හල්දුමුල්ලේ වතු තුනක 150කට කොවිඩ්.

හපුතලේ හල්දුමුල්ල වතු නිවාස ආශ්‍රිතව සිදුකළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

හල්දුමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩබ්ලිව්.අසංක සම්පත් මහතා සඳහන් කළේ, දින දෙකක් තුළ සිදුකළ පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

හල්දුමුල්ල ප්‍රදේශයේ බත්ගොඩවට, මීතුන්වත්ත හා වේගොල්ලවත්ත යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

වතු ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්ගේ ක්‍රියා කලාප හේතුවෙන් කොවිඩ් සීඝ්‍රයෙන් පැතිරයමින් තිබෙන බව ද අසංක සම්පත් මහතා සඳහන් කළේය.

මේ අතර දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 225,521 දෙනෙකුට ලබා දී තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (12) දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක අතර වයස අවුරුදු 20ත්-29ත් අතර පසුවන්නන් එන්නත්කරණයද ප්‍රදේශ රැසකදීම සිදුවේ.

මේ අතර නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ ජංගම වැඩසටහනද ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *