ධාතු සහ ධාතු

මුන්නැහේලා දන්නවැයි ඔය මහසෙන් මහ රජතුමා තමයි ලොකේ තියෙන විසාලම ගඩොල් ඉස්මාරකය කොරලා තියෙන්නෙ..කාලයක් ඔය අභයගිරිය යැයි කිය කියා ඉඳලා දැං ජේතවනේ කියන්නෙ ඒකට නොවැ..පිරමීඩ තරම්ම ලොකුයි නෙ.ඉතිං ඔය මහා චෛත්යය රාජයාණන් වහන්සේ හැදුවට මොකද ඕකේ තැන්පත් කොරන්ට ධාතු තිබුණේ නෑ කියනවනෙව..මහ රජ්ජුරුවො ගිනි පත්තුවෙන අව් කාස්ටකේ චෛත්යද පාමුල සත්යරක්රියා කොරාලු ධාතූන් ඉල්ලලා.ඕං ඕක දැකලා සක්ර දෙයියංගෙ පඬුපුල් ආසනේ උණු උනාලු.ඒ ගමන අපේ බුදු හාමුදුරුවන්ගෙ පටී ධාතුවෙන් කොටහක් කපලා ජේතවන චෛත්ය රාජයාණන්ගෙ නිධාන් කරන්ට කියා දුන්නලු..
ඒ විතරක්දැ ..ඔය දුටුගැමුණු මහ රජතුමාට ස්වර්ණමාලි මහා චෛත්ය රාජයාණන්ගෙ තැන්පත් කොරන්ට ධාතුන් වහන්සේලා ගේන්ටත් මහා යුද්දයක් කොරන්ට උනාලු..අපේ සෝණුත්තර මහ රහතන් වහන්සෙ නාග ලෝකෙට වැඩම කරලා කාළ නාග රාජයාගෙන් ඔය ධාතු කරඬුව ඉල්ලුවාලු..ඒ ගමන වාසුලදත්ත නාග රාජයා ධාතූන් වහන්සේලා ගිලලා යොදුන් තුන් සීයක් දිග මහා සරීරයක් මවාගෙන මහා මේරු පරුවතේ වටේ එතිලා උන්නලු..දහස් ගණනක් පෙන මවාගෙන තවත් නාග රාජයින් පිරිවරාගත්තලු..ඒ දැක්ක අපේ සෝණුත්තර මහ රහතන් වහන්සේ ඉර්ධියෙන් සියුම් අතක් මවාගෙන ධාතූන් ඇරගෙන ආවලු..
මං මේ මුන්නැහේලගෙන් අහන්නෙ ඒ රජවරු මොකට මහන්සි උනාදැයි ඔච්චර.දැං ඔය ටෙලිවිසොං ‚ වෑර්ලස් වගේ අණබෙර ආයතනෙකට ටෙලිපොං කෝල් එකක් දීලා දේස දීපන්කරේ මහත්තැංගෙන් ධාතූන් වහන්සේලා ඉල්ලගන්ට තිබ්බෙ නැද්දැ..? දැං ඔය පංසලක් පංසලක් ගානේ ධාතු ප්රදර්ශන තියෙන්නෙ.ඔය මහා චෛත්යඉ හදාපු රජුන්ට බැරි උනාද මං අහන්නෙ ඔය ආකාරයට මහන්සි නොවී ‚ වෙන වෙන ලෝක එක්ක තරහා මරහා නොවී හෙමිහිට මේ වගේ ධාතූන් ටිකක් ඉල්ල ගන්ටැ.. කේෂ ධාතුය‚ පාරිභෝගික ධාතුය‚ මහ රහත් ධාතුය කිය කියා ඔය වැඩම කොරන්නෙ අපූරුවට..පාළොස්වකට මේ පංසලේයැ .. අටවකට මේ පංසලේයැ කියකියා ලොරි බාග උඩ තියාගෙන එහෙ මෙහෙ දුවන්නෙ ඔය..
අනේ ඉතිං අපේ දේවානම්පියතිස්ස රජතුමාගෙ හස්ති රාජයා නැවතුනා වගේ ඔය තඩි ලොරි බාගයක් පාර මැද හිට්ටොත් මොන තරං කලබොලයක් තියෙයිද බොල..කිරි අප්පොච්චියෙ ඒ රාජ උත්තමයො ධාතූන් වහන්සෙලාට කොරාපු පූජාවන්..රන්‚ මුතු‚ මැණික් විතරක්යැ මේ සිරිලංකා දීපේ පවා පූජා කොරානෙව..හැබැයි ඉතිං ඒ මහා ධනස්කන්ධයන් ඔක්කොම ඔය චෛත්යො රාජයන්නෙ තැම්පත් කොරාලුනෙව..අපේ මේ දැං ඉන්න රාජ රාජ මහාමාත්යාකදීනුත් ඔය වගේ පූජාවන් කොරනවා මුන්නැහේ..ඔය ටෙලිවිසොං එකේ තරගෙට පෙන්නනෙ..අර ඇමතිතුමා මෙච්චරයැ..පුරෝහිතතුමා මෙච්චරයැ..රජතුමා මෙච්චරයැ කිය කියා..ඒ මදිවාට විසාකාවො‚ අනේපිඬු සිටුවරු වගේ දානපතියො කොරන පූජාවන්..මුන්නැහේලවත් මට කියනවැයි ඔව්වා තැන්පත් කොරේ කොහෙදැ කියා..
අනේ ඉතිං ඒ උපාසක උන්නැහේලගෙ තියෙන සිරියාව..ඩිංගක් දැලි කුණු ගෑවිලා තිබ්බත් අපේ ටෙලිවිසොං දරුවො ඒ වෙලාවෙම පිහලා දානවානෙව.. ඔය ලොකු ලොකු ආයතන බර බාග බැඳගෙන නානාප්රකාර ධාතූන් වැඩමවාගෙන ගමෙන් ගමට යනවනෙ බොලව්..දළදා හාමුදුරුවො බලන්ට යන්ට හයි හත්තිය නැතුව ඉන්න නාකි මට දැං බය වෙන්ට කාරණාවක් නෑ බොලව්..පාරට ගිහාම ඇති..මං අහන්නෙ අපේ අස්ගිරියෙ මල්වත්තෙ අපේ හාමුදුරුවන්ටත් බැරිද ඔය ලොකු ආයතන දෙක තුනකුයි මන්තිරිලා ටිකකුයි කැන්දගෙන දළදා හාමුදුරුවො ප්රදර්ශනේ කොරන්ට..හා..හා.. මං එක්ක තරහා ගන්ට කාරි නෑ මහතුනේ..මං ඇහුවෙ ඔය ඔක්කෝම කොරන ආකාරෙට ඒකටත් අර අදී බොලව්..
–උන්නැහේ–

Leave a Reply

Your email address will not be published. Required fields are marked *