හයියෙන් සාදු කියන එවුන්ගෙන් වැඩිපුර පරිස්සම්වෙයං මයෙ පුතේ

ඊයේ බුකියෙ තිබ්බ සටහනකට දමිත් කේතක හරි අපූරු අදහසක් දාලා තිබ්බා. ඒ අදහසට එකඟ වෙන්න පුළුවන් නිසා මම ඒක මගේ වෝල් එකෙත් උපුටලා දැම්මා. හුඟක් අයගේ අදහස් ඒකට නිල වශයෙන් හා නොනිල වශයෙන් ලැබුණා. ඒ අදහස් ඔක්කොම එකට එකතු කළාම මට දැනුණු දේ තමයි හැමෝම මේ පෝස්ට් එකේ උඩු අරුත ගත්ත. හැබැයි යටි අරුත ගත්තෙ නෑ හෝ යටි අරුත ගන්න කැමති නෑ කියන එක.

මේ පෝස්ට් එකට අදහස් දක්වද්දි හුඟක් අය තමන්ගෙ අදහස ඉදිරිපත් කළා. ඒ අතරේ ඇත්තටම අපිට ආදරේ අය ඉන්බොක්ස් කරල දැනුවත් කිරීම් කරල තිබ්බා. ඔය අතරේ යාළුවො කියාගෙන ඉන්න, ලද අවස්ථාවේ ඇරියස් කවර් කරගන්න බලාගෙන ඉඳපු එවුනුත් ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ “බේබද්දා“ කියල ලේබල් එක අලවල තිබ්බා. මේ හැමෝටම හොඳ උත්තරයක් මහින්ද දේශප්‍රිය මහතා දාලා තිබ්බා.

කොහොම වුණත් මේ සටහනේ උඩු අරුත ගෙඩිය පිටින් අරන්, යටි අරුත මගෑරියෙ ඇයි කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. මේකෙ යටිපෙළ අරුත හරි සරලව දක්වනව නම් “හයියෙන් සාදු කියන එවුන්ගෙන් වැඩිපුර පරිස්සම් වෙයං මයෙ පුතේ“ කියල තමයි කිවුවේ. ඉතින් රිවස් කරගෙන ඇවිත් ටිපර් වෙච්චි යාළුවො දැක්කහම හරි අනුකම්පාවක් ඇති වුණා. මොකද ඒ යටි පෙර අරුත හරි ලස්සනට හංගල උඩුපෙළ අරුත විතරක් අරන් “බේබද්දා“ කියල කාඩ් එක ගහනකොට එන්නෙ මාරම ලල් එකක්.

කොයිමින් කොහොම හරි මේ වෙලාවේ මේ ගැන අමුතු අමුතු සංවාද කරලියට ඇවිත් තියෙන්නේ. මාධ්‍ය හරි අපූරුවට මේ ගැන වාර්තා කරනවා. නිකං නෙමෙයි සමීප රූප රාමු එක්ක. හැබැයි ඒ සමීප රූප රාමු එක්ක වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යයට බැරි වුණා මේ නියෝගය දුන්නෙ කවුද කියල නම කියන්න. ඒ විතරක් නෙමෙයි වගකීම අරන් ඉල්ලා අස්වන තුරු අර බන්ධනාගාරයට පැනල ආතල් ගත්තු ඇමැතිවරයාගෙග නම කියාගන්න බැරි වුණා. ඒ අය ඒක වාර්තා කළේ “එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙක්“ කියලයි. ඒ විතරක් නෙමෙයි රටේ ආන්දෝලනයට තුඩු දීපු පොල්තෙල් ජාවාරම, සීනි ජාවාරම වගේ මහා පරිමාන ජාවාරම්කාර ආයතන ගැන වාර්තාකරණයේ යෙදෙද්දිත් ඒ අය වාර්තා කළේ “එක්තරා සමාගමක්“ කියන හරි ලස්සන වචනෙ දාලා.

පඩ ෂෝ දාන ඇමැතිවරු ඉස්සරහයි, අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංසෙ හූරා කන සමාගම් ඉස්සරහයි නකුට පශ්චාත්බාගයේ ගහගෙන ඇඹරෙන මේ මීඩියාකාරයෝ බාර් ඉස්සරහ සමීප රූප රාමු පෙන්නන්නෙ වීරයො වගේ. කාලයක් තිස්සෙ වහල තිබිල හදිස්සියේ ඇරපු බාර් එකෙන් බීල සූර් වෙච්ච මනුස්සයගෙ සමීප රූප රාමු පෙන්නපු ඔය කියන මීඩියාවලට බැරි වුණා අර බන්ධනාගාරෙට පැනපු රාජ්‍ය ඇමැතිවරයා අරක්කු හොයා ගත්තෙ කොහෙන්ද කියල කියන්න. ඒ විතරක් නෙමෙයි, අගමැතිවරයා ඉතාලි ගිහින් අර පට්ට පොෂ් බාර් එකේ වාඩි වෙඩා අඩියක් ගහන ගමන් මැච් එක බලපු රූපරාමුව සමීපව නෙමෙයි දුරස්ව හරි පෙන්නන්න ඔබ මීඩියාකාරයින්ට ගටක් තිබ්බෙ නෑ. උන්ගෙග හැම ගටක්ම තියෙන්නෙ අහිංසක මිනිහ ඉස්සරහ විතරයි. කොහොම හරි මේ වෙලාවෙ ඒ කතාව මීඩියා ගැනනේ. මේ කතාව අර පෝස්ට් එකේ යටි අරුත ගැනයි.

ඇත්තටම හුඟක් අය මේකෙ යටි අරුත අල්ල ගත්තෙ නැතුවා නෙමෙයි. ගැටළුව තියෙන්නෙ ඒ යටි අරුත එළියට ගන්න කැමති නැති එකයි. මොකද මේ රටාවේ පැද්දි පැද්දි යන්න අපේ මිනිස්සු දැන් හුරු වෙලා ඉවරයි. හදිස්සියේවත් එයාලගෙ තාලයට වඩා වෙනස් තාලයක් අපෙන් පිටවුණොත් අපි දිහා බලන්නෙ අමුතු ජීවි කොට්ඨාසයක් දිහා බලන්න වගේ.

ඉතින් මේ අරක්කු එහෙමත් නැත්තං සුරා පානය බෞද්ධ සංස්කෘතියේ ප්‍රධානතම අංගයක් වෙච්ච නිසාත්, පන්සිල් පද පහෙන් එකක් වෙච්ච නිසත් හැමෝගෙම අතමානයට අහුවෙන එකක්. ඒක සංස්කෘතිය කරපින්නාගත් එවුන්ට අමුතු මැජික් එකක්. හැබැයි ඒක එක කොට්ඨාසයක ආතල් එකක්.

දැන් මේකෙ ආදීනව ගැන බොහෝ දෙනෙක් කියනවා. ඔව් ඇත්ත මේක අම්බානෙක විසයි තමයි. ඒකෙන් අභ්‍යන්තර ශරීරාංග අඩපන කරනව තමයි. හැබැයි අරක්කු ඇරුණහම අපි කන බොන අනික් ඔක්කොම මාරම සෞඛ්‍ය සම්පන්නද? මිනිහෙක් ආසාවට චිකන් කෑල්ලක් කන්න යනවා. ඒ චිකන් කෑල්ල පට්ට ශරීර හිතකාමීද? මෑතක එක්කෙනෙක් තමන්ගෙ අත්දැකීම කියල තිබ්බා දැන් චිකන් වෙළඳපොලට එන්නෙ බිත්තරෙන් එළියට ආපු පැටියට දවස් විස්සක් ගතවුණාම කියලා. ඉතින් චූටි බිත්තරේ කිලෝ එකක්, එකහමාරක් තරම් වැඩුණු කුකුළෙක් වෙන්න දවස් විස්සක් නං යන්නෙ ඒකෙ සෞඛ්‍ය සම්පන්නකම ගැන අටුවා ටීකා අවශ්‍ය නෑනේ. මාළු කෑල්ලක් කන්න හිතුවොත් ඉතින් සෞඛ්‍ය සම්පන්න මාළු කෑල්ලක් කන්න අපිට බෝට්ටුවක් අරන් මූදු යන්නම වෙනවා. එහෙම නැතුව ඉතින් කන්න තියෙන්නෙ එම්බාම් කරපු මාළු තමයි.

නුවරඑළියේ ඉඳන් එළවලු එනවා. මම කාලයක් වලපනේ ප්‍රදේශයේ ඉඳපු අත්දැකීම එක්ක ගෝවවලට කෘමිනාෂක ගහනව නෙමෙයි ගෝව ගෙඩිය කෘමිනාෂකවල බස්සල ගන්නව කිවුවොත් හරි. කැරට්, ලීක්ස්, බෝංචි මෙකී නොකී කොයි එළවළුවත් එහෙම තමයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙච්ච මගේ මාමණ්ඩි කියපු කාරණාවක් තමයි වස විස නැති එකම දේ “ඉන්නල“ විතරයි කියලා. හැබැයි දැන් ඉන්නලත් පොළට එන්නෙ කොහොමද කියල දන්න අය දන්නවා. පොළොස් ගෙඩිය, කොස් ගෙඩිය කල්තියාගන්න වැසිකිලි පිරිසිදුකාරක පාවිච්චි කරනව කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්. ඉතින් එහෙම බැලුවහම අපි වස විස නැතිව කන්නෙ මොනවද? ඇත්තටම කිසිම දෙයක් නෑ. හැම දේම වසයි විසයි තමයි. මේ වස විසවල ප්‍රතිපල ඕනෙ තරම් අපේක්ෂා රෝහලේ වාර්තා ගත්තහම බලාගන්න පුළුවන්.

ඒ කියන්නෙ ආතල් එකට බොන එවුන් මාසෙට දවසක් දෙකක් උපරිම දවස් හතරක් බොනව නං උන් විස බොන්නෙ ඒ දවසෙ විතරයි. හැබැයි සුචරිතවාදී මත්පැන් විරෝධියො හැමදාම කන්නෙ බොන්නෙ වසයි විසයි විතරයි. හැබැයි ඒ වස විසවලට සංස්කෘතික බාධාවන් නැති නිසා ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ඇත්තම කතාව ඒක නෙමෙයි. ඒ ගැන කතා කරන්න තරම් හයියක් අපිට නෑ. බොන එකාට විරුද්ධව අපිට කෑගහන්න පුළුවන්. ඌට බොන්න එපා කියල කියන්න පුළුවන්. හැබැයි වස විස කන එකාට ඒව කන්න බොන්න එපා කියන්න අපිට බෑ. මොකද ඒව නැතුව කන්න බොන්න හිටියොත් හාමතේ මැරෙන නිසා.

ඇත්තටම අපි ඔක්කොම මේ කරන්නෙ අමුම අමු රැවටීමක්. අනිකාගෙ රෙද්ද කඩාගෙන අපි අපේ හෙළුව වහගන්න හදනවා. හැබැයි අපි දන්නෙම නෑ අනික් එකාගෙන කඩා ගත්තු රෙද්දෙ පට්ට හිලක් කියලා. ඒ නිසා අපි කොහොම හරි අනික් එකාගෙ රෙද්ද කඩල අරන් අපේ හෙලුව වහගෙන අරූගෙ අංගජාතෙ පෙන්න පෙන්න හිනාවෙනවා. හැබැයි අර පත හිල අස්සෙන් අනික් එකාට අපේ අංගජාතෙ පේනව කියල අපිට මතක් වෙන්නෙ නෑ.

දැන් ඉතින් මේක කියවල අර ටිපර් රිවස් කරගෙන එන්න ඉන්න අය කරුණාකරල ඔයාලගෙ ටිපර් අරන් පිටත්වෙන්න. ඔව් උඹලගෙ තියරියෙන් මම “බේබද්දෙක්“. දැන් ටිපර් අරන් ආපු අයට සතුටුයිනේ.

මේ කියන්නෙ අනික් අයට. ඇත්තටම මේ සමාජය ඇතුළෙ අපි හරි පව්. මිනිහෙක්ගෙ ආතල් එකත් ගන්න වෙලා තියෙන්නෙ අනික් එකාට ඕනෙ විදියට. මොකද අපේ එවුන් ආතල් ගන්න දන්නෙ නෑ. දන්න ආතල් එකත් ආතල් එකක් විදියට ගන්නෙ නැතුව චොර කරගන්න නිසා ආතල් හැමවෙලාවෙම කුඩු වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔය සදාචාරවත් උදවියගෙ පොෂ් සතුටු සාමීචියයි, ආතල් එකට බොන එකාගේ බෝතල් පාටියයි දෙකම එකයි. ඔබ සාදාචාරවත් නෝනල මහත්තුරු එකට එකතු වෙලා සෙට් වෙලා KFC, Pizza Hut, McDonalds ගිහිල්ලා අර දවස් විස්සෙ චිකන් කෑලි, වස කලවම් පොල්තෙලේ දාලා බැදල හදන බනිස් අරන්, සමහර වාහනවල මලකඩ යවන්නයි, කහට බැඳිච්චි වැසිකිලිවල කහට යවන්න ගන්න පුළුවන් තරමේ රසායන දාල හදපු Coca-Cola, Pepsi එහෙම අරන් ගන්න ආතල් එකයි ඇල්කොහොල් වීදුරුවක් අරන් චියර්ස් කියලා වීදුරුවෙන් වීදුරුව ගට්ටල අනික් අය ගන්න ආතල් එකයි දෙකම එකයි. මොකද මුං දෙගොල්ලොම කන්නෙ බොන්නෙ වස. ඔය දෙකෙන්ම හැදෙන්නෙ පිළිකා. ඔය දෙකම බෝ නොවන රෝගවලට අතවනනවා. ඔබ දෙකම අභ්‍යන්තර ශරීරාවයව විනාස කරනවා.

හැබැයි ඔය දෙකෙන්ම ආතල් එකක් තියෙනවා. වෙනසකට තියෙන්නෙ අර වීදුරු එකට හප්පලා චියර්ස් කියල ගන්න ආතල් එකට පොඩි සමාජ විරෝධයක් තියෙනවා. සංස්කෘතික විරෝධයක් තියෙනවා. හැබැයි මේ කියල තියෙන්නෙ උදේ ඉඳන් රෑවෙනකනුයි, ආපහු රෑ ඉඳන් උදේ වෙනකනුයි බීල, බීල, බීල, බීල කනමදය වගේ හතරගාතෙන් දුවන එවුන් ගැන නෙමෙයි. උන් ගන්නෙ ආතල් එකක් නෙමයි. ඒක මහ මුස්පෙන්තුකමක්. වීදුරුවට වීදුරුව හප්පලා, චියර්ස් කියල ආතල් ගන්න එවුන් ගැන.

එහෙනං ඕං… චියර්ස්….

 

  • සජිත් සාරංග සේනාරත්න
    sarangasajitha@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *