ලුණු

ජීවිතේ දිනන්න ඕන කියලා හැමදාම කුමුදුට එයාගෙ අම්මා කියද්දී කුමුදු හැමදාම ඒ වචන වලට පයින් ගහලා අහකට වෙනවා .
හරිම දරදඬු හිතක උරුමකාරියක් උන කුමුදුට ජීවිතේ ප්‍රශ්න දැණුනෙම නෑ.

බැඳීම් හිතවත්කම් ආදරය සෙනෙහස ප්‍රතික්ෂේප කර එකම ළමයා කුමුදු කියලා වෙලාවකට මට හිතුණා.
කුමුදු පොඩි කාලේ ඉදගෙන සෞම්‍ය දේවල් වලට ආදරය කලත්, ජේ.වී.පේ කාලේ තිබුණු සමාජ ප්‍රශ්නත් එක්කම කුමුදුගෙ තාත්තට මරණයේ උණුහුමට ගුළි වෙන්න වෙද්දී කුමුදුටු අවුරුදු 7යි කියලා ජීවිතේ පිටු පෙරළන මොහොතක එයා මට කියලා තිබුණා.

කුමුදුගෙ තාත්තගෙ වියෝවත් එක්කම කුමුදුට මේ සමාජය ගැන, මිනිස්සු ගැන ඇති වුණේ මහ අසීමාන්තික වෛරක් සහ කළකිරීමක්.
කුමුදුගෙ වැඩිමහල් සහෝදරයා ඒ කියන්නේ කසුන් , එයා තමයි එතන ඉදගෙන අම්මගෙත්, නංඟිගෙත් වඟකීම කරට ගත්තේ.
කුමුදු කවදාවත් හෙට දවසක් ගැන බලාපොරොත්තු දැල්ලුවේ නැති ගැහැණු දරුවෙක් විදියට එයා විසින්ම මට එයාව හඳුන්වා දුන්නා.
මට එතනදී කුමුදුගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබුණත් ආයෙමත් හිතුණෙම මේ ඒකට වෙලාව නෙවෙයි කියලා.

කසුන්ට ඕන උනේ කුමුදුට කෝමම හරි උගන්වන්න. ඒ වෙද්දී කුමුදුගෙ එකම දුර්වලකම තාත්තා කියන එක අම්මත්, කසුනුත් හොදින් දැන හඳුන තිබුණා. කුමුදු වසයට වඩා පරිනත වෙද්දී කුමුදු අයියා තීරණය කරා නංඟිට නීතීඥවරියක් වෙන්න මඟ පාදන්න ඕන කියලා.
ඒකට කුමුදුගෙ පාසලෙන් ලැබුණු ශක්තිය අපමණයි කියලා කිහිප තැනකදිම කුමුදු ඉතාමත් නිහතමානීව සදහන් කරා..
ජීවිතේ ගැට ගහ ගන්න අම්මා කුලී වැඩ කරද්දී අයියා අත්වැඩ කරන්න ගියා. කියලා කුමුදු කියන්නේ මහ දුකක් හිත අස්සේ හංඟගෙන.
උදේට ගෙදරින් යන අයියා හවසට ඇවිත් අත්ල බල බල අහසක් උසට කල්පනා කරනවා.
අම්මා ඇගේ අමාරුවට රෑට කෙඳිරි ගානවා.
මේ කුමුදුගෙ වේදනාකාරී වචන.

අහස කලු කරගෙන එද්දිම කුමුදු එයාගෙ කාමරේ මුල්ලක තියෙන පුටුවක වාඩි වෙලා කවුලුවෙන් අහස දිහා බලාගෙන කල්පනා කරන්නෙම ” තාත්තට සිද්ධ උන අපරාදෙ නිසා අපේ පවුලම අනාත වුනා” කියලා..!
ඉස්සර ලුණු පොල් කටුවේ ලුණු මල් පිපෙද්දී තාත්තා කියන්නේ ‘දැන් හොද කාලේ ලබලා’ කියලා..
කුමුදු එක හුස්මට කියාගෙන යනවා..
කුමුදුගෙ තාත්තගෙ වියෝවෙන් පස්සේ ලුණු මලුත් වේදනාවෙන් මිරිකිලා මියැදෙද්දී කුමුදු කල්පනා කරේම දැන් අපේ කාලේ ඉවරදෝ කියලා.
රාත්‍රී 11,12 කියන්නේ කුමුදුගෙ කල්පනාවේ ආරම්භය.. එතකොට පාන්දර 2,3 කියන්නේ ඒ කල්පනාව අවසන් වෙන වෙලාව.. දින පොතේ තවත් සුවද පිටුවක් අස්සේ ඒ වචන ගුළි වෙලා තිබුණා.
දැන් වගේ නෙවෙයි , ඒ කාලේ හරිහැටි ලයිට් තිබුණෙත් නෑ. කුප්පි ලාම්පු වලින් තමා මුළු වට පිටාවම එළිය කරන්නේ.. ඒක හරිම කටුක අත්දැකීමක්. ඒ ඉස්සර.. දැන් ඒ ගැන ඈ මතක් කරන්නේ හරිම සතුටකින්.. ඈ ඒ අත්දැකීම් වලින් තෘප්තිමත් වීමක් වෙනවා. කමුදු කියන්නේ විඳවන ගමන් ජීවිතේ විඳින එකියක්. මං ඈව තේරුම් ගත්තේ එහෙමයි..
ඒ විඳවීමත්.. ඒ විඳීමත් අතර තියෙන්නෙ හරි අමුතු රහක්.
දින පොතේ සමහර පිටු හිස් බවින්ම පිරිළා තිබුණා. මට ඒ ගැන ප්‍රශ්න කරන්න උමනාව සැරින් සැරේ ආවත් ඒකට අවස්ථාවක් ලැබුණෙම නෑ.. ඒත් ඒ හිඩස පුරවමින් කුමුදු කීවේ, කලකිරීම වැඩිම උන දවස් වල මං මේ පිටු වලටත් වෛර කරා කියලයි. කුමුදු පොතේ පිටු පෙරළනවා. මං සංයමයෙන් අහගෙන ඉන්නවා. නපුරු කාලය දැන් ගෙවීගෙන එනවා. කුමුදු දවසින් දවස ජීවිතේ ගැන ඉගෙන ගන්නවා. කුමදු ශිෂ්‍යත්වය අසමත් වෙනවා. වේදනාවෙන් මිරිකෙන්න ඕනම මොහොතක එයා හිත දැඩි කරගන්නවා. අධිෂ්ඨානය ගොඩ නඟා ගනන්වා..
පුංචි හිතට දහසක් පැතුම් ඇතුළු කරගන්නවා. තාත්තා කියන චරිතය හිතේ ඉහළින්ම තියාගෙන ඉන්නවා. කුමුදු දක්ෂ ක්‍රීඩිකාවක් විදියට පාසල පුරා ජනප්‍රිය වෙන්න ගන්නේ ඇය 7 වසරට පැමිණීමත් සමඟය..
කුමුදු ගෙදර එන්නේ අම්මාගෙ අතින් බත් කටක් කෑමටය..
අයියා සමඟ අඬ දබර කිරීමටය..
ඒක කොයිතරම් සුන්දරයිද.. ! කුමුදුගෙ කතා බහ අස්සෙන් මං මගේ අතීතයට පවා දිව ගියා.
කුප්පි ලාම්පුව දල්වගෙන කළුවර උඩු දුවපු බිහිසුණම රාත්‍රීන් ගැන කුමුදු මට කියන්නේ පුදුමාකාර ලෝබ කමකින්. කුමුදුගෙ ජීවිතේ ඇතුලේ මං නතර උනේම එයාගෙ කාමරේ පොත් මේසය ළඟ. ඉස්සරහින් වීදුරු දාපු පුංචි ජනෙල් කවුළුවක්. මේසය උඩ දකුණු පසින් කුප්පි ලාම්පුවත්, වම් පසින් වතුර වීදුරුවත්, ඒ දෙක මැඳ කුමුදු ආසම පොත් කිහිපයක් සමඟ හැම වෙලේම පෑනක් සමඟ හිස් පිටුවක් ඒ මේසය උඩ කුමුදු වෙනුවෙන්ම තිබුණා.
ඒ හිස් කොල වල එළිවෙනකොට කවි ලියැවිලා පාන්දරට අලුත් කොලයකට මේසය උඩ රජ කියවන්න කුමුදු අමතක කරේම නෑ.
ඒවා කෙනෙකුට බොළඳ කවි වෙන්න පුළුවන් නිසා කුමුදු ඒ හැම කවියක්ම , හැම සිතිවිල්ලමක් පරිස්සමට අල්මාරියේ මුල්ලකට වෙන්න තියා හැරියා..
කුමුදු හැම තත්පරයක්ම ගෙව්වේ ලොකු පීඩනයක් එක්ක. ඒ පීඩනය කියා ගන්නම කෙනෙක් නැති වෙන කොට හිස් කොළ කොළ පිරෙනවා කියලා කුමුදු කතා බහන් මං තේරුම් ගත්තා.. කුමුදුගෙ හුස්ම පොද තිබුණේ අම්මගෙයි, අයියගෙයි හුස්ම ළඟ.
පොලුයි, බතුයි, රතු හාලේ බතයි වුණත් ඒවා රජ් බොජුන් වුණා.. ඒ ජීවිතේ රසවත් තැන් කුමුදු කිව්වෙම පපුව හූරන හැඟීමකින්.
කුප්පි ලාම්පුවෙන් අඳුර මකා ගනිපු කුමුදු ජය ශ්‍රී මහා හාමුදුරුවො දැක බලා ගන්න ජීවිතේ දෙවෙනි පාරට අනුරාධපුරයේ යන්නේ කුමුදු විශ්ව විද්‍යාලයට තේරී පත් වුණ බව දැන ගෙන ටික කාලයක් ගත වුණාට පස්සේ. මොකද අත මිට තියාගෙන යන්න කාසි හොයා ගන්න එක කුමුදුට පහසු වුණේ නෑ.
කුමුදු ඒ ගමන යන්නේ තව කීප දෙනෙක් එක්ක..
“එතකොට කුමුදුගෙ අම්මලා?” මං ඒ ප්‍රශ්නය අහගෙන මැද්දට පනින්න හදන කොටම කුමුදු දිග හුස්මක් ගත්තා..!
කුමුදුගෙ කතාව ඈට ඕන විදියට මගේ හිතට අතෑරැලා දාපන් කියලා මං ආයෙම නිහඬ වුණා.. කුමුදුගෙ අම්මයි, කුමුදුගෙ අයියයි එදා ගෙදර නවතින්නේ වැල්ලට ගිහින් සිප්පි කටු මාල විකුණලා අමතරව කාසි ටිකක් හොයා ගන්න..!
කුමුදු ඒ ගමන ගිහින් ආයෙම එද්දී කුමුදු කවි හැම තැනම විසිරිලා තිබුණා.. තෙත බරිත වෙලා ලුණු රසට දැණෙන්න ගත්තා.. මහා විනාසයක් මැද්දෙන් ඒ කවි විලාප තියන්න ගත්තා.. ලුණු මල් පරවෙලා ලුණු පොලු කටුව පවා මුහුද ගිළ ගත්තේ කුමුදුගෙ හුස්ම පොදත් එක්ක..
කුමුදු බිම බලගෙන වැටිච්ච කඳුළු බිඳු දකක් අත්ලට අරගෙන මිට මොළවා ගත්තා.. එතකොට මට කුමුදුගෙන් අහන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.

“මේ ඉන්නේ මගේ අම්මා, මේ මගේ අයියා.” වෙව්ලන හඬින් කුමුදු මට කියද්දී මං කොහේදෝ නොතේරෙන තැනක අතරමං වුණා..!
අඳුර මකන්න කුප්පි ලාම්පුවත් නැති වෙද්දී හිතේ හයියෙන් නැඟිටින්න කුමුදුට සිද්ධ වුණා. තාත්තත්, අම්මත්, අයියත් එකම අහසක පායලා කුමුදුගෙ ජීවිතේට ආලෝකයක් වුණා.!

ඒ ආලෝකය, කවදාවත් නොනිමෙන එළියක්. ඉඳ හිටක මතකයක් දෙකක් තුරුළු වෙලා හිත පාරද්දී එදා වාගෙම අදත්,
ලුණු රහ ඇති කඳුළු එක්ක කවි ලියවෙනවා කියලා කුමුදු අන්තිමට කියනවා..
.
ප.ලි – කුමුදුගෙ කවි කියවලා ඇස් වලින් ආව කඳුළු , මුලු ලෝකයකට දැණ්නුවා කුමුදුගෙ කවි කොයි තරම් ලුණු රස ද කියලා..!. දැන් කුමුදු කියන්නේ, දක්ෂ ලේඛිකාවක්,නීතීඥවරියක්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *