ළමුන් අඩු පාසල් විවෘත කිරීමට පියවර .

පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, පවතින වාතාවරණය යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ළමයි 100ට අඩු ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් මුලින් ආරම්භ කරන්න අවධානය යොමුකරලා තියෙනවා. මොකද පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නැතුව තමයි ගොඩක් මේ පාසල් පවත්වාගෙන යන්නේ. අපි දන්නවා තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරන්න අපහසු ප්‍රදේශවල තමයි මේ ළමයි ඉන්නේ. ඒවට ප්‍රමුඛ ස්ථානයක් තමයි අපි තීරණය කළේ ජනාධිපති කාර්ය සාධක බළකායේ දී. ඒ වගේම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ඔක්තෝබර්වල ලැබීමට නියමිතයි. සුදුසු විදියට පාසල් ළමුන් සඳහා යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ලබාදුන්නාට පස්සේ පාසල් ළමුන් සඳහා එන්නත්කරණය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සදහා කොවිඩ් එන්නත ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය.

අනුරාධපුර ප්‍ර දේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එම අදහස් පළ කළේය.

මේ අතර පාසල් ළමුන්ට කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් හදිසි තීරණ නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ වන විට හඳුන්වා දී ඇති එන්නත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඒවා ළමුන්ට ලබාදීමට පියවර ගත යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *