නිල් සයුරේ කළු මුතුඇටය – මොආනා – – හංසිනී කවින්දි ( සැලෝලයිට් පුරය )
සුමුදු වැල්ලෙන් ගැවසීගත් සොඳුරු වෙරළ තීරයේ නැගීසිටිමින් ඈත නිල්වන් මහා සයුර දෙසට යොමු වී ඇති කුතුහලයෙන් සහ ආශාවෙන් පිරී ඉතිරී ගිය කළු පැහැ විසල් නෙත් යුවළකි. දුර ඈත ඉසව් පිසගෙන හමාඑන මුහුදු සුළඟ ඇයගේ අකීකරු කළු කෙහෙරැලි අතර දඟකරමින් නිල් සයුරෙන් එහා විසල් ලෝකය වෙත ඇයව කැඳවයි. එසේ කඳවමින් පවසන රහස් බස කුමක් නම් විය හැකිද?
අනවරත ජීවිත ගමන තුළ අප සියල්ලන්ටම ඇති සිහින රාශියකි. ඒවා අතරින් ඇතැම් සිහින සැබෑවක් බවට පත්වෙද්දී තවත් සිහින හදවතේ මතකයන් පමණක් ඉතිරිකොට සැඟවී යන්නේ අපටත් හොර රහසිනි. නමුත් සිහිනයකට සාධාරණත්වයක් ඉටුකළ හැක්කේ කෙසේද? සැබෑවක් බවට පත්කරගැනීමට නොහැකිවූවාට කම් නැත. එසේ සැබෑවක් බවට පත්නොවූව ද සිහිනයකට උපරිම සාධාරණත්වයක් ඉටුකරලීමට අපට හැක්කේ ඒ සිහින සැබෑකරගැනීම සඳහා හැකි උපරිමයෙන් නොපසුබට උත්සහයෙන් යුතුව කටයුතුකිරීම මගිනි. සිහින සැබෑවක් බවට පත්කරගැනීමට හඹා යා යුතු මාර්ගය කිසිසේත්ම පහසු එකක් නම් වන්නේ නැත. අතරමග දී සිහිනය අත්හැර යාමට සිත් දෙවන තරමටම එය දුෂ්කර එකක් විය හැකි ය.
නමුත් ඒ නිසාවෙන්ම අප අපගේ සිහින අත්හැර දැමිය යුතු ද? ඒවාට සමුදිය යුතු ද?
එහෙත් සිහින සැබෑවක් බවට පත් නොවූව ද ජයග්‍රාහකයෙකු බවට පත්වීමට අපට හැකිවන්නේ ඒවා සැබෑකරගැනීම සඳහා අප විසින් ගනු ලබන උත්සහයන් හරහා ය. එය සෑමවිටම අපගේ ජීවිතයට අරමුණක් ලබාදෙයි. අපගේ ජීවිතවලට නැවුම් අරුතක් උත්තේජනයක් ලබාදෙයි. එවැන්නකින් තොර වූ ජීවිතය අතිශය නීරස එකක් බවට පත්වනු නොඅනුමාන යෙ
ජීවිතයේ තමා දුටු සිහිනයක් සහ තවත් බොහෝදෙනෙකුගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තැබිය හැකි හදවතක් පිළිබඳව ඔබ කුමක් සිතන්නෙහි ද?
ඔව්……
සැබැවින්ම එය වීර හදවතකි.
මොආනා……
එවැනි නොපසුබස්නා වීර්යයෙන් යුතුව සිය සිහින හඹාගිය වීර හදවතක් පිළිබඳව අපූරු කතාන්දරයකි.
ඇය තෝරාගත් තැනැත්තිය වූවා ය. තෝරාගත් තැනැත්තිය බවට පත්වීම සඳහා අවැසි සියලුම සුදුසුකම් ඇය ඕනෑවටත් වඩා සපුරා තිබුණා ය. ඒ සඳහා ඇයට තිබූ ඉහළම සුදුසුකම් වූයේ නොපසුබස්නා උත්සහය මෙන්ම කුතුහලයෙන් පිරී ගිය ශක්තිමත් හදවත යි. ඇය අන් අය වෙතින් වෙනස් අයෙකු බවට පත්වූයේ ද ඒ නිසාවෙන්ම ය. කුඩා කල ටේකා නම් බිහිසුණු යක්ෂයාගේ කතන්දර අසා සම වයස් කුඩා දරුවන් බිය වී හඬද්දී ඇය කුතුහලයෙන් සහ ආශාවෙන් පිරුණු සිය කළුවන් විසල් දෑස් අයාගනිමින් ඒවාට සවන්දුන්නා ය.
ඇය අයත් ගෝත්‍රයේ නායකයා වූ ඇයගේ පියාට අවැසි වූයේ ඇය එම කුඩා දූපතේම රැඳී සිටීමින් මතු දිනෙක සිය ගෝත්‍රයට ශ්‍රේෂ්ඨ මගපෙන්වන්නෙකු මෙන්ම නායිකාවක වනු දැකීම ය. නමුත් මොආනාගේ සිහින ඒ කුඩා දූපතින්, සිය පියාගේ සිහිනයෙන් බොහෝ ඔබ්බට විහිදී ගොස් තිබුණි. ඇයගේ විසල් සිහිනවලට පියාපත් සැපයූවේ ඇයගේ ආදරණීය මිත්තණිය යි. එදා එම ගමනේ ඉතාමත් දුෂ්කරම අවස්ථාවේදී වුව ද ඇය මොආනා අසළින්ම රැඳී සිටියා ය. සිය ගෝත්‍රයේ නායකයන් වෙනුවෙන් සිහිවටන වශයෙන් තැබූ ගල් පෙළෙහි ඉහළින්ම තැබූ ගල බවට පත්වීමටත්, සිය මිනිසුන් දූපතෙන් පිටත ලෝකය කරා කැඳවාගෙන යාමටත් ඇයට මගපෙන්වූයේ ඇය සතු වීර්යයෙන් පිරුණු ශක්තිමත් හදවත යි. වීර්යය මෙන්ම කදිම හුරුබුහුටි නුවණක් ද ඈ සතු විය.
ඇය මව් දෙවඟනගේ හදවත නැවතත් ඈ කරා ආපසු රැගෙන ගියා ය.
“ටේකා” ව නිවැරදි ව හඳුනාගත්තා ය.
“මාවි” විසින් සිදු කළ වරද නිවැරදි කරගැනීම සඳහා ඔහුට උපකාරී වූවා ය.
අවසානයේ ඇය ඇයගේ මිනිසුන් මතු නොව, ලෝකයම විනාශයකින් මුදවාගත්තා ය.
ඒ ගමනේදී ඇයට මුහුණදෙන්නට සිදු වූ බාධක අපමණ ය. ඇයට වඩා ශක්තිමත් මාවි පවා එය අත්හැර දැමීමට සැරසෙන විට කිසිසේත්ම අත්හැරදැමීමට ඇය සූදානම් නොවූවා ය. විසල් අභියෝගයක් මෙන්ම විසල් වගකීමක් ද ඈ හමුවේ විය. යමෙකුට අභියෝගයන් ජයගැනීම සඳහා විසල්, ශක්තිමත් සිරුරක් තිබීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කිසියම් අභියෝගයක් ජයගැනීමට නම් කුඩා සිරුරක් තුළ පවතින විසල් හදවතක් ඊට හොඳටම ප්‍රමාණවත් ය. විසල් සිරුරකට හිමිකම් කී “මාවි” ගරුකළේත්, ආදරය කළේත් මොආනාගේ කුඩා සිරුර තුළ පැවති විසල් හදවතට ය. විසල් සිහින සහ අභියෝග ජයගැනීමට ඒ තුළ වූ ආශ්චර්යයට ය.
2016 වසරේ එළිදැක්වුණු ත්‍රිමාණ සජීවීකරණ වර්ගයට අයත් මෙම අපූරු චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටය සඳහා පොලිනීසියානු ජනප්‍රවාදයන් පසුබිම් වී ඇති අතර මෙහි නිර්මාණ කර්තව්‍යයන් සඳහා දායක වී ඇති බොහෝදෙනෙකු ද පොලිනීසියානු ජාතිකයන් වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම චිත්‍රපටය තුළ සංගීතය භාවිතාකර ඇති ආකරය ද ඉතාමත් අපූරු ය. එය 89වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී වසරේ හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය සඳහාත්, චිත්‍රපටය වෙනුවෙන්ම නිර්මාණය වුණු විශිෂ්ටතම පසුබිම් ගීතයට හිමි සම්මානය සඳහාත් නිර්දේශ වී ඇත. මොආනා යනු පවුලේ සැමට එකට හිඳ නරඹා රසවින්දනය කළ හැකි අපූරු චිත්‍රපටයකි. එය ඔබේ දරුවන්ට පමණක් නොව ඔබට ද ජීවිතයට කදිම උත්තේජනයක් සපයනු නිසැක ය.
ඔබේ සිහින ඔබට ජීවිතය සඳහා අරමුණක් ලබාදෙනු ඇත. එම සිහින විසල් සහ වර්ණවත් වන තරමට ඔබගේ ජීවිතය වඩාත් අරුත්බර සහ වර්ණවත් එකක් බවට පත්වනු ඇත. ඒවා හඹායෑමටත්, සැබෑවක් බවට පත්කරගැනීමටත් ඔබට අවැසි වන්නේ ශක්තිමත් විසල් හදවතකි. ඔබේ ශක්තිමත් විසල් හදවත සිහින යථාර්ථයක් බවට පත්නොවූව ද ඔබව කිසිදා පරාජිතයෙකු බවට පත්නොකරනු ඇත. නිල් සයුරේ කළු මුතුඇටය මොආනා අපගේ සිත් මත ගෙත්තම් කරන ජීවිතය පිළිබඳව සොඳුරු යථාර්ථය එය යි. සිහින හඹාගොස් අධික ලෙස වෙහෙසට පත්ව ඒවා අතහැරයාමට පවා සිත්දෙවන දුෂ්කරම අවස්ථාවලදී මම මොආනාගේ කුඩා සොඳුරු රුවත්, ජීවයෙන් පිරී ගිය විසල් දෑසත් සිහියට නංවාගනිමි. ඇයව හදවතින් වැළඳගනිමි. ඉන් ලැබෙන උණුසුම මට යළිත් වරක් මගේ සිහින හඹායෑම සඳහා ලැබෙන ආදරණීය උත්තේජනයකි.
ඉතින්….
විසල් කළු දෑසක් හිමි සොඳුරු දඟකාරිය,
ඔබට තුති පිදිය යුත්තේ කෙලෙසකදැයි මම නොදනිමි. ඒ නිසාවෙන්ම මගේ හදවතේ ඔබ වෙනුවෙන් පවතින උතුරා යන ආදරය මෙලෙස අකුරු බවට පත්කරමි.
මුහුදු වෙරළේ නිදහසේ ඇවිද යන ඇතැම් සැඳෑවන්වල එහි තිබී කුඩා සුදු පැහැති හක්බෙල්ලන් මට හමුවේ. මම ඒවා දෝතින් ගෙන ඒවාට කන තබා සවන්දෙමි. ටේ ෆිටී හෙවත් මව් දෙවඟනගේ හදවත ගැහෙන රාවය මට ඒ තුළින් ඇසේ. ඒ අප සියලුදෙනාගේම ජීවන ගීතය යි. එහි ශ්‍රවණ මාත්රයත් සමග මම ටේ ෆිටී (මව් දෙවඟන) හෙවත් සොබාදම් දිනිතිය සමග තව තවත් ප්‍රේමයෙන් බැඳෙමි. මම යළිත් ඒ හක්බෙල්ලන් මුහුදු රැල්ලටම එක්කරමි. මගේ ආදරයත් සමගින් මොආනා මෙන් ආදරණීය විසල් හදවතක් හිමි සොඳුරු සිතැත්තියක අත එය රැඳෙනු ඇත.

You may hear a voice inside. And if that voice starts to whisper to follow the farthest star….Moana, that voice inside is who you are”
– Gramma Tala –
(මේ ප්‍රශ්නයට පිළිතුර ඔබ ඔබගෙන්ම අසන්න,
ඔබ කවුරුන් විය යුතු ද?
ඔබට ඔබේ ඇතුළාන්තයෙන් හඬක් ඇසෙනු ඇත. ඒ හඬ ඈත තාරකා පසුපස හඹායෑමට ඔබට කොඳුරන්නේ නම්……
මොආනා,
ඔබේ ඇතුළාන්තයෙන් එන ඒ හඬ පවසන්නේ ඔබ කවුරුන්ද යන්න පිළිබඳවයි.”)
– අත්තම්මා –
2020 අන්තර්ජාතික ගැහැනු දරුවන්ගේ දිනයේදී සොඳුරු සිතැති දැරියන් හට සෙනෙහසින්……..
– හංසිනී කවින්දි

Directed by – Ron Clements
John Musker
Produced by – Osnat Shurer
Screenplay by – Jared Bush
Story by – Chris Williams
Don Hall
Pamela Ribon
Aaron Kandell
Jordan Kandell
Ron Clements
John Musker
Starring – Auliʻi Cravalho
Dwayne Johnson
Rachel House
Temuera Morrison
Jemaine Clement
Nicole Scherzinger
Alan Tudyk
Music by – Mark Mancina (score, songs)
Lin-Manuel Miranda (songs)
Opetaia Foa’i (songs)
Cinematography – Rob Dressel (layout)
Adolph Lusinsky (lighting)
Edited by – Jeff Draheim
Production companies –
Walt Disney Pictures
Walt Disney Animation Studios
Distributed by – Walt Disney Studios
Motion Pictures
Release date –
November 14, 2016 (AFI Fest)
November 23, 2016 (United States)
Running time – 107 minutes
Country – United States
Language – English
Budget – $150–175 million
Box office – $690.8 million