කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයා රෝහලෙන් පැන යයි.

ගම්පොළ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලීසියේ රාජකාරි කටයුතු සිදුකළ පොලිස් සැරයන්වරයෙකු අභිරහස් ලෙස අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ කොත්මලේ පොලීසියේ අවසන් වරට රාජකාරි කටයුතු සිදුකළ සැරයන්වරයෙක් වන සුප්පයියා ඉලන්ගෝවන් නැමති 56 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.

වසර 33 කාලයක් පොලිස් සේවයේ යෙදි සිටි එම පොලිස් සැරයන්වරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ආරක්ෂක නිලධාරිවරයා වශයෙන් රාජකාරි කර අවසන් වරට නුවරඑළිය පොලීසියේ රාජකාරි කටයුතු සිදුකර මිට මාස දෙකකට පමණ ප්‍රථම කොත්මලේ පොලීසියට මාරුවීමක් ලබාගෙන තිබේ.

තලවකැලේ පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි අතුරුදහන් වී ඇති පොලිස් සැරයන්වරයා තිදරු පියෙකු වන අතර ,සැරයන්වරයාගේ බිරිඳ පුඩළුඔය දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියෙකු වශයෙන් සේවය කරනු ලබයි.

රාජකාරි කරමින් සිටිය දී අතුරුදහන් වී ඇති පොලිස් සැරයන්වරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම නිසා තම පියා ඇතුළු පවුලේ සාමාජිකයන් අගොස්තු මස 31 වන දින තම නිවසේ නිරෝධායනයේ යෙදි සිටි බවත්, ඉන් අනතුරුව පියාට ඇති වු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් සැප්තැම්බර් මස 08 දින ගම්පොළ මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහු එම රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බව එම සැරයන්වරයාගේ පුතා වන ඉලන්ගෝවන් අගිනාත් පවසයි.

පියා රෝහලට ඇතුළත් කර දිනයේම රෝහලේ පාලන අධිකාරිය මඟින් තම දුරකථනයට ඇමතුමක් ලබාගෙන නේවාසිකව ප්‍රතිකාර ලැබු පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට තමන්ට දැනුම් දුන් බවද අතුරුදහන් වු සැරයන්වරයාගේ පුතා කියා සිටියේය.

තම පියාට රෝහලෙන් පැන යාමට හෝ එසේ පැන ගොස් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අතුරුදහන් වී ඇති තම පියා සොයාදීමට අවශ්‍ය කටයුතු කරන මෙන් පොලීසියෙන් සැරයන්වරයාගේ බිරිඳ  ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී එම නිලධාරිවරයා කියා සිටියේ, අතරුදහන් වී ඇති සැරයන්වරයා නිදන්ගත රෝගයකින් පෙලුණු අයෙකු බවත්, එම සැරයන්වරයා රෝගයට බිය වී ඥාතියෙකුගේ හෝ යහළුවෙකුගේ රැකවරණය යටතේ සැඟ වී ඇති බවට පොලීසිය සැකකරන බවය.

කෙසේවෙතත් අතුරුදහන් වු සැරයන්වරයා සොයා ගැනිමට ගම්පොළ සහ කොත්මලේ පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද එම නිලධාරිවරයා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *