කොරෝනා රෝගීන් නිවෙස් ගත කර රැකබලා ගැනීම – වෛද්‍ය සන්දීපා සෙනෙවිරත්න

Covid-19 රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යන මේ මොහොතේ බොහෝ විද්වතුන්ගේ මෙන් ම සමාජයේ පොදු මතය වන්නේ, රෝග ලක්ෂණ නොමැති හෝ සුළු රෝග ලක්ෂණ සහිත රෝගීන් නිවෙස්වල ම තබා ගැනීම වඩාත් යෝග්‍ය සේ ම සාර්ථක ක්‍රමවේදයක් වන බව යි. කොරෝනා රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වීම ආරම්භ වූ කාලයේ පටන් ම බොහෝ රටවල රෝගීන් නිවෙස්වල ම රඳවා තබා ප්‍රතිකාර ලබා දීම සිදු කෙරිණි. එහෙත් ඒ වන විට ත් ශ්‍රී ලංකාවේ සියලු ම රෝගීන් සඳහා රෝහල් හෝ මධ්‍යම ප්‍රතිකාර මධ්‍යස්ථානවල වෛද්‍ය පහසුකම් සපයා දීමේ හැකියාවක් පැවතිණ. දිනෙන් දින වැඩි වන රෝගීන් සංඛ්‍යාව වර්තමානය වන විට රෝහල් සඳහා දරාගත නොහැකි තරම් උපරිම මට්ටමකට පැමිණ ඇත. ඉහත කී විසඳුම බොහෝ දෙනෙකු යෝජනා කරන්නේ එබැවිනි.

තත්ත්වය එසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් නොදන්නා කරුණක් වන්නේ කොරෝනා රෝග‍ය වැළඳුණු පුද්ගලයින් නිවෙස්වල ම රඳවා, නිරෝධායනය කොට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය මේ මොහොත වන විටත් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන බව යි. ඉකුත් ජුනි මාසයෙහි පටන් කළුතර දිස්ත්‍රික්කයෙන් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ වූ මේ ක්‍රියාවලිය, මේ වන විට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වල ද සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරේ.

මෙය සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරකතන හුවමාරු මධ්‍යස්ථානයක් හරහා ය. ශ්‍රී ලංකා විශේෂඥ පවුල් වෛද්‍යවරුන්ගේ සංගමයේ (Sri Lanka Association of Specialist Family Physicians) මූලිකත්වයෙන් රෝගීන් රැකබලා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන මෙම දුරකථන හුවමාරු මධ්‍යස්ථානයෙහි ක්‍රියාකාරිත්වය සඳහා රාජ්‍ය බැංකුවක් හා පෞද්ගලික දුරකථන සමාගමක් ඇතුළු ආයතන කිහිපයක් මූල්‍ය ප්‍රතිපාදන සේ ම සෙසු අනුග්‍රහයන් සපයති. රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද මෙම ක්‍රියාවලිය සඳහා මහත් වූ දායකත්වයක් උසුලයි.

මේ සඳහා තෝරා ගනු ලබන්නේ, වයස අවුරුදු දෙකත් හැට පහත් අතර වෙනත් බරපතළ නිදන්ගත රෝගාබාධවලින් හා බරපතළ කොරෝනා රෝග ලක්ෂණවලින් තොර කොරෝනා රෝගීන් ය. Covid 19 රෝග ලක්ෂණ හෝ බරපතළ වෙනත් රෝගාබාධ නොමැති වුවත්, පවුලේ සියල්ලන්ට ම කොරෝනා රෝගය වැළඳුණු අවස්ථාවන්හි දී හැර නිවසේ වෙන ම කාමරයක රැඳී සිටීමට පහසුකම් නොමැති රෝගීහු මේ යටතේ රඳවා ගනු නො ලැබෙති. එම රෝගීන් රෝහල්ගත කිරීමට අවශ්‍ය වන්නේ, පවුලේ සෙසු අය හට රෝගය වැළඳීම වළක්වා ගැනීම සඳහා ය.
කොවිඩ් රෝගය වැළඳී ඇතැයි සැක කරන ඉහත කාණ්ඩයට අයත් වන රෝගීන් PCR සහ RAT පරීක්ෂණවලට බඳුන් වූ පසු ව ඔවුන් හට රෝගය වැළඳී ඇති බවට තහවුරු වුවහොත්,අදාළ රෝගීන් අයත් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ ප්‍රාදේශීය වසංගතවේදී වෛද්‍යවරයා මඟින් පෙර කී දුරකතන හුවමාරු මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතියට ඔවුන් පිළිබඳව දත්ත ඇතුළත් කරනු ලබයි.

මෙම දුරකතන හුවමාරු මධ්‍යස්ථානයට අනුයුක්ත ව මේ වන විට වෛද්‍යවරියෝ 200කට අධික ප්‍රමාණයක් සේවයේ යෙදෙති. ගර්භනී තත්ත්ව‍යේ පසුවන රාජ්‍ය අංශයේ නිලධාරිනියන් හට, පවතින වසංගත තත්ත්වය හමුවේ සේවයට වාර්තා නො කර සිටීමට හැකි ලෙසට චක්‍රලේඛ නිකුත් වුව ද , ගර්භනී වෛද්‍යවරියන් අතුරෙන් ඇතැමෙක් තමන් රාජකාරි කරන්නා වූ ස්ථානයන්හි තවමත් සේවයේ නිරත ව හිඳිති. අනෙකුත් සියල්ලෝ ම මෙම දුරකථන මධ්‍යස්ථානයට අනියුක්තව සේවය කරති.
තව ද, දෛනික ව ඔවුහු ගෘහස්ථ නිරෝධායනයට ලක් ව හිඳින එක් එක් රෝගියා වෙත දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔවුන්ගේ රෝගී තත්ත්ව පරික්ෂා කරති. නිරන්තරයෙන් සොයා බැලීමට අවශ්‍ය ඇතැම් රෝගීන් වෙත දිනකට දෙවරක් හෝ තුන් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් දුරකථන ඇමතුම් ඔස්සේ උපදෙස් ලබා දෙති. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කල කොවිඩ් නිවාස ගත රැකවරණය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය මේ සඳහා මූලික වශයෙන් පදනම් වේ.

රෝගීන්ගේ ශ්වසන අපහසුතා ඇතුළු අනෙකුත් රෝග ලක්ෂණ පිළිබඳ ව මෙහි දී විමසීමක් කෙරෙන අතර, පරීක්ෂාව සිදු වන්නේ සාමාන්‍ය පරිදි ඇවිදීම, වේගයෙන් ඇවිදීම වැනි ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාව පිරික්සීමෙනි. තව ද රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය මැනීමට හැකි උපකරණ නිවෙස්වල ඇති රෝගීන්ගේ ඔක්සිජන් ප්‍රමාණය ගණනය කිරීමෙන් ලබා ගන්නා දත්ත ද මේ සඳහා උපයෝගී කර ගනු ලැබේ. මෙම පරීක්ෂාවන්හි දී රෝග ලක්ෂණ උත්සන්න වන බවට හඳුනා ගැනෙන රෝගීන් වහා ම සුදුසු රෝහලක් වෙත යොමු කිරීම ද මෙම වෛද්‍ය කණ්ඩායම විසින් දැනුම් දෙනු ලදුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ගේ අනුදැනුම යටතේ සිදුවේ.

මෙම වෛද්‍යවරියන් හට අවශ්‍ය අවස්ථාවල දී වැඩිදුර උපදෙස් පවුල් වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍යවරු (Registrar in Family Medicine)සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරු (Senior Registrar in Family Medicine) ලබා දෙති. මේ සියල්ල සිදු වන්නේ, විශේෂඥ පවුල් වෛද්‍යවරුන්ගේ (Specialist Family Physicians) අධීක්ෂණය යටතේ ය.

රාජ්‍ය රෝහල්වල නේවාසික පහසුකම් සැපිරී, ඇඳන් පමණක් නොව වාට්ටුවල බිම්කඩ ප්‍රමාණය පවා සීමිත වී ඇති මෙබඳු තීරණාත්මක අවස්ථාවක, සිදු කරමින් පවතින මෙම ක්‍රියාවලිය රෝහල් කාර්ය මණ්ඩලයට මෙන් ම රෝගීන් හට ද සුවිසල් පහසුවකි. ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කය ද ආවරණය කිරීමට නියමිත ව ඇති අතර දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම ද කාලීන අවශ්‍යතාවයක් වනු ඇත.

එන්නත්කරණය හා සමගාමී ව සිදු කෙරෙන මෙම සේවාව මඟින් එක් එක් රෝගියකු සඳහා වන පිරිවැය ද රෝහල් තුළ ඇති සම්පත් ප්‍රමාණය ද ඉතිරි කර ගැනීමට මහත් රුකුලක් සැපයේ.

මෙම සේවාව මඟින් මේ වන විට සුවපත් වීමෙන් පසු ව නිදහස් කෙරුණු රෝගීන් සංඛ්‍යාව තුන්දහසකට අධික ය.
කෙසේ වෙතත් ගර්භනී අවධියේ ඇති වන සංකූලතා සහ අපහසුතා ද සමඟ මෙම වෛද්‍යවරියන් සිදුකරනුයේ සුළු කොට තැකිය හැකි කාර්ය භාරයක් නො වන බව ද ඉඳුරා ම කිව යුත්තකි. 200කට පමණ සීමා වන වෛද්‍යවරියන් පිරිසක් විසින් 9000කට අධික රෝගීන් පිරිසක් සඳහා මෙලෙස සේවය සැපයීම ඉක්මනින් විඩාපත් වන ක්‍රියාවලියකි. එහෙත් ඔවුහු සියල්ලෝම දහසකුත් අභියෝග අතරේ ස්වකීය කාර්ය භාරය නොඅලස් ව නොපිරිහෙළා සිදුකරමින් සිටිති.

Dr Sindoopa Seneviratne
Registrar – Family Medicine

Leave a Reply

Your email address will not be published. Required fields are marked *