විවේචනයට, ප්‍රශ්න කිරීමට පිළිතුර මර්දනය නම් අපට අනාගතයක් අවැසි නැත

මේ රටේ කිසිවෙකුට විවිචෙනයක් හෝ විරුද්ධ අදහසක් ඉදිරිපත් කිරීමේ අයිතියක් දැන් නැත. පසුගිය කාලසීමාවේදී සිදු වූ සිදුවීම් එකිනෙක ගෙන බැලීමේදී එය වඩාත් හොඳින් පැහැදිළි කරුණකි.
එක් වරක් සිය සේවා ස්ථානය වූ රෝහලේදී තමන් අත්දුටු සත්ය හෙළි කළැයි නජිත් ඉන්දිකගේ මානසික ආතතිය පරීක්ෂා කළ යුතු බවට CIDය යැයි කියාගත් පිරිසක් ප්රශ්න කර ඇත.
පසුගියදා ආහාර මිළ සම්බන්ධයෙන් ප්රශ්න කළ අසේල සම්පත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර, වද බන්ධනයට ද ලක් කර පසුව මුදා හැරිණි. එහිදී ඔහු ලත් අත්දැකීම් ඔහු පසුව විස්තර කර තිබිණි.

එමෙන්ම මෑතකදී ඖෂධ මාෆියාව ගැන අදහස් දැක් වූ වෛද්ය ජයරුවන් බණ්ඩාර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට කැඳවා ඇත.
එපමණක් නොව පාස්කු ප්රහාරය ගැන පළ වූ මාධ්ය වාර්තා හා තොරතුරු එක් කොට විශ්ලේෂණයක් කර සිය අදහස ඉදිරිපත් කළ තරුණයෙකු ද මෙළෙසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්රශ්න කරමින් සිටින බවට විවිධ කතා පැතිර යයි.
මේ සිවිල් ක්රියාකාරීන්ගේ තත්වයයි. රාජ්ය සේවය තත්වය මීට අන්තය. එයට හේතුව වන්නේ රාජ්ය සේවය තුළ විවේචනවලට එල්ල වන ප්රතිප්රහාරයක් සමාජගත නොවීමයි. මෑතකදී වන සංහාරය ගැන අදහස් පළ කළ චමිල් මහතා අත්අඩංගුවට ගැනීම මෙහි එක් දිගුවකි. ඔහු අත්අඩංගුවට ගත් නිසා ම සමාජ මාධ්ය තුළ කතාබහට ලක් වුවද, එසේ කතාබහට ලක් නොවී පීඩාවට පත්වන චරිත අපමණය.
කරාපිටිය රෝහලේ වෛද්යවරයෙකු විසින් කොවිඩ් තත්වය හමුවේ සිය රාජකාරි ස්ථානයේ අත්දුටු දෑ දරාගත නොහී මාධ්ය හමුවක් කැඳවා තද වාග් ප්රහාරයක් එල්ල කළ වහාම අභ්යන්තර පරීක්ෂණයක් සිදු වන තුරු ඔහු කොරෝනා වාට්ටුවේ අඛණ්ඩ සේවයට යොදවා තිබිණි. මෙය තවත් එක් නිදසුනක් පමණි.
රාජ්ය සේවයේ අප ඉතා ගරු කළ මාගේ ගුරුතුමියක් ලෙසින් නිබඳ ගෞරවයට ලක්වන පරිපාලන සේවයේ නිලධාරී මහත්මියක් විසින් රජය හා ආණ්ඩුව යනු කුමක්ද යනුවෙන් ඉතා පැහැදිළි විග්රහයක් කර තිබිණි. එහිදී ඇය විසින් පැහැදිළිවම දක්වා තිබුණේ “ආණ්ඩුව යනු රාජ්යයේ ප්රායෝගිකත්වය ක්රියාවට නගන ආයතනයයි. රාජ්ය ස්ථාවර වේ. ආණ්ඩුව අස්ථාවර වේ.“ යනුවෙනි.
එහිදී ඇය විසින් තවත් මේ කරුණ පැහැදිළි කර තිබුණේ “ඒ අනුව රාජ්ය නිලධාරීන් සිටින්නේ රාජ්ය තුළය. එනම් රාජ්ය සේවය තුළය. ආණ්ඩුව තුළ නොවේ. රජයේ නිලධාරියකුට ආයතන සංග්රහයේ විනය කාණ්ඩය අනුව ඇති රෙගුලාසිය වන්නේ රජයට පූර්ණ පක්ෂපාත විය යුතු බවය. ආණ්ඩුවට පක්ෂපාත විය යුතු බව නොවේ. සේවය කළ යුත්තේ රජයට ය. ආණ්ඩුවට නොවේ.“ යනුවෙනි.
මේ අනුව රාජ්ය සේවකයාට කිසිදු අයුරකින් රාජ්යය විවචෙනය කළ නොහැකිය. හේතුව ඔහු සිටින්නෙ රාජ්ය තුළ බැවින්. නමුත් ඔහුට ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතියක් නැද්ද යන්න විමසුමට ලක්විය යුතු කරුණකි. මක් නිසාද යත් රජයේ නිලධාරීන් සේවය කළ යුතු වන්නෙ රජයට මිස ආණ්ඩුවට නොවන බැවිනි. මෙහිදී ඇය විසින් දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද පැහැදිළි කිරීමක් කර ඇතත්, මේ රචනාවේ ඉලක්කයය එසේ දේශපාලන අයිතීන් හිමි නොවන කාණ්ඩය සම්බන්ධයෙන් නොවන බැවින් එය මගහැර යමි.
කෙසේ වෙතත් ඉහත කරුණු නීතියට හෝ තර්කයට වලංගු වූවද ප්රායෝගිකත්වය වලංගු නොවන බව මෑත කාලීන උදාහරණ දක්වයි. ඉහත දක්වා තිබුනේ ඒ උදාහරණවලින් කිහිපයක් පමණි.
ඇත්තටම ඇයි විවේචනයට මෙච්චර බය?
මේ කොයි කාලයේදීත් මතු වූ ගැටළුවක්. ජනාධිපති ප්රේමදාස සමයේ විවේචකයින්ට වූ දේ අදටත් දන්නේ දෙවියන් පමණි. එයම අඩු වැඩි වශයෙන් අනෙකුත් පාලන කාලයන් තුළ ක්රියාත්මක වූ අතර, මාධ්යෙව්දීන් වූ ලසන්ත, ප්රගීත්, පෝද්දල ජයන්ත වැන්නවුන් සේම ලලිත්, කුගන් වැනි දේශපාලන ක්රියාධරයින් සම්බන්ධ සිදුවූ සිදුවීම් විවේචනයේ හෝ විරුද්ධ අදහස් දැක්වීමේ ප්රතිපලයි. මේ හුවා දැක්වූයේ සිදුවූ සිදුවීම්වල කුහුඹු පස්සක් තරම් අල්පයක් බවත් මෙහිදී සටහන් කර තබමි.
විවේචනයට බය නොවී මුහුණ දිය හැක්කේ සත්යවාදීන්ට පමණි. කෙනෙකු සිය අදහසක් ඉදිරිපත් කිරීම විවේචනයක් වන්නේ එය පවත්නා යම් දෙයට විරුද්ධ වුවහොත් පමණි. වෛද්ය ජයරුවන් බණ්ඩාරගේ අදහස් විවේචනයක් වී ඇත්තේ එය වත්මන් පාලනයේ ඖෂධ ක්රියාකාරීත්වයට එරෙහිව අදහස් දැක්වීමක් වන නිසාවෙනි. පාස්කු ප්රහාරය පිළිබඳ අදහස ඉදිරිපත් කළ තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ එය පාස්කු ප්රහාරයට අදාලව වත්මන් පාලනයේ ක්රියාකාරීත්වයට පටහැනනි වන නිසාවෙනි. පරිපාලන සේවයේ චමිල් මහතා ද රැගෙන යන්නෙ වන සංහාරයට අදාල ඔහුගේ අදහස් වත්මන් රජයේ ක්රියාකාරීත්වයට එරෙහිව වූවක් බැවිනි. නජිත් ඉන්දිකගේ මානසික ආතතිය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පැමිණෙන්නේ ඔහුගේ සමාජ ජාලා සටහන වත්මන් සෞඛ්ය අමාත්යාංශයේ කෙරුවාවට හාත්පසින්ම විරුද්ධ නිසාය. ඒ අනුව පවතින ආණ්ඩුව විවේචනය කිරීම බරපතල වරදක්ද?
ඒ අනුව පවතින පාලන තන්ත්රයේ ක්රියාකාරීත්වය විරුද්ධ අදහස්වලට ආණ්ඩුව කෝප ගන්නේ නම් එය නිවැරදි පාලන ක්රමයක් නොවේ. ඇත්තටම සිදු විය යුත්තේ විරුද්ධ අදහස්වලට පිළිතුරු දීමයි. නමුත් සිදුවන්නේ දිගින් දිගටම මර්දනය පමණයි. එසේ නම් අපට හැඟී යන්නේ විරුද්ධවාදීන් මර්ධනය කරනා සියලුම පාලන තන්ත්රයන් යනු තමාට එල්ලවල චෝදනාවලට හෝ විවේචනවලට පිළිතුරු දීමට නොහැකි පාලන තන්ත්රයන් බවයි.
යම් පාලන තන්ත්රයකට එල්ලවන චෝදනාවලට පිළිතුරු දිය නොහැක්කේ මන්ද? සරලම පිළිතුර නම් දූෂණය, වංචාවයි. දූෂණය හා වංචාව සිය ප්රධාන ක්රමෝපාය වන කිසිදු පාලන තන්ත්රයකට සිය විරුද්ධවාදීන්ගේ අදහස්වලට ප්රතිඋත්තර සැපයිය නොහැකිය. සපයනවා නම් “අපි බංගලාදේසෙන් ණය ගත්තෙ නෑ. මේක මුදල් හුවමාරු ගිවිසුමක්. නියමිත කාලෙද ගත්තු මුදල් පියවනවා. ඒකට පොළියක් ගෙවනවා“ වැනි අඳ බාල වදන් මිස තාර්කික කිසිවක් කිව නොහැකිය. මේ කිසිවක් පාලනය හිතදායී පිළිතුරු නොව පාලනය තවත් අර්බුදයට තල්ලු කරනා පිළිතුරු පමණි.
කෙසේ වෙතත් අවසන කීමට ඇත්තෙ මෙපමණකි. විවේචනය හෝ ප්රශ්න කිරීම පුරවැසි අයිතියකි. හම්බු කරනා අන්තිම තුත්ටු දෙක දක්වා මේ පාලන තන්ත්රයට බදු ගෙවනා පුරවැසියන්ගේ අයිතියකි. ඒ පුරවැසි අයිතියට ටිගර් වීම අඳබාලයින්ගේ බොළඳ වැඩකි. එබැවින් මේ සයිබර් අවකාශයේ හෝ සමාජ සංවිධානවල හෝ ජීවත්වන අප ද පුරවැසියන්ය. එමෙන්ම අප රජයේ සේවකයින් මිස ආණ්ඩුවේ සේවකයින් නොවන බවද දන්වනු කැමැත්තෙමි. එබැවින් පවත්නා ආණ්ඩුව විවේචනය කළ පමණින් සුදු වෑන් පන්නයේ පාතාල ක්රියාමාර්ග හෝ විනය ක්රියාමාර්ග, ස්ථාන මාරු, දඬුවම් මාරු, විමර්ශන වැනි ආයතන සංග්රහනුකූල රාජ්ය තාන්ත්රික පාතාල ක්රියා හෝ කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් ගැනීම ආණ්ඩුව නම් මහා තන්ත්රයට හෝ රාජ්ය පරිපාලනය නම් මහා විෂයට හෝ තරම් නොවන බව දක්වනු කැමැත්තෙමි.
එබැවින් කරුණාකර මේ වන්නා වූ දේ ගැන අපගේ හිත් තුළ මතු වන අදහස් සම්බන්ධයෙන් ටිගර් වී ටිපර් නොවන ලෙසත්, එසේ ටිපර් වීම ඔබගේ තරමට නොගැලපෙන බවත් වැඩිදුරටත් දන්වමි.
සජිත් සාරංග සේනාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *