බුදු වුණේ සිදුහත් විතරක් ම නොවේ.. – හදවත් ගැහෙන තැන – මේනුකා දම්සරණි

දින කිහිපයකට පෙර සොළොස් කලා සපිරූ වෙසක් සඳ මේ කෙමෙන් දියව යන දින කිහිපයයි. ඒ වෙසක් සඳ එළිය යට සිදුහත් බෝසතුන් සියළු කෙලෙසුන් නසා ලොව්තුරා බුද්ධත්වයට පත් වීම සිහි කළ පමණින් ම හදවතට දැනෙන්නේ නිවීමකි. සැනසීමකිි.

එහෙත් ඒ දිනුම ඔහුට පමණක් හිමි නොවූවකි. ඒ වෙනුවෙන් ඔහු මෙන් ම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් ඔහුගේ පැතුම වෙනුවෙන් පාරමිතා පූර්ණයට ඔහු වෙනුවෙන් කැප වෙමින් පේ‍්‍රමයේ පාරමිතාව අනන්ත අප‍්‍රමාණ වාරයක් යළි යළිත් සඵල කළ ඇගේ ද දිනුමකි. එබැවින් මේ වෙසක් සඳ එළියේ සිට සම්බුදු තෙමගුල ගැන නොව එදින ලද යශෝධරාවගේ දිනුම ගැන මේ සටහන තබමි.

වරක් දෙවරක් නොව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ වාරක් ම අත්හැරෙන බව දැන දැන ම පිය විප්පයෝගයේ වේදනාවන් එතරම් වාරයක් විඳ දරා ගන්නට වන බව දැන දැනම අනන්ත සසරේ එක් දිනක ඔහුගේ අත අල්ලාගත් ඇය බුදු වන භවය වන තෙක් ම ඒ අත නෑර ම පැමිණියා ය. මන්ද්‍රී බිසව වූ පෙර ජාතියේ සියළු රජ සැප අතහැර දරු දෙදෙනා ද වඩා දුක ම වළඳන්න ට ඔහු සමග පැමිණි සේ රාහුල කුමරු ද රැුගෙන යන තැනෙක ඔහු පසුසපස යන්නට නොහැකිව ද නොවේ. එහෙත් නැවතිය යුතු ම තැන නවතින්නට ම නොහැකි වුව ද අවසන නතර වී ය.

එවන් දුර පැමිණ තවත් භවයකට නොව මුළු සංසාරයට ම ඔහු තමා අත්හැර යන බව දැනගත් මොහොතේ ඈ හද උපන් සිතුවිලි ලොව කිසිඳු කවියෙකුට වචන කළ නොහැකි යැයි හැෙඟ්. අත්හැරිය යුතු ම තැන අත්හරින්නට සපථ වී අත් නෑර ආ ඇයට ඔහුගේ කලකිරීම නොදැනෙන්නට ඇත් ද? එබැවින් ම එතරම් දුර ආ ඇයට නොකියා ඇසළ සඳ එළිය දිග කන්ථක අසු පිට නැගී සිදුහත් රහසේ ම පිටව ගිය බව ඇදහිය හැකි ද?

යළි නොඑන්නම යන බව දැන එලෙස සමුගෙන ගිය ද සසරේ යළි කෙදින හෝ හමුවෙමු යැයි පතන්නට හෝ නොහැකි බව දැන සිදුහත්ගේ අත අත්හළ ඇය සිදුහත්ට පෙර නිවිණි යැයි සිතමි. වසර ගණනක පේ‍්‍රමයෙන් අත්මිදිය නොහැකි ව සිය දහස් වර මැරී උපදින අපට එවන් අත්හැරීමක් ගැන සිතන්නටවත් හැකි ද? පසුපසින් ගොස් දෙපා වැළඳ නොයන්නැයි කියනු වෙනුවට අවසන් ම චුම්බනයත් නොදැනුනා සේ හිඳ මාළිගා කුටියෙන් නොව හදවතින් බැහැරට ඔහු පා තබන හඬ ඉවසා සිටින්නට තරම් ඈ කෙතරම් පාරමිතා සඵල කර තිබෙන්නට ඇත් ද?

නේරංජනාවෙන් එතෙර වන්නට සිදුහතුන්ට මග කියූ ඇසළ සඳ ඇගේ හද මාළිගය අඳුරු කරන්නට ඇත. ඊටත් බොහෝ කලකට පසු වෙසක් සඳ සිසිල යට සියළු සතුන් දුකෙන් මුදවන දුක නැති කිරීමේ මග සොයාගත් ඒ මඟුල් නිමේෂය සියැසින් ම දකින්නට පින් නොවී මුත් ඒ මොහොත ඈ හදවතට කෙසේ නම් දැනෙන්නට ඇත් ද? අනන්ත සසරේ පාරමිතා සඵල කොට සිදුහත් උතුම් බුද්ධත්වයට පත්වන මොහොතේ ඒ සතුට ඒ දිනුම සම ව විඳි හදවතක් වී නම් ඒ යශෝධරාවයි. සිදුහත් බෝසතුන් බුද්ධත්වය ම ප‍්‍රාර්ථනා කරමින් අනන්ත සසරේ පාරමිතා පුරද්දී ඔහු අසළ නිබඳව ම සෙවණැල්ල සේ එමින් ඔහුගේ අරමුණ වෙනුවෙන් සිය සංසාරය ම කැප කළ ඈ ඒ මොහොත කෙසේ නම් හදවතින් දරාගන්නට ඇත් ද? එවන් වූ පේ‍්‍රමයක්…….. ඔබට මට සිතන්නට හෝ හැකි ද?

තවත් කලකට පසු මැදින් පුන් පෝදා සඳ යළිත් සොළොස් කලා පුරද්දී සංසාරයක කළ ගුණ පුදන්නට බුදු හිමි ඈ කුටියට වඩිද්දී බොහෝ කලකින් දුටුව ද වැළඳගන්නට හෝ නොහැකි ව හදවතේ ඉකිබිඳුම් සිරවෙද්දී ඒ මොහොත ඈ කෙසේ නම් ගෙවාගන්නට ඇත්ද? සිප වැළඳ ගනු වෙනුවට සංසාරයක කඳුළු එක් කර බුදුන් පා දෝවා ඈ නිවන්නට ඇත්තේ සංසාරයක වෙහෙස නොවෙන්නට ඇත් ද?

පසු කලෙක බුදුන් පාමුල කසාවත් දරා බුදුන්ට පෙර සසරින් සමුගනිමියි සිතා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් දුර ආත්මගත පේ‍්‍රමය පෙළහර පෑ ඈ උතුම් අරහත් බවට පිවිස වුව සසර ගමනේ පියඹ ලෙස ආ මග දිග සුළු හෝ වරදක් වී නම් ඊට ද කමා අයැද පිරිනිවණට පිවිසියා ය. ඇලීමක් නැති අරහත් සිතකින් පවා ඈ යළිත් පේ‍්‍රමය ම සඵල කෙරුවා නොවේ ද? ඈ යළිත් ඒ පේ‍්‍රමයෙන් නිවෙන්නට ඇත.

එහෙත් වෙසක් සඳ සෙවණේ සිදුහත් බෝසතුන් දුක නිවීමේ මග සොයාගන්නා විටත් ඈ දුක නිවාගන්නට මගක් සොයාගෙන සිටින්නට ඇත. නොඑසේ නම් කන්ථකට පෙර ළය පැළී මිය යන්නේ ඇය ය. සැබෑ ය. බුද්ධත්වයේ සෙවණැල්ල ඇය ය. ඈ නොවන්නට ඒ බුද්ධත්වය තවත් බොහෝ දුර වන්නට තිබිණ. යළිත් කියමි. අත් නෑර විත් අත් හළ යුතු ම තැන අත් හරින්න ම බැරි වුවත් තනිව විඳ දරාගෙන අත් හළ ඈ, ලොවට පෙර නිවෙන්නට දැන සිටියා ය. ඒ බුද්ධත්වයෙන් පසක් කළ දුක නිවීමේ මගින් නොව. කල්ප ගණනක් දුර සසරේ ඔහු ඇසුරේ විඳි ඔහුගේ ම පේ‍්‍රමයේ මහිමයෙනි. එවන් සැමියෙකු ලද බිරිඳක් නිවුණේ ම වේ….. එලෙස ම එවන් බිරිඳක ලද සැමියෙක් ද නිවුණේ ම වේ……

ඉදින් වෙසක් සඳ බැබළුණු දා බුදු වුණේ සිදුහත් පමණක් ම නොවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *