එට්කා සමග රස්සා

ඩිංගක් දවල් වෙන්ට ඇරලා කහට කෝප්පයක් බොන්ට ගත්තා විතරයි සාරි පටලවගත්ත කෙලි පැටික්කියෝ දෙන්නෙක් කඩුල්ල පැනගෙන ගේ දිහාවට ආවා..හිතේ හෝදිසියටයි අඳුරගත්තෙ මේ අපේ සිමියොන්නෙ ලොකු කෙලී තව නෝනෙකුයිනෙව.මේ කෙලී විස්සවිජ්ජාලෙ ගොහින් ඇවිදිං රස්සාවක් කොරනවයි කියලා නං ආරංචියක් තිබ්බා.ඉතිං මේ ආවයි කියන්නෙ එළවලු ඇට වගයක් බෙදන්ටලුනොවැ.සංවර්ධන නිලධාරියෙක්ලු දැං.සිංහල සාහිත්ය්ලුනොවැ උපාධියට කොරා කියන්නෙ.මට තියෙන පුරස්නෙ සිංහල උගතෙක් කෘසිකර්මෙ වැඩ කොරන්නෙ මක්කටයි කියාලා.පොඩි දා ඉදන්ම කලා විෂයන් කොලේ ..විස්සවිජ්ජාලෙත් කලාවම කොරලා දැං මේ ගං තුලානෙ ඇවිද ඇවිද ඇට බෙදන්නෙ අහවල් එකටදැ..?

ඒ අස්සෙ වෑර්ලස් එකෙන් කියනවා එට්කාද මොකද්දෝ පොරොන්දු පත්තරයක් අස්සං කොරනවාය ඒක මෙහෙමය මෙහෙම වාසි ලැබෙනවාය කියකිය..ඉන්දියාවත් එක්කලාලුනෙව ඔය පොරොන්දම් බලනවාය කියන්නෙ.ඔයිට කලිනුත් සීපා කියාලත් එකක් අස්සන් කොලා තමුන්නැහේලට මතකැයි..?ඒකෙනුත් හොට බිම ඇනගත්තෙ ලංකාවනොවැ..ඉන්දු ලංකා ආර්ථික සහ සහෙයෝගිතා ගිවිසුම යැයි කියන්නෙ එට්කා නොවැ..ටෙලිවිසොං එකේ විඩයක් ඕකෙ හොඳ කියන අතරේ තවත් විඩක් පලු යන්ට බනින්නෙත් ඕකටමයි ඕං..

උන්දැලා කියනාකාරෙට එට්කා පොරොන්දු පත්තරේට පුළුවන්ලුනෙව ඉන්දියාවෙ රස්සා නැතුව කැරකි කැරකි ඉන්නාවුන්ට ලංකාවට ඇවිදිල්ලා රස්සා කොරන්ට හිටං..ඔය මහා රාජ්ජෙක නැති රස්සා කොහෙන්ද බොලව් මහ මුහුදෙන් ගොඩට ආපු මේ පස් ඩිංගිත්තක හොයන්නෙ..?ඔය ඇට බෙදන එවුන් වගේ කීයක් නං උගත්තු නූගත් රස්සා කොරනවද..දැං ඔය ආණ්ඩුවේ විස්සසිජ්ජාල වලින් කීයක් නං උගත්තු එළියට එනවද..උං ඔක්කොටම රස්සා දීලා තියෙනවදැ..?සාමාන්ය් පෙළය උසස් පෙළය කිය කියා විබාග පස්සෙ දිව්වාට රස්සා හම්බුනාදැ…..ඕං එතකොටයි සිහියට ආවෙ..දැං අට පාස් වෙලා වැඩක් නෑලුනෙව..අට පාස් වුනාට රස්සා දෙන් නැලූ..ඉතිං කොහෙදැ මේ ලංකාවෙ රස්සා..

දැං ඔය පොරොන්දු පත්තරේ තියෙනාකාරෙට ඉන්දියාවෙ රස්සා නැති දොස්තර මහත්තුරුන්නෙ පටන් හැම ආකාරෙම උන්දැලා මෙහෙ එනවාලු රස්සා හොයාගෙන.අඩු පඩියට බං අඩු පඩියට..!අර කාලයක් සුදු මහත්තුරු ඉන්දියානු දෙමළුන් ගෙන්නාන වතු වගා කොළා වගෙම තමයි..සිරි ලංකාවෙ එවුන්ට අත පය හතර වකුටු කරාන බලාන ඉන්ටයි තියෙන්නෙ..

අනික ඔවුන් හිස් අතින් එනවාදැ..උන්නෙ සංස්කෘතිය‚ හොඳ නරක හැම දෙයක්ම ගේනවා බොලව්..ඒ මදිවාට අම්බපාලියෝ.. මාධවියෝ මේකෙත් පාරක් පාරක් ගානේ රෑ පැල් රකීවි ඕං..මොකෑ ඉතිං ඔවුන් බුදුන් උපන් දේසෙන් ආවැයි කියා සුද්දවන්තයෝයැ..දැනටමත් ඔය ගිලන් රථ ද කොහෙදෝ එවලාය එව්වයින් එකකට ගුටි බැට දීලාය කියකියා කරච්චලයක් ඇහුනෙ..

දියවන්නාවෙ මහත්තුරුත් දෙපිලකට බෙදීගෙන ඔය කියන පොරොන්දු පත්තරේ ගැනම නොවැ කතාව..ඒක හරිය වැරදිය කිය කියා ඉන්නවා මිසක් උන්දැලත් මේකෙන් වහං වෙනවා බොලව්..මේ ගං තුලානෙ අපේ උන්නෙම කර පිටින් දියවන්නාවෙ පීනපු උන්ට අන්තිමට මේ ඔක්කොගෙම ඔලු ගෙඩි වලට උඩිං පෙනුනෙ පිට ගංකාරයින්මනෙව..සරම ඇන්දාය කියා අමුඩෙ අමතක කොරනවද මුන්නැහේ..?
-උන්නැහේ-
ලියන්නෙ.. ඉරේෂා මධුවන්ති වික්රීමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *