ජීවිතේ හිතන තරම් සුන්දර නෑ ..

මිහිපිට දෙවියො අම්මයි, තාත්තයි වෙද්දී අක්කලා නංඟිලා කියන්නෙම තේරුම් ගන්නම බැරිම බැඳීමක්. තේරුම් ගන්න හදන කොටත් පපුවට දැණෙන කියාගන්න නොතේරෙන ආදරේ… මුළු ඇඟ පුරාම වේඟයෙන් උඩු දුවනවා.
නන්නාදුනන හිනාවක් මුළු ආත්මය ස්පර්ෂ කරන කොට මං කියන්නෙම ඒ මගේ අක්කා කියලා.
හිරු නැති අහසක තරුවක් පායද්දී එයා කිවුවෙම ඒ මගේ නංඟි කියලා.
ඒක කොයි තරම් සුන්දර දෙයක් වුණත් අපි අපිව වර්ණනා කරගෙනම නෑ. අක්කට මං මේන් මේ තරම් ආදරෙයි කිවුවම එයා හැමදාම කියුවේ, ” දන්නවනේ මං ඔහේට කොයිතරම් ආදරේද කියලා.”
බැඳීම් වලින් ඈත් වෙන්න දිගම දිග හුස්මක් ගන්න මොහොතක කඳුළු හිනාවකට හැරෙව්වාම මට එයාව වැළඳ ගෙන ආදරේ තරම කියන්න ඕන වුණා. දැන් දිග හැරෙන පිටු වල යාන්තමින් දුක ගෑවිලා තිබුණත් හැම දවසක්ම සතුටින්ම පිරිලා ගියේ අපේ හිනාවේ සැබෑම අයිතිකාරියො අපිම වෙමින්.
අපි අපේ හිනාවට නම් තිබ්බෙම වරදකාර හිනාවක් කියලා.. වදකාර හිනාව හැමදාම අපේ දවසේ ආරම්භය. ඒ හිනාවම අපේ දවසේ අවසානයත් වෙද්දිම අහසේ තරු වුණත්, රෑට පිපෙන මල් වුණත් ලෝබ වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා..
එයා දුකින් ඉන්න හැම මොහොතෙම මං ඔහේ කියවනවා. එතකොට එයා ඒ දුක මගේ ළඟට වීසි කරලා හිස් බවම පිරුණ මගේ වචන අහුරු පපුවට තුරුළු කරගෙන ආදරෙන් හිනා වෙනවා. ඒ හැමදාම එයා මට කිවුවේ “ආච්චිඅම්මා” කියලා.
හිත රිද්දන වචන ඉමක් කොනක් නැතුව එහා මෙහා යද්දී ආදරේ මැන ගන්න වගේ මං විහිලුවට හිත රිද්ද ගන්නවා.
ඒ හැමදාම එයා මහ හයියෙන් හිනා වෙලා කියන්නෙම, මේකත් වෙනම ආතල් එකක් කියලා..

“… ඇඬුවත් අපි.. හිනා වුණත් අපි.. ඉතිං මොකද..”
එයාගෙ හිත රිදුණම දවසක මං දුකින් ඉන්න කොට එයා මට කිවුවෙම එහෙමයි. අකුරක් එක්ක පැටලිලා එන ආදරේ පපුවටම දැණෙද්දී හෙට දවස ගැන බලාපොරොත්තුවක් දල්වනවා. සුසුම් වලින් මඟ අහගෙන ආව සහෝදරකම් නමක් තියලා හිර කරන්න පුළුවන්ද ??
ආදරේ උණුහුම ළඟම තියාගෙන විඳි නොවිඳි සහෝදරකම් අපි හදවත් වලින් විඳිනකොට මහ පොළොවට වුණත් ඒ ආදරේ දරා ගන්න බැරි වෙනවා.
සිතිවිලි තරංඟ එක්ක බැඳීම් ගැට ගැහුනම හැම හුස්මක එයාලා අපි එක්ක ජීවත් වෙනවා.
මං අක්කේ කියද්දී එයා නංඟී කියනවා..
දුවන් ඇවිත් හැම දුකක්ම මගේ හිත උඩට අතෑරලා දාන කොට මට වුණත් දරා ගන්න බැරි දවස් කොයි තරම් තියෙන්න ඇත්ද එයා දන්නේ නැති වුණාට.
නංඟි මේක ලස්සනයිද, අරක කෝමද, මේක කෝමද, මේ බලන්න මේක.. අර අරක.. ..
පිස්සියෙක් වගේ හැමදේම දුවන් ඇවිත් මගෙන් අහනකොට ඉඳ හිටලා මං අහන්නෙම “දැන් ඉතිං මං මේවට ලස්සනයි කියන්න ඕනද ” කියලා.
සහෝදරකම එහෙමයි. ඒවා අකුරු වලට සීමා කරන්න දරන උත්සහයක් වෙලාවකට පුහු සිතිවිල්ලක් වගේ.
සතුටට වඩා දුකක් අපි අපි එක්ක බෙදා ගනිද්දී ඇත්තමයි ඒ සෙනෙහස හිත ඇතුලෙ හංඟගෙන උදේ හවා ඒ සෙනෙහසට වඳිනවා.
හිතට දැණුනු පෙර සංසාරේ බැඳීම් වල වටිනාකම් දැණෙන්නෙම අපො තනි වුණ වෙලාවට. කවුරුත්ම ළඟ නැති වෙලාවක. පාලුවෙන්ම ඉන්න මොහොතක..
හිතින් අල්ලගෙන මේ විදින ජීවිතේ හිතන තරම් අසුන්දරත් නෑ.. සුන්දරත් නෑ…!
බැඳීම් අපි ළඟ අපේ වෙලා ඉන්නවනම්….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *