For all who are having a hard time – මේනුකා දම්සරණී

(For all who are having a hard time… දුර්වල මිනිසුන් නිසා ජීවිතයේ අපහසු කාලයක් ගතකරන ශක්තිමත් මිනිසුන් වෙනුවෙන් තබන සටහනක්….)

චීන උණ ගහ… ශක්තිමත් මිනිසුන් කිසිදා තවකෙකු බිඳ දමන්නේ නැත…. චීන උණ ගහක් වෙන්න.. දීර්ඝ කාලයක් ඔබ බොහෝ දුෂ්කරතා මැද ඔබේ සිහින වෙනුවෙන් වෙහෙසෙන්න. ඔබට බොහෝ දේ දරාගන්නට වේවි. ඔබ නිර්දෝෂී වුණත් ලෝකය ඔබව වැරදිකරුවෙක් කරාවි. ඒත් ඉවසලා ඉවසලා බැරිම තැනදි…

අන්න එතනදි ඔබ කවදාටත් වඩා ඉවසන්න. ඒ ඉවසීමේ අනගි ඵල දවසක ඔබට ලැබේවී. නිහඬව ම ඔබ අසීමිත පීඩන මැද ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබව සූදානම් කරන්න. ඒ පීඩනය මැද ඔබ හොඳින් මුවහත් වෙන්න. ඔබ දැනුමින් සන්නද්ධ වන්න. අද මෝඩයින් නූගතුන් නිසා ලෝකය ඔබේ හැකියාවන් නොදකීවී. ඒවා අගය නොකරාවී. එයින් උදම්වන අනුවණ අඥානයින් ඔබට තව තවත් අකුල් හෙළාවි. ඔවුන්ගේ ජීවිත ඔබ නොදැනීම පහළට වැටේවී. මොකද ඔබේ කකුලෙන් අදින්නේ, සෑම විට ම ඔබට පහළින් ඉන්න අය. ඔබත් චීන උණ ගහක් වගේ වෙන්න. දීර්ඝ කාලයක් දුෂ්කරතා මැද ඔබ සූදානම් වෙන්න. සියලු පීඩන දරා ගනිමින් ඔබ ඔබට අවශ්‍ය දෙයින් නිහඬව ම සූදානම් වෙන්න. ඔබේ වෙලාව පැමිණේවි. විශ්ව ශක්තිය විශ්වාස කරන්න.

ඔබේ වෙලාව පැමිණි පසු චීන උණ ගහක් පොළවෙන් උඩට මතු වෙනවා වගේ ඔබේ අවස්ථාව ලබාගන්න. ඉක්මන් කොටයි තමයි. ඒත් ඔබේ පදනම ශක්තිමත්. අවුරුදු පහක් පොළව යට හැදිලා පොළවෙන් උඩට මතුවෙලා සති පහකින් උස යන චීන උණ ගහක් වගේ වේගයෙන් ඔබේ ගමන යන්න. ඔබේ සිහින හඹා යන්න.

ඔබව හඬව හඬවා සිනාසුණු අඥානයින්ට ඔබට දිය හැකි හොඳම පිළිතුර ඔබේ සාර්තකත්වය…. අද ඔබ හඬද්දී ඔබ දුර්වලයැයි සිතූවන්ට ඔබ අද හිත යටින් සිනාසී ඔබ ම ශක්තිමත් වෙන්න. හෙට ඔවුන්ට හදපුරා මුවපුරා සිනාසෙන්නට ඔබට පුලුවන්. අද ඔවුන් දිනුම් යැයි සිතා උදම් ඇනුවත් ඔවුන් ඔබටත් වඩා පරාජිතයින් බව සිතට ගන්න. මන්ද ශක්තිමත් මිනිසුන් කිසිදා තවකෙකු පහත නොහෙළන නිසා. දිනක් ඒවි ඔවුන් ඔබ දෙස නෙත් අයා මුව අයා බලා සිටින. එදිනට ඔබට එවැනි දුබලයින් අබිමුව ඔවුන්ට අවඥාවෙන් සිනාසෙන්නට අවැසි නැත. එදින ඔවුන්ට ඔබේ අනුකම්පාව අවැසි දිනයයි.

මන්ද ඔවුන් තමන් පරාජිතයින් බව හඳුනාගන්නේ එදිනයි. අද ඔබ නිකන් සිතා බලන්න. ඔබව රිදවන පෙළන මිනිසුන් ළග ඇත්තේ මොනවාද කියා. අද ඔවුන් ඔවුන්ගේ සාර්තකත්වය හෝ රඳාපැවැත්ම වෙනුවෙන් ඔබේ දුර්වලකම පරාජය අපේක්ෂා කරනවා ඇත. සසඳා බලන්න. උගත් මිනිසුන් වැදගත් මිනිසුන් එසේ නොකරයි. එසේ කරන්නේ නූගතුන්ම පමණි. ඔබ සැබෑ බුද්ධිමතෙකු ලෙස ඔබේ දෙමාපියන් ගුරුවරුන්ගේ ආශිර්වාදය මැද අසීමිත වෙහෙසකින් උපයාගත් ඔබේ අධ්‍යාපනය ගැන විශ්වාස කරන්න. ජීවිතේ පදනම ශක්තිමත් නම් අභියෝගවලට අභියෝගයක් වෙමින්, ජීවිතේ පෙරට යන්න. ඔබ එනතුරු සාර්ථකත්වය ජීවිතය මග බලා සිටිනවා. ඉදින්, අපි…

චීන උණ ගහක් වගේ වෙමු…

Menuka Damsaranie 2018.07.25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *