රතු පාරේ දිරිය සොයුරියට නිරෝගී සුව පතන සහෝදර සටහනක් – ගාමිණි මුතුකුමාරණ

කාලය වේගෙන් ගෙවී යමින් තිබේ. එදා නිර්ධන පන්ති ව්‍යාපාරයට සවිමත් අත්වැලක් වූ ඇය අද දැඩි සේ ගිලන්ව හිඳින්නීය. කරුණා සහෝදරිය රෝගාතුරව සිටීම පිළිබඳව ඇයගේ සමීපතයින්ට ඇතිවන්නේ මහත් සංවේදී හැඟීමකි. ඇය ඒ තරමටම අපේ දේශපාලන අතීතය තුල තමන්ගේම සළකුණක් තැබූ අපූරු නිහඬ ගැහැණියකි. කරුණා සහෝදරිය යනු ලාංකීය මහ පොලොවේ ඉපදී සමාජ විප්ලවයක් කෙරෙහි මහත් වූ විශ්වාසයකින් යුතුව ඒ වෙනුවෙන් කැපවුනු 1971 න් පසු ගොඩනැඟුනු එහි දෙවන පරම්පරාවේ සාමාජිකාවකි. ගැඹුරු සමාජ පරිවර්තනයකින් තොරව රට ගොඩනගන්නට නොහැකි බවට විශ්වාස කරණ ගැහැණුන් හා මිනිසුන් එදා මෙන් අදත් උඩුගං බලා පිහිනමින් සිටිති. අතීතයේ උඩුගං බලා ගිය ඒ සුවිශේෂී ගැහැණුන් ගේ හා මිනිසුන්ගේ වීරත්වයෙන් පිරුණු ඉතිහාස කතා තුල කරුණා සහෝදරියද අපට සුවිශේෂී වන්නේය. ඒ ඉතිහාස භූමිකාව තුල තමන්ට පැවරී තිබූ වගකීම හා යුතුකම ඉටුකරා හැරෙන්නට ඇය ඒ ගැන කතා කරන්නට නොගියාය. පුවත්පත් හා සාකච්ඡා කරන්නට ගියේ නැත. ස්වකීය අතීත වගකීම් වලින් කිසිදු කීර්තියක් ප්‍රසංසාවක් ලබා ගැනීමට ඇය නොගියාය. කෙසේ නමුත් මේ මොහොතෙහි රෝගාතුරව වෙසෙන කරුණා සහෝදරියට කරන ගෞරවයක් හැටියට ඇය ගැන ඉතා කෙටි සටහනක් තැබීමට මා කල්පනා කලෙමි.

කරුණා සහෝදරිය ඉතා සටන්කාමී ඉතිහාසයක් ඇතිව ස්වකීය දේශපාලන ජීවිතය ගෙවූ කෙනෙකි. ඇය දිගු කලක් පක්ෂයේ පූර්ණකාලීන සොයුරියක් හැටියට කළුතර හා කොළඹ දිස්ත්‍රික්ක තුල දේශපාලනය කල පුහුණු සාමාජිකාවකි. අවසන් කාලයේ ඇය විජේවීර සහෝදරයා ජීවත් වුනු උලපනේ ශාන්තමේරි වතුයායේ නිවස තුලද ඔවුන් සමග කලක් ජීවත් වූවාය. කරුණා සොයුරිය උපන්නේ කළුතර දිස්ත්‍රික්කයේ අවිත්තාව පරෙයිගම නම් වූ කුඩා කෘෂිකාර්මික ගම් පෙදෙසකය. ඉතා සරල ජීවිත ගත කල ඇගේ මවත් පියාත් මහ පොළොව හා සහජීවනයෙන් කටයුතු කල නිර්ව්‍යාජ ගැමියන් වූහ. කරුණා තරුණ වයසට එළඹෙත්ම මුලුතැන්ගෙය, හේනට, කුඹුරට ඔබ්බෙන් වූ ලෝකයේ යතාව දකින්නට තරම් සූක්ෂම මේරූ මනසකින් යුක්ත වූවාය. තම අනාගත අරමුණ කුමක් සඳහා විය යුතුද යන්න සලකා බැලූ ඈ ඊට අදාළ පළමු පියවර තැබුවේ දැඩි අධිෂ්ඨානශීලී හැඟීමකිනි. ස්වකීය ජීවිත කාලයෙන් හරි අඩකටත් වැඩියෙන් කාලය ගතකල ඇගේ දේශපාලන ජීවිතය ඇරඹෙන්නේ 77 වසරේ අවසාන භාගයේදීය. ජවිපෙ දෙවැනි පුනරාගමනය ඇරඹුණු ඒ යුගයේ කළුතර දිස්ත්‍රික්කයෙන් පක්ෂයට එක් වූ මුල්ම ක්‍රියාකාරීන් අතර කරුණා සමග ඇගේ පවුලේ වැඩිමහල් සොහොයුරා වූ සයිමන් ද සිටියේය. ජ වි පෙ වත්මන් ලේකම් ටිල්වින් සහෝදරයාද ඇතුලු එකල කළුතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පැමිණි බොහෝ දෙනෙකු ඇයගේ සමකාලීන දේශපාලන සගයින්ය. පූර්ණ කාලීන දේශපාලන ජීවිතයට පැමිණීමෙන් පසු බොහෝ දේවල් ඉගෙනගනිමින් මෙන්ම ඉගෙනගත් දේ බෙදා දෙමින් වගකීම් සහගත ක්‍රියාකාරී භූමිකාවක ඇය මුල් කාලයේ පටන් නිරත විය.

1983 පක්ෂ තහනමෙන් අනතුරුව පක්ෂයේ අවශ්‍යතාවය මත අන් අය මෙන්ම කරුණා සහෝදරියද යටිබිම්ගත දේශපාලනයට පැමිණියාය. පක්ෂ තහනම යටතේ ගෙවුණු මුල් කාලයේ ඇය අපූරු සිදුවීම් වලට මුහුණ දුන්නාය. එකල රාජ්‍ය මර්ධන බලකා ඇය අත්තඩංගුවට ගැනීමට පැමිණි විටක ඇය මුහුණ දුන් එක් සිදුවීමක් අප මතකයේ ඇත. මගේ මතකයේ හැටියට මේ සිදුවීම වෙද්දී ඇය කළුතර සිට කොළඹ දිස්ත්‍රික්කයට මාරු කර යවා තිබුණි.ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 25 ක් පමණ වෙන්නට ඇත. එකල යාන්තම් ඉඩක් ලද පළමු මොහොතේම අම්මා බලන්නට ගමට යාම ඇගේ සිරිතය. පක්ෂය අනතුරු අඟවා තිබියදිත් ගමේ ගිය දාට අම්මා අසළට වී නිදාගැනීම ඇය කිසිම දිනක අත්හලේ නැත. එවනි දවසක කරුණා ගම පැමිණි බවට පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණි. පොලීසිය හා මර්ධන බලකා හමුදා ඛණ්ඩයක් එදින මැදියම් රැයේදී අවිත්තාව පරෙයිගම සම්පූර්ණයෙන්ම වටලන ලදී. නිවස වටලද්දී කෙසේ හෝ කරුණා ඝන අන්ධකාරයට වැදී පලා යන්නට වූවාය. නිවස වටලෑම කල ප්‍රධාන සෙබළ මුලෙන් මිදෙන්නට සමත් වුවද අතරමඟ රැඳී උන් හමුදා සෙබළුකු විසින් ඇය ගැන ඇතිවුනු සැකයක් හේතුවෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ. සෙබළාගෙන් ගැලවී යාමට ඇයට ඉතිරි වී තිබුනේ එක් විකල්පයකි. අවියක් අත රැදුණු සෙබළෙකු සමග පොර බැදීම අසීරු මෙන්ම භයානක බව ඈ හොඳින්ම දැනගෙන සිටියාය. එහෙත් අන්ධකාරය තුලදී පවා ඇගේ දෑස ගැඹුරු ස්ථීර බවකින් දිදුලන්නට විය. ඒකාකාරී සම භූමියක් නොවූ එහි කුඩා කඳු ගැටි ගහන විය. හාත්පස වූයේ රබර් වතුය. හැදී වැඩුණු පොලොවේ භූ විෂමතා ලක්ෂණ අල්ලේ රේඛා තරමටම හඳුනන කරුණා තමා සමඟ පොර බැඳූ සෙබළා ලෙහෙසියෙන්ම අගලකට තල්ලු කර දැමීමට සමත් විය. බර ගෝනියක හඬින් ඔහු වැටී පෙරළී යද්දී අඳුරු රබර් වතු අතරින් ඉගිල්ලී සැනෙකින් අතුරුදහන් වෙන්නට කරුණා සමත් විය.

“ගරිල්ලා නායිකාවක් අවිත්තාවේදී රජයේ ආරක්‍ෂක නිලධාරීන්ට පහර දී පලා යයි “ යනුවෙන් වූ පසුදින පුවත් පත් සිරස්තලද පල විය. ඇගේ චරිත ස්වභාවයේ අගය කල යුතු තැන් ඉස්මතු වෙන සිදුවීම් ඕනෑතරම් පසුගිය ඉතිහාසය තුල තිබේ. සිය විප්ලවීය දේශපාලන ජීවිතයේදී ඇය මුහුණ දුන් දුක් ගැහැට අපමණය. මේ කුඩා දේවල් කීපයක් පමණකි. දිගු කාලයක් තිස්සේ ඇසූ දුටු දේ නිසා පක්ෂයට කරුණා ගැන තිබුනේ අචල විශ්වාසයකි. කාන්තාවක් තුල අනිවාර්යයෙන් තිබිය යුතු බවට සාමාන්‍ය සමාජය විසින් යෝජනා කරන්නාවූ සියුමැලිකම් හා නිහඬව හිස පහත් කරගෙන සිටීමේ නියාලු චර්‍යාවන් ඇය තදින් ප්‍රතික්ෂේප කලාය. ඒ වෙනුවට යතාර්ථවාදී ලෙස මහ පොළොවේ දෙපා තබා ගැනීමට හැකි පරිදි දිනෙන් දින ජීවිතය මුවහත් කර ගනිමින් සිටියාය. මුළුගැන්වී සිටීම වෙනුවට ඇය තෝරාගත්තේ නොබියව මුහුණ දීමයි.

1988 වසරේ මුල පටන්ම ආරක්ෂාව වෙනුවෙන් විජේවීර සහෝදරයාටත් ඔහුගේ දරු පවුලටත් නිරන්තරයෙන් සිය පදිංචිය වෙනස් කරන්නට සිදුවිය. මෙවැනි වාතාවරණයක් යටතේ ඔවුන් සමඟ ජීවත් වීමට ඉතාමත් විශ්වාසදායි කෙනෙක් සිටින්නේ නම් වඩා හොඳ බැව් පක්ෂයේ තීරණය විය. එකල ජවිපෙ විසින් සතුරන්ගෙන් සඟවාගතව තිබූ රහස් අතර ප්‍රමුඛතම රහස වූයේ තම නායකයා ජීවත් වෙන්නේ කොතැනකද යන්නයි. ගමනායක සහෝදරයා කරුණා සමඟ ඒ ගැන කතාකොට ඇගේ අදහස් විමසූයේ කරුණා තරම් ඊට ගැලපෙන විශ්වාසවන්ත හා නිර්භය ගැහැනියක් ගැන අදහසක් ඔහුට නොතිබුණු හෙයිනි. ඇය ඊට එකඟ වූයෙන් එවක් පටන් කරුණා ජීවත් වූයේ විජේවීර පවුලේ සාමාජිකයෙක් බඳුවය. මේ කාලයේ කරුණා සහෝදරීගේ මව රෝගාතුරව මහරගම පිලිකා රෝහලේ නේවාසිකව සිටින බවට උලපනේ නිවසට පනිවිඩයක් ලැබී තිබිණි. සති කිහිපයක් මවට ඇප උපස්ථාන කිරීමටද ගිය කරුණා නැවත උලපනේ නිවසට පැමිණියාය. ඒ තරමටම විජේවීර සහෝදරයා ඇය කෙරෙහි විශ්වාසය තබා තිබුණි.

1989 නොවැම්බර් 12 දින විජේවීර සහෝදරයා අත් අඩංගුවට පත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, “අයියේ…අයියේ…ගේට්ටුව උඩින් කට්ටියක් පනිනව ඉක්මනින් වත්තට දුවන්න“ යැයි විජේවීර සහෝදරයාට කෑ ගසා කියනවා හැරෙන්නට කරුණාට වෙනත් ඉඩක් නොතැබූ මර්ධනීය බලකායේ නිළධාරීන් ගේට්ටුව උඩින් නිවසට කඩා පැන්නාහ. විජේවීර සහෝදරයා වත්ත පහලට පැනගත්තද වත්ත වටලාගෙන පිටුපසින් පැමිණ තිබූ තවත් ආරක්ෂක කණ්ඩායමක් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබුනි. හමුදාව ඔහු කොළඹ රැගෙන යාමට සූදානම් වෙද්දී අවසන් වතාවට කරුණාගේ අතේ සිටි කුඩා උවිඳු පුතු සිපගත් විජේවීර සහෝදරයා ඒ මොහොතේදී කෙටියෙන් යමක් කරුණාට මුමුණන්නට සමත් විය.

“නයාගෙ පැටවු නයි පැටවු විදියට තමයි උන් හිතන්නෙ. මෙහෙම අරන් ගියාට උන් මට ආයෙ එන්න දෙන්නෙ නෑ. නංගි මෙයාලවත් අරගෙන ආරක්ෂිත තැනකට යන්න“

ස්වකීය පක්ෂ නායකයාගේ දෑත් වලට විලංගු වැටෙද්දී කරුණා ශක්තිමත් මනසකින් යුතු පුහුණු විප්ලවවාදිනියක් ලෙස ඇති වූ තත්වයට නිරවුල්ව මුහුණ දෙනයුරු ගැන සිතුවාය. පැනයන්නට අවශ්‍ය නම් ඊට ඕනෑතරම් ඉඩ තිබියදී ඇය විජේවීර පවුලේ වගකීම තම හිසට ගත්තාය. කුලියට වාහනයක් කතා කරගත් කරුණා වහ වහා ඔවුන් රැගෙන කොළඹ පිටත් වූවාය. දවස් 5-6 ක් කොළඹ රැඳුනද ආරක්ෂිත යැයි කිවහැකි එකඳු බිම් අඟලක්වත් ඒ වෙද්දී ඉතිරිව තිබුනේ නැත.විවිධාකාර මිනීමරුවන්,ඝාතන කල්ලි හා ආරක්ෂක අංශයේ නිළධාරීන් ආණ්ඩුවේ අභිමතය මුදුන්පත් කරමින් ගම් නියම් ගම් සිසාරා පක්ෂ සාමාජිකයන් සොයමින් සමූලඝාතනය කරමින් සිටියහ. ජීවිතාරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලුවට මුහුණ දී සිටි විජේවීර සහෝදරයාගේ බිරිඳ දරුවනුත් සමඟ හමුදා මූලස්ථානයට බාර වෙන්නට තීරණය කරද්දී කරුණාට කරන්නට දෙයක් නොතිබුණේ පැවතුණු භීෂණකාරී වාතාවරණය තුල සත්‍ය වශයෙන්ම ඇයටද කලහැකි යමක් නොවූ නිසාවෙනි. ඇය කලින් දැන සිටි කොළඹ පක්ෂ සබඳතා සොයාගෙන ගියත් ඒ බොහෝ තැන් ඒ වන විට ඔවුන් අත්හැර දමා ගොස් තිබුණි.

විජේවීර පවුල හමුදා මූලස්ථානයට පිටත්කර යවා තමාගේ ආරක්ෂාව සපයාගන්නවා වෙනුවට ඇය තම ජීවිතය පරදුවට තබා හමුදා මූලස්ථානය වෙත ඔවුන් රැගෙන ගියාය. කොළඹ යුධ හමුදා මූලස්ථානය ඉදිරිපිට වාහනයෙන් බැස ඉදිරියට ගිය කරුණා තමා විජේවීර සහෝදරයාගේ පවුලේ අය සමඟ පැමිණි බවත් ජීවිත ආරක්ෂාව පතා ඔවුන් රජයට බාර වෙන්නට කැමති බවත් දන්වා සිටියාය. විජේවීර පවුලේ සාමාජිකයන් හමුදා බාරයට ගෙන වැලිසර නාවික හමුදා කඳවුරට යැව්වත් කරුණා සහෝදරී එකල ග්‍රෙගරි රෝඩ් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයට බාර දුන්නේය. ඉන් පසු වසර කිහිපයක්ම පොලිසිය බාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ඇයට විරුද්ධව ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ නඩු පැවරීය. නඩුව විභාග කර අවසන් වනතෙක්ම ඇය වැලිකඩ කාන්තා සිරගෙදර රඳවා තැබූහ. කරුණා සහෝදරිය සිය මවගේ මරණයට අවසන් ගෞරව දැක්වීමට ගියේද සිරගෙදර සිටය. අවසන අධිකරණය තීන්දු කළේ ඇය විජේවීර පවුලේ සාමාජිකයින්ට උපකාර කරමින් සිටියා මිස කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්දතාවයක් නොමැති හෙයින් නිදහස් කලයුතු බවය.

කරුණා සහෝදරිය, සිය ජීවිතයේ වසන්ත සමය නොපැකිළ කැපකළේ වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ අති දුෂ්කර අරගලයේ දී ඇයට අහිමි වූ දෑ අපමණ ය.ඇගේ සමීපතමයෝ බොහෝ දෙනෙකු අරගලයේදී මරු වැළඳ ගත්හ. සිය පවුලේ වැඩි මහල් සොහොයුරා සයිමන් මෙන්ම ඇයගේ පෙම්වතාද ඒ අතර විය. කුඩා කල පටන් හැදු වැඩුනු පරෙයිගම මහ ගෙදර ගිනි තබා විනාශ කර තිබුණි. ඇයටද වසර ගණනාවක සිපිරි දිවියක් ගෙවීමට සිදු විය. එහෙත් ඇය කිසි විටක සදාචාරාත්මකව පිරිහුනේ නැත. මොහොතකවත් උස් අරමුණු අත් හළේ නැත. සිපිරි ගෙදරින් නිදහස්ව පැමිණි මුල් කාලයේ වසර කිහිපයක් විදෙස්ගතව සිටියත් ඇය නැවත පක්ෂය සොයා ගෙන ලංකාවට පැමිණියාය. ඒ වඩාත් විශ්වාසවන්තව දිරිමත්ව සමාජ අරගලයේ කොටස්කාරියක වීමටය.

සදාකාලික දේවල් මෙලොව නොපවතින මුත් මෙවැනි මිනිසුන් හා ගැහැණුන් බොහෝ කල් සුවෙන් ජීවත් විය යුතුය. සිය දිවිසැරියම සමාජ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් කැප කළ ඈ වන් සහෝදරියක් තව බොහෝ කාලයක් අප අතර නිරෝගී සුවයෙන් සිටිය යුතුය. මක් නිසාද යත් එබඳු විශ්වාසවන්ත, ආදර්ශවත් දිරිය සොහොයුරියන් ජන සමාජය තුළ විරළ වන බැවිනි!

මේ මොහොතෙහි කරුණා සොයුරිය සෙනෙහසින් රැක බලාගන්නා ඇයගේ පවුලේ සාමාජිකයන් හා ඇයට උපකාර කරන දේශපාලන සගයන් පිළිබඳව අපට ඇත්තේ ආදරණීය ගෞරවයකි.

ආදරණීය සොයුරු සොයුරියනි, එදා එකම පොකුරක මල් මෙන් පිපී සිටි ඔබ අද වෙනත් අතු ඉති මත රැඳී සිටිනවා විය හැකිය. වෙනස් දිශානතිවලට පියාසර කරනවා විය හැකිය. ඒ කෙසේ වුවත් මේ උදා වී ඇත්තේ කරුණා සහෝදරියට ඔබේ කරුණාව,දයාව සහ ආදරය ලැබිය යුතු මොහොතකි.

ගාමිණි මුතුකුමාරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *