ඇත්තටම වැරදි දේශපාලකයින් විතරමද?

මේ දවස්වල ඔළුවෙ වැඩ කරන පොඩි ටාගට් එකක් නිසා ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, කාර්ය පටිපාටික රීති එහෙම ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඇත්තටම මේක බලාගෙන බලාගෙන යනකොට හිතිච්ච දෙයක් තමයි ඇයි මේ රට මේ තරම් චෝදනා අපවාද ලබන්න තරම් දූෂණ වංචාවලින් පිරුණෙ කියලා. ඇත්තටම ඒකට තනිකරම වගකියන්න ඕනෙ දේශපාලකයින් විතරක්ම නෙමෙයි, මේ තීන්දු තීරණ ගන්න පුළුවන්, වගකීම් දරන නිලතල හොබවන රාජ්‍ය සේවයේ පාලක පන්තියත් මේකට වගකියන්න ඕනෙ.

හොඳම උදාහරණය ළඟම උදාහරණය. බන්ධනාගාරය භාර ඇමැතිවරයා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවල පිස්සු කෙළල කියල මුලින්ම පුවත්පතක් වාර්තා කළා. පස්සෙ මාධ්‍ය ආයතන කිහිපයක්ම මේ ගැන වාර්තා කරල තිබ්බා. මාධ්‍ය ආයතන මේ ගැන ඇහුවහම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියල තිබ්බෙ “මාධ්‍යවල පළවෙච්ච ආකාරයේ සිද්ධියක් වාර්තා වෙලා නෑ” කියලා.

 

ඒ විතරක් නෙමෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කිවුවෙ “රාජ්‍ය අමාත්‍යවරයෙක් බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිල නෑ” කියලයි.

හැබැයි ඊයේ (15) රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මේ සිදුවීම සම්බන්ධයෙන් වගකීම අරන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට භාර දුන්නා. (අමතක කරන්න එපා එයා ඉල්ලා අස්වුණේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යකමින් විතරයි. මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස් වුණේ නෑ…)

දැන් එතකොට මේ සිදුවීම දකිද්දිම අම්බරුවෙක්ට වුණත් පැහැදිළියි බන්ධනාගාර නිලධාරීන් සිය රාජකාරිය පැහැර හැරල තියෙනව කියල. ඒ විතරක් නෙමෙයි ඉතා නින්දිත විදියට දේශපාලකයින්ගේ අමනෝඥ ක්‍රියාකාරකම්වලට අනුබල දෙනව කියලත් මේ සිදුවීමෙන් පැහැදිළියි. මේ සිදුවීම බීමතින්, රූප සුන්දරියක් යැයි කියාගන්නා කාන්තාවක් හා තවත් මිතුරන් පිරිසක් සමඟ බලහත්කාරයෙන් කඩා වැදීම නිසා මාධ්‍යවල පළ වුණා. මේ විදියට මාධ්‍යවල පළ නොවන තවත් සිදුවීම් කෙතෙක් නම් ඇත්ද?

මෙතනදි ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒක අසූචි ගොඩේ පරිප්පු හොයනව වගේ වැඩක්. මොකද මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිදුවීමෙද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මේ ඇමැතිවරයාමයි කිවුවේ මහර බන්ධනාගාරයේ කිසිම වෙඩි තැබීමක් සිදු වුණේ නෑ කියල තමන් වගකීමෙන් කියනව කියලා. නමුත් පහුවෙනිදට හෙළි වුණා බරපතල අන්දමේ වෙඩි තැබීමේ සිදුවීමක්. ඉතින් පාර්ලිමෙන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මේ උන්දැල කරපු කියපු දෙවල් මතක කියෙන තාක්කල් මුන්දැලගෙ හොඳ හොයන්න යන එක තරම් ගොන් වැඩක් තවත් නැති වෙයි.

හැබැයි බන්ධනාගාර නිලධාරීන් එහෙම නෙමෙයි. ඒ අය දේශපාලන ක්‍රියාධරයින් නෙමෙයි. ඒ අය රජයේ සේවකයින්. රාජ්‍ය සේවකයින් සේවය කළ යුත්තේ රජයට මිස ආණ්ඩුවට නෙමෙයි. රජය හා ආන්ඩුව කියන්නෙ දෙකක් මිස එකක් නෙමෙයි. එහෙනම් රජයට සේවය කරන්න බැඳිල ඉන්න මේ නිලධාරීන් ඇයි මෙච්චර ආණ්ඩුවට කඩේ යන්නේ. එක හේතුවයි. ඒ තමයි තමන්ගෙ වරදාන, වරප්‍රසාද රැක ගන්න හා අමතර ආදායම් ලබන්න.

අපිට මතකයි බන්ධනාගාරය ඇතුළෙන් සිරකරුවන්ගෙ කුටිවලින් විවිධ වර්ගයේ උපකරණ හමුවුණා. ඒ වෙලාවෙදි ඔය කියන බන්ධනාගාර නිලධාරීන් කිවුවේ බන්ධනාගාරයේ සේවය කරන ඇතැම් නිලධාරීන් ගුද මාර්ගයේ සඟවල මේ දේවල් අරගෙන එනව කියලා. එහෙම කියල මහ දවසක් යන්න ලැබුණෙ නෑ එක් සිර කුටියකින් ශීතකරණයක්, අවන් එකක් වගේ ඒවත් හම්බුණා. එතකොට ශීතකරණයක් හංගනෙ යන්න පුළුවන් තරමේ ලොකු ගුද මාර්ගයක් තියෙන බන්ධනාගාර නිලධාරියා කවුද කියල නම් කිවුවේ. කිවුව නං උන්දැව අටපට්ටමට නෙමෙයි ගිනස් ලෝක වාර්තාවට ඉදිරිපත් කරන්න තිබ්බා.

හැබැයි අර ප්‍රභාකරන් කිවුව වගේ අපේ එවුන්ට ඔක්කොම මතක සතියයි. උපරිම සති දෙකයි. අර බන්ධනාගාරෙට ශිතකරණ, අවන්, රූපවාහිනී වගේ උපකරණ ගෙනිච්ච නිලධාරීන් ගැන කරපු පරීක්ෂණ මොකද වුණේ කියල තාම කවුරුවත් හෙළි කළේ නෑ. මාධ්‍යවලටත් අලුත් අලුත් මාතෘකා දවස ගානේ එන නිසා වෙන්න ඇති ඒකත් අමතක වෙලා ගිහින්.

කොහොම වුනාත් අන්තිමේදී කියන්න තියෙන්නෙ, ලංකාව මේ වගේ දූෂිත රාජ්‍යයක් වෙන්න එකම හේතුව දේශපාලකයින් විතරක්ම නෙමෙයි. තමන්ගේ වරදාන, වරප්‍රසාදවලට මළ පෙරේතකමේ ඔය කියන දේශපාලකයින්ගෙ යටිපතුල් ලෙවකන රාජ්‍ය සේවයේ තනතුරුවල ඉන්න ඈයොත් මේකට වගකියන්න ඕනේ. එහෙම නැත්තං ඉතින් අපිට කියන්න තියෙන්නෙ මේ රටේ ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, රාජ්‍ය සේවා කාර්ය පටිපාටික රීති, ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථාව වගේ ඒව තියෙන්නෙ නමට විතරයි. එහෙම නැත්තං ඒවයේ තියෙන වගන්ති වලංගු වෙන්නෙ පහළ මට්ටමේ, සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට විතරයි කියලයි.

එහෙම නැත්තං බන්ධනාගාර නිලධාරීන්ට මේ තරම් පච වෙන්න දෙයක් නෑ. රාජ්‍ය නිලධාරීන්ට හිරේ විලංගුවෙ ලගින්න දෙයක් නෑ. රෙදි හොරු ගගා උසාවිවල ලගින්න දෙයක් නෑ. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න පුළුවන්. එහෙම බැරිනං කරන්න තියෙන්නෙ අදාල තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. කොහොමද අප්පා ඒක කරන්නේ. එතකොට අර සැප…. අම්මෝ…. මතක්වෙන කොටත් ආසයි….

 

– අවන්තත ඉඩමේගම –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *