“නෙවිල් ප්‍රනාන්දු උත්තමයාගේ මහා දානමය පුණ්‍යකර්මය”

පහුගිය අවුරුදු කීපෙක ඉදංම ⁣අපේ විස්සවිජ්ජාල සිස්සයොයි, ආචාරියවරුයි, දොස්තර මහත්තුරුයි, මහජනතාවයි ඔක්කෝම එකට එක්කාසු වෙලා වෙර වීරිය යෙදුවනෙව අර සයිටම් හොර උපාධි කඩේ වහන්ටයෑ, ප්‍රමිතියක් නැතයෑ කියලා. ඒකෙන් ඉතිං නිතරෝම බැටන්පොලු පාරවල් කෑවේ අපේ එව්වොමයි. අප්පේ ඉතිං කඳුළු ගෑස් නෑවනෙව. මාත් ඉතිං වල පයයි ගොඩ පයයි තියාගෙ උනත් ඕවා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නෙ මුන්නැහේ….ඒ අල්ලපනල්ලෙ තමයි පහුගිය ටිකේම මේ සයිටොං එකටම අනුබද්ධ වෙලා තියෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල ආණ්ඩුටව පවරා ගන්නවා යැ කියලා රාවයක් ගියෙ. ඕං ඉතිං ඊයේ ආණ්ඩුටව පවරා ගත්තය කිනවානෙව ඒ ඉස්පිරිතාලෙත්. අපේ දානපති නෙවිල් ප්‍රනාන්දු උතුමානන් විසින් දානමය පින්කොමක් හැටියට මේක කොලා කියලනෙව රාජිත උත්තමයා කියන්නෙ. උන්දැට කිසීම දුකක් නෑය කියන්නෙ. රුපියල් බිලියන තුන හමාරක වටිනාකමක් දීලා නෙව ආණ්ඩුටව ඕක පවරගෙන තියෙන්නෙ .. අපේ සවුක්කිය ඇමති උත්තමයයි , නෙවිල් ප්‍රනාන්දු උත්තමයයි , ලංකා බැංකුවයි එක්කාසු වෙලා ඊයෙ නෙව ඔය ගිවිසුම අස්සන් කොලේ. දැං ඉතිං අගෝස්තුවෙ පලවැනිදා ඉදං නෙවිල් ප්‍රනාන්දු ඉස්පිරිතාලෙන් නොමිලේ බේත් හේත් කරනවාය කියන්නෙ. දැං ඔය ඉස්පිරිතාලෙ ඔප්පුව ලංකා බැංකුවේ ණය ගෙවනකං ඒ බාරයේලුනෙව තියෙන්නෙ. හැබැයි ඉතිං ඒ ණය තුරුස් ටික නෙවිල් උත්තමයා ගෙනවා කියන්නෙ.

තමුන්නැහැලාට මතකයැ අපේ මේ දැං ඉන්න මෛත්තිරි රජතුමා පහුගිය රජතුමාගේ කාලෙ සවුක්කිය ඇමති වෙලා හිටියනෙව. ඒ කාලෙ නං උන්දැ කිව්වෙ මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් කොරන්ට බැරිය, පහසුකම් නැතය කියලා. හැබැයි ඉතිං උන්දැලාම තමයි දැන් කියන්නෙ මේක ශික්ෂණ රෝහලක්යැ කියලා. රාජිත උත්තමයා නං කියන්නෙ මේක ශික්ෂණ රෝහලක් වෙන්ට අවශ්‍ය සුදුසුකම් ඔක්කෝම සපුරගෙන ඉන්නෙ කියලා.. ඒ හිංදා සයිටොං උපාධි කඩෙන් එලිය එන දරුවන්ට දොස්තර පුහුණුව මේකෙම්ම ලබාදෙන්ට පුලුවන්යැ කියලනෙව කියන්නෙ…

අප්පේ ඉතිං අපේ නෙවිල් ප්‍රනාන්දු උපාසක මහත්තයා බොර දියේ මාලු බාන බෑම දියවන්නාවෙ උත්තමයන්ට නොතේරෙන හැටියක්.. ඔය කියන සයිටොං උපාධි කඩෙං නෙවිල් උත්තමයට බොහෝම ලාබ උනාට ඔය ඉස්පිරිතාලෙ නං පාඩුමනෙව ලැබුවා කියන්නෙ. කැබිනට් පත්තරේම කියනාකාරෙට ඔය ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු නැතුව බොහෝම පාඩු ලබනවලුනෙව. නෙවිල් උත්තමයගෙ මොලේ තමයි මොලේ.. ඕං බලාපල්ලා උන්දැ කොරාපු වැඩේ. පාඩු ලබන ඉස්පිරිතාලෙ දානමය පිංකමක බෝඩ් ලෑලි පිටිපස්සට වෙලා ආණ්ඩුවට බදු දුන්නා, ඒකෙං ලබාගත්ත මුදලින් හෙමිහිට තමන්ගෙ ණයතුරුස් ගෙවලා දානවා, ඒ අල්ලපනල්ලෙ ශික්ෂණ රෝහලක් නැතුව තියෙන සයිටොං එකට ශික්ෂණ රෝහලක අවශ්‍යතාවත් සම්පූර්න කොරගන්නවා. ඒ අස්සෙ පාඩු ලබන ඉස්පිරිතාලෙත් මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං දියුණු කොරගන්නවා. .. ඕං බලාපල්ලා එක ගලෙන් කුරුලු රොත්තක්ම බාවා ගන්නා හැටි…

අප්පේ ඉතිං ඔය ඉස්පිරිතාලෙ ආණ්ඩවට ගත්තැයිං ලංකාවෙ සවුක්කිය බොහොම දියුණු වෙනවාය කියනවනෙව.. අර අවුරුදු ගානක් තිස්සෙ පිළිකා රෝහලට, රිච්වෙ ආර්යා ඉස්පිරිතාලෙට, කොළඹ මහ ඉස්පිරිතාලෙට අත්තියාවශ්‍ය දේවල් ගන්ට ආණ්ඩුවට මිලියන දෙක තුනක් නැතුව ජනතාව සල්ලි දිදි උදව් පදව් කොරනවා. ආණ්ඩුව පාඩු ලබන ඉස්පිරිතාලෙයක් ගන්ට බිලියන ගනන් වියදම් කොරනවා. මක් කොරන්ටද මුන්නැහේ අපිම ප්‍රජාචන්ත්‍රවාදෙං දියවන්නාවෙ යවාපු අපේම නියෝජිත මහත්තුරු නොවැ. නඩුත් හාංදුරුවන්ගෙ බඩුත් හාංදුරුවන්ගෙ…..

-උන්නැහේ-
‘අහන් හිටියෙ… ඉරේෂා මධුවන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *