අයිය කෙනෙක් එක්ක. ඊට පස්සෙ ආණමඩුව තෝතැන්න කියල රාජ්‍ය නොවන සංවිධානෙකට බැඳිල වැඩ කළා. ගෙවල් ගානෙ පයින් ඇවිදන් ගිහින් පොත් විකුණන වැඩෙත් රස්සාවක් විදියට කළා.

තව කඩවල් වල බෝඩ්, බැනර් පෝස්ටර් ඇන්ද කාලයක්. තොරන් පෝරු ගැහුවා.

ජොබ් එකෙකින් ලැබුනු පළමු වැටුපට මොකද කලේ

එහෙම ලොකු මතකක් නම් නෑ. කොහොම උනත් ගෙදරට කෑම බීම බඩු මුට්ටු ගන්න එක තමා කරන්න තිබ්බෙ. වෙන අවශ්‍යතා තිබ්බෙත් නෑ. දැනුණෙත් නෑ. දැනුනත් කරන්න දෙයක් තිබ්බෙත් නෑ. වයික්කාලෙ උළු මෝලෙ වැඩට ගියෙ නම් සපත්තු දෙකක් ගන්න.

අම්මෝ ඒ රස්සාව ගැන මතකය දරාගන්නත් බැරි තරම් දුක හිතෙන එකක්.

ජීවිතේ ගෙනියන්න ජොබ් එකක් ඕනම ද

ජොබ් කියන අර්ථයෙන් නම් මම දන්නෙ නෑ. ජීවිතේ ගෙනියන්න පමණටවත් අවශ්‍ය මුදල් ටික හොයාගන්න විදියක් ඕනි. බොහෝ විට මං වගේ කෙනෙක්ට සල්ලි තියා ඉන්න හිටින්නවත් තැනක් හරියට තිබ්බෙ නැති නිසා කවුරුහරි යටතෙ රස්සාවක් කරන්න ඕනි උනා. කළා.

ජොබ් එක කරගෙන යද්දී කැපිලි කෙටිලි ආවද

ඔව්. කොහෙද කාටද ඒව නැත්තෙ.

හැම තැනම ඉන්නවා ටාගර්ට් කරල ගහන එකෙක්. හිටියද ඉතිං එහෙම කෙනෙක්

මට එහෙම විශේෂ එදිරිවාදියො තරහකාරයො නෑ. හිටියෙත් නෑ මම දැනුවත්ව.

වෘත්තීය ජීවිතයේ තිතට කියල දෙන කෙනෙක් ඉන්නවා අපි හැමෝටම කවුද ඒ

මම එක වෘත්තියක් කරපු කෙනෙක් හෝ එකම වෘත්තියකට කොටු උන කෙනෙක් නෙවෙයිනෙ. වෘත්තීන් කිහිපයක් කරනවා. කරල තියෙනවා. ඒ නිසා ඒ හැම එකටම ඉතින් අඩුම තරමෙ එක්කෙනෙක් වත් ඉන්නව හරි වරද හොඳ නරක මග නොමග කියල දුන්න.

මම අද නියෝජනය කරන සන්නිවේදකයාගේ භූමිකාව හදාගන්න ලොකු අත්වැලක් උනේ රජරට සේවය. එහි හිටිය ජ්‍යෙෂ්ඨ වගේම ප්‍රවීණ නිවේදක නිවේදිකාවෝ මට ශිල්ප දුන්නා. ශ්‍රියානි සමරනායක, රංජිත් රූපසිංහ වගේ ජ්‍යෙෂ්ටයො එහි සිටියා. මට වඩාත් මතක සහ ගරු කරන චරිතයක් තමා එහි වැඩසටහන් නිෂ්පාදකයෙක් ක්‍රියාකාරී සහයකයෙක් විදියට හිටිය චන්ද්‍රරත්න පෙරුම්බඩගේ කියන චරිතය. ඔහු ආකර්ශනීය සහ ආදරනීය සන්නිවේදකයෙක් වෙන්න මතක හිටින සුන්දර පාඩම් ටිකක් දැනෙන්න කියල දුන්න.

ගීත රචනා දිවියේ මං ගාව තිබ්බ හැකියාව හරි මග දිගේ යවන්න ලොකු පෙළඹවීමක් කළ කෙනෙක් තමා සාහිත්‍යවේදී සිඩ්නි මාකස් ඩයස් මහතා. ඔහු මානවවාදී සිතුවිලි එක්ක වැඩෙන්න ලොකු පසුබිමක් මට හදා දුන්න.

චිත්‍ර ශිල්පියෙක් හැටියට ආව ගමන අතර මග කුමන හෝ හේතුවක් නිසා නැවතුනා. කොහොම උනත් මගේ මුල්ම චිත්‍ර ගුරුතුමා කපිල එස් සේනාධීර සර් සහ උසස් පෙළ චිත්‍ර ගුරුතුමා රංජිත් ජයරත්න සර් තමා හරියට හරි දේ කියල දුන්නෙ.

තව භූමිකා ගණනාවක මම වැඩ කළා. කරනව. ඒවටත් හරි මග පෙන්වපු අය ගොඩක් ඉන්නව.

මම රාජ්‍ය සේවකයෙක් විදියටයි ස්ථීර රැකියාව කරන්නෙ.

රැකියා කීයක් කළා ද ස්ථාන කීයකට මාරු වුනාද

රාජ්‍ය සේවයේ එකම රැකියාවයි. මුල්ම රැකියාවට යන්නෙ කල්පිටිය ප්‍රාදේශීය සභාවෙ කළමනාකාරණ සේවා නිළධාරියෙක් විදියට. අවුරුදු පහක් එහෙ ඉන්නවා.

ඊළඟට වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවට එනවා. එතන අවුරුදු අටක් ඉඳල වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට මාරු වීමක් අරන් එනව. දැන් ඉන්නෙ කුරුණෑගල විධායක ඉංජිනේරු කාර්‍යාලයෙ.

මම රාජ්‍ය සේවෙ තනතුරු අරන් උඩට යන්න කැමති මිනිහෙක් නෙවෙයි. මට ඕනි මට පඩි ගෙවන මිනිස්සු වෙනුවෙන් මම දන්න යමක් උපරිමයෙන් කරන්න විතරයි. ඒක මම ණය නැතුව කරනවා.

රැකියාව කරද්දී අසාධාරණයට ලක් වෙන්න ඇති

අසාධාරණ කොහෙද මේ ලංකාවෙ නැත්තෙ. මම මගෙන් වෙන්න ඕනි දේ ගැන හිතල වැඩ කරනව. එපමණයි.

ප්‍රේම කතා කීයක් තියෙනවද ජීවිතේ.

ගණන් කරල නෑ. මට තියෙන ඔක්කොම ප්‍රේම කතා තමා.

 පැරදුනු තැනක් නැද්ද

නෑ. මම පරදින මිනිහෙක් නෙවෙයි. මම ජීවත් වෙන තැන පරදින තැනක් නෙවෙයි. එහෙම කිව්වෙ ජීවිතය ගැන ලෝකෝත්තර අර්ථයෙන් නෙවෙයි. සාමාන්‍ය පෘතග්ජන ස්වභාවය ඇතුලෙ මම හිත දියුණු කරගන්න මහන්සි ගන්නව හැම මොහොතම සතුටින් ඉන්න සරල අර්ථ චර්යාවක් එක්ක ජීවත් වෙමින්. එතකොට පරාජය විදියට එන්න තියෙන්නෙ මරණය පමණයි. ඒක ඉතින් කාටත් පරදින්න වෙන තැනනෙ. මමත් ඒ නියතයට යටයි. එච්චරයි.

ලංකාව හැදෙන්න නම් මොනව වෙන්න ඔ්නෙද

හැදෙන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනි. මිනිස්සු හදන මිනිස් යහපත් චර්යාවන් වඩන අධ්‍යාපන ක්‍රමයක් ගේන්න ඕනි. මම පෞද්ගලිකව විශ්වාස කරනව අඩුම තරමෙ තුන්වන හතරවන පංති දක්වාවත් අකුරු ඉලක්කම් උගන්නන ක්‍රමයෙන් බැහැරවෙලා හැදියාවන්, යහ චර්යාවන් ප්‍රායෝගිකව හුරු කරන අධ්‍යාපන රටාවක් වහා පැමිණිය යුතුයි. ඒකට සාහිත්‍ය සෞන්දර්‍ය මූලික පාදම කරගන්න ඕනි. එහෙම උනොත් විතරක් තව අවුරුදු පහළොවකින් විතර ලස්සන රටක් අපිට දකින්න වාසනාව ලැබෙනවා. නැත්නම් තවදුරටත් අප්‍රසන්න රටක් දකින්න පුලුවන්. මම හිතන්නෙ නෑ එහෙම ක්‍රමයකට තීන්දු තීරණ ගන්න උදවිය කැමති වෙයි කියල. මොකද මිනිස්සු හිතන හැටි අවුල් වෙන තරමට දේශපාලඥයන්ට, වෙළෙන්ඳන්ට, ලොකු ලොක්කන්ට පහසුයි. මිනිස්සු නුවණක්කාර උනොත්, ආදරණීය වුණොත්, සංවේදී වුණොත්, යහපත් චින්තනයෙන් යුක්ත වුනොත් ඔවුන්ගෙ කෙරුවාව ඉවර වෙනවා.

මම කරපු යෝජනාව දැනට ලෝකෙ රටවල ක්‍රියාත්මකයි. ඔවුන් දිනනවා.

සංස්කෘතික රාමුව තුළ පවතින වට පිටාව රටේ මානව සංවර්ධනයට බලපෑම් කරනවා නේද

හැමවිටම සංස්කෘතිය නිර්මාණය වෙන්නෙ අපේ බලපෑමෙන්. සංස්කෘතිය කියන්නෙ කොටින්ම කිව්වොත් මේ මොහොත පවතින හැටි. ඒක වෙනස් කරන්නෙ අපි. අපි නැතුව සංස්කෘතියක් නෑ. කවුරුහරි කියනවනම් පවත්නා සංකෘතිය හොඳයි කියල ඒකෙ තේරුම ඒ මොහොතේ ජීවත්වන සමාජය හොඳයි කියන එක. කවුරුහරි කියනවනම් සංස්කෘතිය අවුල් කියල ඒ කියන්නෙ අවුල් අපි තමයි. සංස්කෘතිය කියන්නෙ ආකස්මික දෙයක් නෙවෙයි. අපි විසින් කරන කියන දේවල්වල මිශ්‍රණයක්. ඒ අනුව මානව සංවර්ධනය මැනගන්න පුලුවන් එරට සංස්කෘතියෙන්. මිනිස්සු තමයි සංස්කෘතියට බලපෑම් කරන්නෙ. ඊට පස්සෙ ඒ සංස්කෘතිය මිනිස්සුන්ට බලපානවා. ඒ කියන්නෙ අපි කරන කියන දේවල් අපේ සංවර්ධනයට බලපානව. ඒ අර්ථයෙනුයි සංස්කෘතිය මානව සංවර්ධනයට බලපෑම් කරන්නෙ. කවුරුහරි කියනවනම් සංස්කෘතිය නිසා සමාජය වෙනස් වෙනව කියල ඒ සමාජය හෝ සංස්කෘතිය නිර්වචනය කරගන්නා විදියෙ අවුලක්. නෑ සමාජය නිසයි සංස්කෘතිය බිහිවෙන්නෙ, වෙනස්වෙන්නෙ, ඔයාගෙ ප්‍රශ්නෙට මගෙ උත්තරේ ඒකයි.

 කලාව එක්ක ගත්තොත් ඔබගේ කාර්යය භාර්යය හා සමාජය සංසන්දනය කළොත්

කලාව විවිධ අරමුණුවලින් භාවිතා වෙනව. භාවිත කරන්නත් පුලුවන්. ඒකට කාටවත් වැට කඩොළු දාන්න බෑ. ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නෙ කලාකරුවා සමාජය මත සිදුකිරීමට අපෙක්ෂිත බලපෑම නැත්නම් ඔහුගේ අරමුණ එක්කයි.

කලාව කලාව සඳහා කියල මතයක් තියෙනව. කලාව මිනිසා සඳහා කියලත් මතයක් තියෙනව. දැන් දැන් කලාව වෙළඳාම සඳහාත් කරනවා. ඉතින් මම මගෙ කලා හැකියාවන් පාවිච්චි කරන්න කැමති කලාව මිනිසා සඳහා කියන විශ්වාසයේ ඉඳගෙනයි. මම ඒ වෙනුවෙන් මගෙ හැඟීම්, මගෙ වචන, මගෙ නිර්මාණ භාවිතා කරනවා. කොච්චර පරණ කියමනක් උනත් ආනන්දයෙන් ප්‍රඥාවට මිනිසා ගෙන යා යුතුයි කියන ආදර්ශයට මම කැමතියි. මම ඒක අනුව කටයුතු කරනවා. ඒක මිල කරන්න අමාරුයි. ඒ නිසා වෙළඳපොලේ බාල භාණ්ඩ හැටියට මගේ නිර්මාණ විකිණීමේ අපහසුවක් තියෙනව. ඒත් මං වස අයිසින් තවරල කවන්න කැමති නෑ මිනිස්සුන්ට. මම මගේ නිර්මාණ හරහා පුරවැසියෙක්, රටවැසියෙක්, මනුස්සයෙක් හැටියට මා බලාපොරොත්තුවන පරමාදර්ශී ආදරණීය සමාජය දැකීම උදෙසා වෙහෙසෙනවා. ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මට වැදගත් මම කරන දේ සහ මගේ අරමුණයි.

කවුරු මොන බල්ටි ගැහුවත් අන්තිමේ වැටෙන්න ඕනි පය ගහන්න ඕනි මහ පොළොවෙ බව මම දන්නවා. ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා මම නටන නැටුම පොළොවෙ ඉඳගෙනම නටනවා. මහ පොළොව තරම් වේදිකාවක් කොහෙන් ද?

මගෙ නිර්මාණවලින් දූවිලි සුවඳ එනවනම් මම කැමතියි.

ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද

ජීවිතේ කියන්නෙ බලාපොරොත්තු අභියෝග මතින් ජයග්‍රහනයට මෙහෙයවන ක්‍රියාවලියක්. ඒකයි මිනිස්සු එක එක විදියට ජිවත් වෙන්නෙ. අනික් අතින් ජීවිතය කියන්නෙ මැරෙන බව ඉගෙනගන්න ඕනි පාඩමක්. එතකොට පුලුවන් ආධ්‍යාත්මික කෙළවර කෙසේ වෙතත් තව මිනිහෙක්ට වද නොදී, අංචි නොඇද, කකුලෙන් නොඇද, නරකක් නපුරක් නොකර ජීවත් වෙන්න. එහෙම ඉන්න පුලුවන් කියන්නෙම කෙනෙක් සතුටින් ඉන්නවා කියන එක තමා.

මට නම් ජිවිතය කියන්නෙ මේ මොහොත විතරයි.

ඔබගේ ජීවිතයේ කෙනෙකු කියවා ගත යුතු පැති ගැන ඔබට අදහසක් තිබේද ? ඒ්වා මොනවාද ?

මට කවුද කින්ද මන්ද කොහොමද උසද මහතද ලොකුද පොඩිද රජද ගොවිද කළුද සුදුද මෙලෝ එකක් අදාල නෑ. මට අදාල එයා මනුසායෙක් ද කියන එක විතරයි. අනික් ඒව පස්සෙ. ඒ විභාගය අසමත් නම් එතනින් එහාට කියවගෙන වැඩක් නෑ. මම කයවාගන්නෙ එහෙමයි.

කොහොමද පවුල් ජීවිතය

බිරිඳයි පුතාල තුන්දෙනයි එක්ක සතුටින් ඉන්නවා.

මැරෙන්න කලින් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ රටට සමාජයට

මැරෙන්න කලින් කරන්න ඕනි ඒව කරල ඉවරයි. මං ඒව කරන්නෙ ඒ මොහොතෙමයි. මං කලිනුත් කිව්වනෙ මට ජීවිතේ කියන්නෙ මේ මොහොත විතරයි. මම කිසිවක් ඊළඟ මොහොතට තියාගන්නෙ නෑ. ඊළඟ මොහොතක් තිබ්බොත් ඒක මේ මොහොත විදියට අරගෙන ඒ මොහොතෙ කරන්න පුලුවන් හොඳම දේ රට සමාජය වෙනුවෙන් කරනවා. ඒක සමහර විට ඒ මොහොතෙ ආදරෙන් හිනාවෙන එක වෙන්න පුලුවන්.

 සංශිප්තව කියන්න අනාගත බලාපොරොත්තු මොනවාද

ඒක තීරණය වෙන්නෙ ඒ මොහොත අනුවයි. ඒ මොහොත තමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ තීරණය කරන්නෙ. මේ මොහොතෙ කාටවත් කරදරයක් නැතුව සතුටින් මං ඉන්නවා. එච්වරයි.

 

සාකච්ඡාවට ගත්තේ – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *