මාළුන්ගේ ආසනික් වර්ග මනින්න ඕනද? මනින්න පහසුකම් නැතිද? – කෝලිත කමල්

මම මාළුන්ගේ සහ වෙනත් සාම්පල වල මෙටල් වර්ග මනින්න පටන් අරන් දැන් අවුරුදු 15ක්, ඊට අමතරව පසු ගිය අවුරුදු 4 ඇතුළතම කලේ ආහාර වල තියෙන ආසනික් සහ රසදිය වර්ග (speciation) ගැන අධ්යනය කල එක. එනිසා මම හිතනවා මේ මාතෘකාව ගැන අදහස් කියන්න අයිතියක් සහ ඒ දැනුම බෙදාගන්න අයිතියක්, යුතුකමක් මට තියෙනවා කියලා. මේ සටහන යොදන්න ප්රධාන කරුණු 3 ක් බලපෑවා.

1. ටින් මාළු වල ආසනික් මට්ටමට අදාලව ශ්රී ලංකා ප්රමිති ආයතනය මගින් පනවා ඇති උපරිම සීමාවන් නිසා ටින් මාළු කන්ටේනර් ගනනාවක් ප්රතික්ෂේප වීම.
2. මා හට ලැබී ඇති තොරතුරු අනුව සෞඛ්ය අමාත්යාංශය මගින් සියළු මාළු සඳහා ආසනික් පැවතිය හැකි සීමාවක් පනවන්නට යාම
3. වඩාත් ආසන්නම ලෙස පසුගිය දිනක (22) මේ සම්බන්ධ ආයතනයක ඉන්න ඉහළ නිළධාරී මහත්මයෙකු, මේ සම්බන්ධන්යෙන් පරීක්ෂණ කල හැකි උපකරන ලංකාවේ නොමැති බව පැවසීම.
මොනවද මේ  ආසනික්
#ආසනික් කියන්නේ සාමාන්යයෙන් පෘථිවි කබොලේ ආසන්නව 2 mg/kg වගේ සාන්ද්රණයකින් පවතින මූලද්රව්යක්. මේක සමහර පාෂන මතුපිටදි 900 mg/kg වගේ විශාල අගයකින් පවතිනවා. ඒ වගේම ආසනික් ස්වාභාවික සහ මිනිස් ක්රියාකාරකම් යන දේව්දියටම පරිසරයට එකතු වෙනවා.
#ආසනික ප්රධාන දෙවර්ගයක් අපිට හමුවෙනවා. ඒ ආකබනික ආසනික් (inoraganic) සහ කාබනික (organic) ආසනික් විදියට. අකාබනික ආසනික් ලෙස වඩාත් විෂ සහිත ආසනයිට් (As-III) සහ ආසනේට් (As-V) ප්රධාන විදියට අපිට හමුවෙනවා. ඒ වගේම කාබනික ආසනික් සයෝග 50 කට වඩා මේ වෙන කොට සොයාගෙන තියෙනවා. මේ බොහොමයක් මාළුන්ගේ හමුවෙන කාබනික ආසනික් සයෝග එක්කෝ විෂ නැති (non-toxic), එහෙම නැත්නම් මද විෂක් සහිත සයෝග. මේ අතර ප්රධානම සයෝගය ආසනොබිටේන් (Arsenobetain). මීට අමතරව ඩයි මීතයිල් ආසනික් (DMA), මොනොමීතයිල් ආසනික් (MMA), ආසනොකෝලීන් (AC), ආසනොසුගර්ස් (AS) සහ ආසනොලිපිඩ් (ASL) සංයෝග පවතිනවා.
අපේ රටේ ආසනික් කියපු ගමන් බය වෙන්න බිල්ලෙක් හදලා තියෙනවා. නමුත් බොහෝ පර්යේෂන වලින් පෙන්වලා තියෙනවා මුහුදු ආහාර වල සාතිශය බහුතර ප්රතිශතයක් තියෙන්නේ මේ විෂ අඩු හෝ නිර්විෂ ආසනික සංයෝග කියලා. පොදුවේ ගත්තොත් මුළු ආසනික් ප්රතිශතයෙන් ගැඹුරු මුහුදේ පතුලට ආසන්නව ඉන්න (Demersal) මාළුන්ගෙන් 0.14% ක්, ජලතලයේ ඉන්න (pelagic) මාළුන්ගෙන් (0.41%) සහ බෙල්ලන් (mollusc) අයත් වර්ග වල 2.3% ක් තමයි මේ විෂ සහිත අකාබනික ආසනික් තියෙන්නේ. මාළු ඇතුළු මුහුදු ආහාර වල වැඩිපුරම තියෙන්නේ ආසනොබිටේන් කියන කාබනික සයෝගය.
 ඒවගේම තමයි ආහාරයේ විෂ සහිත සයෝගයක් තිබ්බට විතරක් විෂයි කියන එක කියන්න බැහැ, ඒක ඇඟට අවශෝෂණය වෙන්නත් ඕන, නමුත් රසදිය වගේ නෙවෙයි, ආසනික් 100% වගේ ආහාර මාර්ගයෙන් ඇඟට අවශෝෂණය වෙනවා. නමුත් ඉන් 95% ක් වගේම නැවත් අපේ ඇඟෙන් ඉවත් වෙනවා. බොහෝ වෙලාවට මේ මාළුන්ගේ තියෙන ආසනික් වලින් බාගයකට ආසන්න හෝ ඊට වැඩි ප්රමාණ්යක් විවිධ පිසීම් ක්රම හරහාත් ඉවත් කරගන්න පුළුවන්.
මේ සියළු කාරනා නිසා තමයි බොහෝ රටවල් මාළුන්ගේ මුළු ආසනික් (total arsenic) තිබිය හැකි උපරිම සීමාවක් පනවලා නැත්තේ. එහෙම සීමාවක් පනවලා තියෙන රටවල් වල පවා බොහෝ විට තියෙන්නේ අකාබනික ආසනික් පවතින්න පුළුවන් උපරිම සීමාවක්. නමුත් ලංකාවේ ටින්මාළු වලට දැනටම තිබිය හැකි උපරිම ආසනික් (total arsenic) සීමාවක් පනවලා, ඒක තවදුරටත් අනෙක් මාළු වලටත් ගේන්න හදනවා. එහෙම නීතියක් පොතට විතරක් නැතුව ඇත්තටම මනින්න ගත්තොත් ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේම ඉන්න මාළුන්ගේ 75% කට එහා කන්න වෙන්නේ නැහැ. ඒක ශුවර්.
#අනෙක් අතට සැලකුවොත් ආසනික් වලට නීතියක් ගේන්න ඕනම නම් ගේන්න ඕන මුලින්ම සහල් වලට. හේතුව සහල් වල බහුලවම තියෙන්නේ විෂ බවින් වැඩි අකාබනික ආසනික් සංයෝග වීම. නමුත් ගොඩක් දෙනෙක් ඒකට නීතියක් ගේන්නේ නැහැ. හේතුව අපේ ප්රධාන ආහාරයට අත තියලා ද්රෝහියෙක් වෙන්න තියෙන බය.
#අවසාන වශයෙන් මේවා මනින්න මෙහේ බැරිද? පුළුවන් සහ දැනටමත් පහසුකම් තියෙනවා. මේ ගැන පසු ගිය දා එක්තරා පර්යේෂණ ආයතනයක් ඉහලම පුටුවක ඉන්න නෝනා මහත්මියක් කියලා තිබුණා අපි මාළුන්ගේ ටෝටල් ආසනික් ෆ්ලේම් (Flame AAS) එකෙන් මැනලා, අකාබනික ටික VGA-AAS එකෙන් මනිනවා කියලා. හැබැයි ඔය තියරිය කියන්නේ පොත විතරක් කියවපු අය. ඕක එක සාම්ප්ලයක දෙකක කොහොම හරි කර ගත්තට ප්රායෝග්ක තලයේ ඕක කරන්න බැහැ, තියෙන පොඩි ප්රමානයක් එක්ක. නමුත් අර මට දුරකථනයෙන් කතා කල මහත්මයා කියන විදියට එහෙම කරන්න උපකරන ලංකාවේ නැහැ නොවෙයි. [දැනට මේ උපකරනයක වෙළඳපොල වටිනාකම ලක්ෂ 400 ක් විතර වෙනවා]. නමුත් මේ උපකරණ 2ක් (1. HPLC-ICP-MS & 2. IC-ICP-MS) දැන් වසර 3-4 ක ඉඳන්ම ලංකවේ තියෙනවා, (තියෙන තැන් දෙක, බ්රෑන්ඩ් එක,මොඩල් එක මා දන්නවා උනත් ඒක මෙහි සඳහන් කරන්න සුදුසු නැතැයි සිතනවා ). ඒවා කපල් කරලා නොතිබෙන්න පුළුවන්, වැඩක් අරන් නැති වෙන්න පුළුවන්, නමුත් මෙහේ බඩු තියෙනවා. ඒ වගේම මේ ජාතියේ (HPLC-ICP-MS) 2ක් ලබන මාසය වෙනකොට ශ්රී ලංකා ප්රමිති ආයතනයත්, රජරට විශ්ව විද්යාලයත් සතු වෙනවා. ඒ තැන් දෙකේ හෝ මේ කොටස දෙක වෙන වෙනම පැක් කරලා තියන්නේ නැතුව වැඩක් ගනීවෙ යැයි මම විශ්වාස කරනවා.
මේ ගැන වැඩිදුර කියවන්න කැමති කෙනෙකුට පහල ලින්ක් එකට යන්න පුළුවන්
1. Arsenic in Seafood: Current Status, Analysis, and Toxicity. B. K. K. K. Jinadasa, Scott W. Fowler, and Pawel Pohl
2. A Critical Review of Arsenic Contamination in Sri Lankan Foods. B.K.K.K. Jinadasa , S.W. Fowler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *