පියාගේ ඝාතනයෙන් පුතා අත්අඩංගුවට.

ප්‍රකට තේ අපනයන සමාගමක හිමිකරු වූ ගුලාම් හුසේන් නම් ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බාල පුත්‍රයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඝාතන සිද්ධියෙන් සිව්වසරකට පසුව වීම විශේෂත්වයකි.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ 68 හැවිරිදි ගුලාම් හුසේන් මහතා පසුගිය 2017 වර්ෂයේ ජූනි මස 09 වනදා මරණයට පත්වූ අතර එය ස්වාභාවික මරණයක් ලෙස වාර්තා වී තිබුණි.

නමුත් ඔහුගේ මරණය පිළිබඳව පසුව ඇති වූ සැකය මත ඒ පිළිබඳව  විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණි.

ඒ අනුව ඔහුගේ දේහය 2019 වර්ෂයේදී නැවත ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු වෙත යොමුකළ අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ සිරුරේ හකු ඇටයක පිපිරීමක් සහ වම් පස ඉල ඇටයක පිපිරීමක් දක්නට ලැබෙන බවය.

ඒ අනුව ඔහුගේ මරණය මොට බලයකින් සිදුවූ භාහිර තෙරපුමකින් සිදුව ඇති බවත් එය ඝාතනයක් බවටත් වෛද්‍යවරු නිගමනය කර තිබුණි.

අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයාගේම බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ව්‍යපාරිකයාගේ මරණය සිදු වී වසර 04කට පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකළ කණ්ඩාමය අනාවරණ කරගෙන ඇත්තේ ටයි පටියකින් ගෙල සිර කිරීමෙන් එම ඝාතනය සිදුකර ඇති බවය.

සැකකාර පුත්‍රයා දේපල ලබා ගැනීමේ අරමුණින් එම ඝාතනය සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

සැකකරු අද (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *