මිනිසුන්ට මිනිසුන් මගෑරිලා යයි කියල මට බයයි – කාංචනා විජයබණ්ඩාර

ඇයි මිනිස්සු ගැන කවි ලියන්නේ ?

මිනිසුන්ට මිනිසුන්ව මගෑරිලා යයි, අමතක වෙලා යයි කියලා මට බයයි. මං මිනිස්සුන්ට හරි ආදරෙයි. ගැහැණු පිරිමි හැම මනුස්සයෙක්ට ම. සමහර එහෙව් මිනිසුන්ගෙ වේදනා ගැන මටත් වේදනාවයි. ශක්තීන් ගැන, උත්සහයන් ගැන සතුටුයි. එහෙම තැන්වලදි ඒ අය ගැන කට වචනෙන් විස්තර කරන්න බැරිවෙනකොට මං ඒ අය ගැන ලියනවා. ඒ අය ගැන මට ලියවෙනවා. කවුරුහරි දකිනවා නං මං මිනිසු ගැන ලියන බව, ඇත්තෙන් ම ඒ ඔවුන් වෙනුවෙන් තියෙන මනුස්සකමේ හැඟීම නිසාමයි.

කලා කෘතියක හුදු සංකල්ප මනෝරාජික වුනාම ඒ කවියේ හෝ නිර්මාණයේ අමුතු රහක් තියෙනවා.. මේක ගැන මොකද කියන්නේ ?

ඕන ම මනුස්සයෙක්ට තමන්ටමයි කියලා මනෝ රාජ්‍යයක් තියෙනවා. අපි කවුරු වුණත් ඒකෙ අයිතිකාරයා වෙන්න, ඒක ළඟා කරගන්නයි මේ හැම උත්සාහයක් ම දරන්නේ. ඒත් පවතින, තමන් ඉන්න සමාජ දේශපාලන ක්‍රමයත් එක්ක, තමන්ට ඇසුරු කරන්න ඉන්න පිරිස එක්ක ඒ මනෝ රාජ්‍යය ළඟා කරගන්න අපිට අමාරුයි. එහෙම මොහොතක දි අපි ඒ දේ නිර්මාණයක් හරහා එළියට දාලා හිත නිදහස් කරගන්නවා. ඒකෙ තියෙන අපූර්වත්වය අපි සහෘදයාටත් පෙන්නලා දීලා එයාවත් අපේ ලෝකෙට එක්කගන්න හදනවා. එ් ස්වරූපයෙන් ලියවෙන කවි හරි ම සෞන්දර්යාත්මකයි. ඔව් එහෙව් කවි රහයි තමයි. මොකද එතනදි හරි ම මානුෂීය සුන්දර මිනිස් චරිත ඒ ලෝකෙ දි මුණගැහෙන්න ඉඩ හැදෙනවා.

වියෝගය පදනම් කරගෙන කවි පට්ට පතුරු ගහන සමාජයක මානව දයාවන් ගැන කවි ලිවීම උඩුගම් බලා පීනීමක් නොවේද ?

ඒක අයියෙ මෙහෙමයි. මිනිසු එකට ඉන්න තාක් මේ ලෝකෙ සුන්දරයි කියලා අපිට කියන්න බෑ. ගැටුම් තියෙද්දිත් සුන්දරයි. ඒත් අද මිනිසු තනි තනි ජීවිත විදියට වියෝ වේදනාවල් වල තමයි ඉන්නෙ. එයාලගෙ වේදනාව එයාලා කවි වලින් පිටකරන්න හදන්නවා නං ඒක වරදක් නෙවේ, වෙන දරුණු තැන්වලට නොයා. මේ මොහොතේ ලෝ⁣කයේ හැම තැන ම මිනිස්සු අසරණයි. නමුත්, වියෝව ලබන්නන් උපදින්නේ ම අපි අනෙකාට සවන්දීම, තේරුම්ගැනීම, මානුෂීය වීම බොහොම බරපතල පහළ මට්ටමකට බැස්සම. එහෙම පහළ බහින්නෙ ම මානව දයාවන් අපි අතරෙන් සීඝ්‍රයෙන් නැතිවෙලා යන නිසා. ඉතින් උඩුගම් බලා යාමක් විදියට වුණත් මානව දයාවන් ඇතිවිය යුතු බව කියන්න,ලියන්න කවුරුම හරි උත්සාහයක් දැරිය යුතුමයිනෙ නේද?

ඔබ මාක්ස්වාදී කියවන්නියක්. සමාජය හා කලාව සම්බන්ධයෙන් වන මාක්ස්වාදී දෘෂ්ටිය ගැන කිව්වොත්

මාක්ස්වාදී කියවන්නියක් කියනවට වඩා අයියෙ, මාක්ස්වාදය කියවාගන්න උත්සාහ කරන්නියක් මම තාම, බොහොම හෙමින්. මගේ අදහස නං මේ මොහොතේ සමාජය දුවන පිළිවෙල එක්ක මාක්ස්වාදී කලාව කියවීමක් කියන්නෙ ම සමාජයට විහිලුවක් වගේ පෙනේවි. ඒත් හැම යුගයක දී ම වගේ ම මේ මොහොතෙත් සමාජයේ පරතර දෙකක් අතර ද්වි ගැටුමක් පවතිනවා. ඒක කවදත් එහෙමයි. ඒකට මූලික හේතු කාරණා සපයන්නෙ පවතින ආර්ථිකය. රටක කලාවේ සාරය වගේ ම සංවර්ධනයේ පදනම හැම විටෙකම ඒ රටේ ආර්ථිකය එක්ක බැඳෙනවා. ඒ එක්ක තියෙන ගැටුම නිසා ම කලාව පුද්ගලයෙක්ගෙ මනසින් පහළ වන්නකට වඩා සමාජ කාරණා තුළින් මතුවන්නක් විදියට මං තේරුම් අරං ඉන්නවා.

කලාව විඥානවාදී පැතිකඩින් දැකීම තුළ සමාජය ගමන් ගන්නේ කවර දිශාවකටද ?

මේ මොහොතේ සමාජය ගමන් කරන නිශ්චිත දිශාවක් ගැන සුබ හෝ අසුබ බවක් ගැන හරි අදහසක් කියන්න අමාරුයි. ලෝකෙ කොයි කාලෙත් ඒ ඒ සමාජ වටපිටාවන් එක්ක, මිනිසුන්ගෙ ආධ්‍යාත්මික ගුණයනුත් එක්ක සමාජ ඉස්සරහාට හෝ පස්සට ගිහින් තියෙනවා. ඒත් අපිට ඒ ගමන් කරන දිශාව අයහපත් බව පෙනෙද්දි, යම් පරිමාණයක බලපෑමක් කලාකරුවෙකුට කරන්න පුලුවන් ඒක වෙනස් කරන්න. සාමාන්‍ය සමාජයේ ම හිටගෙන සංවේදිතාවයන් පෙන්වාදෙන්න කලාව ඔස්සේ පුලුවන්. ඒක සංකල්පයක් විදියට මේ මොහොතේ විහිලුවක් වගේ පෙනුනත් කලාවට හැර ඒ මාර්ගය නිශ්චිතව හරවන්න අන් ක්‍රමයක් ඇති කියලා මං තේරුම් අරගෙන ඉන්න වපසරියට පේන්නෙ නෑ.

ඔබ කිවිදියක් ලෙස මේ සමාජය අර්ථ ගන්වන්නේ කොහොමද ?

මේ සමාජය අයියෙ, කවි ගොඩක් ලියන්න වස්තුබීජ සපයන ඒත් නිදහස්ව හුස්ම ගන්න අඩු ඉඩක් තියෙන තැනක්. අවංක කවියෙක්ට හිනාවෙන්න එක හේතුවක් හොයාගන්න අමාරු තැනක්.

 වර්තමානයේ කවියෝ බිහි වන්නේ හතු පිපෙන්නා වගේ ඒ සදහා සමාජ ජාලා මාධ්‍යය ප්‍රබලව බලපා තිබෙනවා.. මෙය හොද තත්වයක්ද ?

ඔව් ඒක ඇත්ත අයියෙ. සමාජ මාධ්‍යයට අපි යන්නෙ අපේ මතය අපට කියන්න ඉඩක් නොලැබෙන තැනදි. එතන නිදහස්. වගකීම ලිහිල්. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ඉඩක් ලබාගන්නවට වඩා පහසුයි. ප්‍රතිචාර ගුණදොස් ඉක්මන්. ඔය ඉක්මන ම කවිය කියන මාධ්‍යයේ ඉදිරියට වගේ ම පස්සට යවන්නත් මේ මොහොතෙ ක්‍රියාත්මක වෙන බව මට පේනවා. මම වුණත් සමාජ මාධ්‍යය මගේ ප්‍රකාශනය මුදාහරින්න යොදාගත්තා. නමුත් එතනදී කවියා පරිස්සම් වෙන්න ඕන තමන්ගෙ කවියේ අරමුණ සහ ඒකෙන් සමාජයටත් තමන්ටත් වන බලපෑම ගැන. හැබැයි අවංක ප්‍රතිචාර තෝරාබේරා ගෙන කවියා තමාව ඉතිරි කරගෙන කවි ලියන්න තරං ප්‍රඤාවන්ත වෙන්න ඕන බව තමයි මගේ කියවීම.

කවීන්ට ලැබෙන ප්‍රතිචාර මත කවියෝ බිහිවීම හා පොත් මුද්‍රණය වීම මගින් සාහිත්‍යයට සේවයක් වන්නේද?

මේ යුගයේ තාක්ෂණය සුලභ නිසාත් මුදල්වල සුලභකම නිසාත් මුල් යුගවලට වඩා ඉක්මනින් පොත් මුද්‍රණය වීමත්, කවියන් ලේඛකයන් බිහිවීමත් සිද්දවෙනවා. අපේ මුල් යුගවල ලේඛකයො ඉහළ කවීත්වයකට යන්න දරපු වෙහෙස මේ යුගයේ අපිට නෑ. ඒකෙ හොඳකුත් තියෙනවා. සාමාන්‍ය පන්තියේ දක්ෂ ලේඛකයන්ටත් මතුවෙන්න පුලුවන්. ඒත් වැඩි ඉක්මන කොයිකටත් නරකයි. ගොඩක් ලොකු අභ්‍යාස කාලයක් එක්කයි පොතක් වගේ ප්‍රකාශනයකට යන්න ඕන කියන එකයි මගේ අදහස. නැතිනං බිහිවෙන ලේඛනයෙන් මූල්‍යමය අගයක් මිසක් සාහිත්‍යයට යමක් වෙන්න තියෙන ඉඩ අඩුයි.

ඉතිං කාන්චනා විජේබණ්ඩාර කියන්නේ කවුද ?

පුංචි ම කාරණාවලින් සංතෝසවෙන්න දන්න, ඉක්මනින් රිද්දගන ඉක්මනින් සුවපත්වෙන, මනුෂ්‍යයෙක්.

ඇහැරියන් නිදිකුම්බා එළි දැක්වීම ගැන සදහන් කළොත් ?

මගේ “ඇහැරියන් නිදිකුම්බා ” කුළුඳුල් කවි පොත අප්‍රේල් මාසෙ 6 වැනි සෙනසුරාදා සවස 2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වෙනවා. ඒ වෙනුවෙන් එකතු වෙන්න පුලුවන් හැම සහෘද හදවතකට ම ආදරෙන් ආරාධනා කරනවා එදිනට ඇහැරියන් නිදිකුම්බා එක්ක එකතු වෙන්න කියලා.

සාකච්ඡා කලේ – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *