මෙරට තාරුණ්‍යයේ අවිනිශ්චිත හෙට දවස – පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

“දින දහයක් ඇතුලත දොළොස්දාහක් ගුවන් බලපත්‍ර අරගෙන” — පුවතක්
එම පුවත වැඩිදුරටත් මෙසේය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් එක් දිනක් තුළ සේවාව යටතේ පමණක් ඉකුත් දින දහය තුළ පුද්ගලයන් 12.158
දෙනෙකු පමණ විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි කියා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය.
—— ලංකාදීප 2021 -10- 20
———————- ● ——————–
මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් යමක් කිව යුතුය. ඒ මෙම කාරණාව මතුපිටින් ඉතා සරලව කාරණාවක් බව යමෙකු සිතුවද මෙමගින් ගම්‍ය වන සමාජ යථාර්තය ඉතා කටුක හා ඉතා භායානක
බව මෙරටෙහි අනාගතය පිළිබඳව යථාර්ථවාදීව සිතන හා පතන ඕනෑම
අයෙකුට හොදින් පසක්වන බැවිනි.
ඕනෑම දෙයක් පිළිබඳව ඕනෑවට වඩා අධි -මනෝභාවයකින් සිතා, කප්පරක් බලාපොරොත්තු තබා කටයුතු කළ විට එය ඉතා ඉක්මනින් එපාවන බව යථාර්ථයකි. වර්තමානයේ මෙරට තරුණ හා වැඩිහිටි යන බහුතරයකට සිදුවී ඇත්තේ මෙය බව පෙනේ.
මා පුනපුනා සමාජයට අවධාරණය කරන කාරණාවක් ඇත්තේ ය. එනම් ඒ අප මේ ගතකරමින් සිටින්නේ මෙරට ඉතිහාසය ඉතා කටුකම දේශපාලන, සමාජීය හා ආර්ථික කාලපරිච්ඡේදය
තුළ යන්න යි. මෙම කොටස් ත්‍රිත්වය අපගේ දෛනික ජීවිතයට ද එසේම අපගේ අනාගතයට ද බලපාන්නේ විවිධාකාරයෙනි. එය කුමන ආකාරයකින් අපගේ ජීවිතවලට බලපෑවත් එහි අවසාන විනාශයකින් හා දැවැන්ත සමාජ කඩාවැටීමකින් කෙළවර වන්නේ ය. ඉහත සදහන් කළ පුවත්පත් වාර්තාවෙන් අප හමුවේ තබන කාරණාවද එහි එක්තරා පිළිඹිබුවක් බව ඉතා පැහැදිලි ය.
ලොව කිනම් රටක හෝ දේශයක තාරුණ්‍යය වූ කලී එහි තිරසාර අනාගත පදනම වන්නේ ය. එම පදනම නිර්මාණය වන්නේ දේශපාලන තීන්දු තීරණ, සමාජීය සාරධර්ම, ආර්ථික ස්ථාවරත්වය හා අධ්‍යාපනය යන ඉතා ප්‍රබල සාධක ඔස්සේ ය. මෙම කාරණාව අපේ රටට ආදේශ කළ විට එහි කිසියම් වූ අපැහැදිලිකමක් හෝ විකෘතිතාවයක් දකින්නට ලැබෙන බව නොරහසකි.
මෙරට 1948 නිදහසෙන් ඉක්බිතිව තට්ටු මාරු ක්‍රමයට හා ජනප්‍රිය දේශපාලන පොරොන්දුව මත යැපුණ දේශපාලන තුළ රටේ අනාගත අභිවෘද්ධිය පිණිස ගත් තිරසාර තීන්දු තීරණ කුමක්ද යන්න වර්තමානයේ අපට අපෙන්ම ප්‍රශ්න කිරීමට සිදුව ඇත.එදා මෙදාතුර අපට හිටියේ ඉතා පුංච්ම පුංචි දේශපාලන නායකයන් බව පෙනේ.ඔවුනට තිබුණේ රටේ අභිවෘද්ධියට එහා ගිය අති ආත්මාර්ථකාමීවූත් අති පෞද්ගලිකවූත් බලාපොරොත්තු මාලාවකි. එනම් ඒ තමුන්ගේ පැලැන්තිය පිළිබඳව වූ අභිමානය හා එහි ඉදිරි-පැවැත්ම සාර්ථක කරගැනීම, තමුන්ගේ
විදෙස් අධ්‍යාපනය පිළිබඳව වූ අධි – මානසිකත්වය, තමුන්ගේ බලය කුමන ආකාරයෙන් හෝ වැඩිකර ගැනීම , තමුන්ගේ ඇවෑමෙන් හිස්වන පුටුවට තමුන්ගේ දරුවකු හා තම පවුලේ වෙනත් අයකු පත්කර ගැනීම හා තමාගේ හා තම පවුලේ පෞද්ගලික සුඛ විහරණය හා අයථා ගණුදෙනු මගින් මුදල් ඉපැයීම් යනාදිය පමණි.
අපට එදා මෙදාතුර මෙරට දිවිගෙවන සියළුම ජාතීන්ගේ ගෞරවය හා ආදරය දිනාගනිමින් රටේ අනාගත අභිවෘද්ධිය පිණිස කටයුතු කළ කිසිදු නායකයකු සිටියේ නැත. එපමණක්ද නොව ඔවුනට තිබුණේ පුංචිම පුංචි වපසරියකි.
අනාගතය පිළිබඳව දැක්මක් තියා ඒ පිළිබඳව අඹමල් රේණුවක තරම්වත් හැඟීමක් කියා දෙයක් ඔවුනට තිබුණේ නැත. කිසියම් හෝ දැක්මක් තිබුණා නම් ,තම පෞද්ගලික අභිමථාර්ථයන් ඒ සියල්ල අකාමකා දැමීය. අඩුම තරමේ අපට පොතක් පතක් ලියපු නායකයකුවත් සිටියේ දැයි කියා සිතා බලනු වටී. ( මා මෙහිලා අවධාරණය කරන්නේ මුදලට හා බලයට අනුන් විසින් ලියන ලද පොත් තමුන්ගේ නමින් ලියා පළ කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න – කර්තෘ.)
1977 ට පෙර මෙරට දේශපාලනය තුළ
තම පැලැන්තියේ ගෞරවය හා තම ආත්ම ගෞරවය පිළිබඳව සිතන පතන නායකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටි බව පෙනේ. එනමුත් 1977 දී මෙරටට විවෘත ආර්ථිකය හදුන්වා දීමත් සමගම රටතුළ ඇතිවූ දේශපාලනමය, සමාජමය හා සංස්කෘතිමය සෝදා පාළුවත් සමගම දේශපාලනය හුදෙක්ම ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය.
ඉක්බිතිව උදාවූ සමය තුළ යුක්තිගරුක දේශපාලඥයකු සොයා ගැනීම සැබවින්ම කළුනික සෙවීමක් වන් ඉතා අසීරු කාර්යයක් විය.
නිදහසින් ඉක්බිතිව ගතවූ කාලපරිච්ඡේදයේ තුළ මෙරට කිසිදු නායකයකු තාරුණ්‍යය පිළිබඳව ඉතා තියුණු දැක්මකින් නොබැළුවේ ය . විශේෂයෙන් ගම්බද තාරුණ්‍ය ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි ඉගෙන ගන්නවාට ඔවුහු මහත් සේ බිය වූහ. ගම්බද තරුණ-තරුණියන් ලෝකය දකිත් ද, එතුලින් ඔවුන් තම පැලැන්තියේ සැබෑ දේශපාලන නිරුවත දකිති යයි ඔවුහු සිතූහ. එසේම එය තම පැලැන්තියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් එක්තරා අභියෝගයක් බවද ඔවුහු දත්හ. මෙරට තාරුණ්‍ය තමුන්ට සෑමදාම බලයට පැමිණීමට පාවඩයක් වෙනවා තරම් දෙයක් ඔවුනට තවත් නොවීය.
මෙරටේ සමස්ත ඡන්දදායකයෝ ද මෙම දේශපාලන රාමුව තුළ කරකැවෙමින් පුරා හැත්තෑතුන් වසරක් ( 1948 – 2021)
පුරා කප්පරක් බලාපොරොත්තු පොඳි බැඳගෙන උදාවන මැතිවරණයෙන් මැතිවරණයට ජනප්‍රිය දේශපාලන පොරොන්දුවලට අන්ධව කාසියේ දෙපැත්ත මෙන් පක්ෂ මාරු කළහ . එහි අවසානයට දැන් ළගාවී ඇත. මෙතැනින් හැරෙනුවේ කොතැනටද ?
මෙහි ඉතාමත් අවසනාවන්ත කාරණාවක් ඇත්තේ ය . එනම් ලොව කිනම් රටක හෝ දේශයක කොයි කාටත් ඉදිරියෙන් අනාගතය දකින්නේ එරට මිනිස්සුන්ට ආධ්‍යාත්මික වශයෙන් නායකත්වයක් හා මඟ පෙන්වීමක් ලබාදෙන පූජක පැලැන්තිය ය.
එනමුත් මෙරට වූයේ එහි අනෙක් පැත්ත ය. මෙරට බහුතරයක් පූජක පැලැන්තිය තම විහාරස්ථානයේ සංවර්ධන වෙනුවෙන්ද ,පෞද්ගලික තාන්න-මාන්න වෙනුවෙන්ද දේශපාලන පක්ෂවල හෝ දේශපාලඥයන්ගේ පෞද්ගලික මඩ සෝදා හැරීම වෙනුවෙන්ද දිවා – රාත්‍රී නමෝ විත්තියෙන් ඇප- කැප වී සිටියි.
දැන් මේ සියල්ල අභිබවමින් වෙනත්
පෞද්ගලික අරමුණු වෙනුවෙන් ද උන්වහන්සේලා කිසිදු බියක් හෝ නොමැතිව තමුන්ගේ ආත්ම ගෞරවය
ද පසෙකලා ඉදිරිපත් වී සිටීම එම කුලකය නියෝජනය කරන ඉතා කුඩා සාමාජිකයකු වශයෙන් මම මහත් සේ ලැජ්ජාවට පත්වෙමි.
(මේ පිළිබඳව තවදුරටත් විස්තර කිරීමට මම කාලය වැය නොකරමි.- කර්තෘ.)
●මෙරට තාරුණ්‍යය හා පවතින
අධ්‍යාපනයේ තත්වය කෙබදුඳ ?
මෙම මාතෘකාව ආදාල වන තාරුණ්‍යය
යනු රටක අනාගතය යි. එබැවින් තාරුණ්‍යට වරප්‍රසාද හා අයිතිවාසිකම් ජාති – ආගම් භේදයකින් තොරව ලබා දීම එරට අනාගතය පැත්තෙන් කළ යුතු අනිවාර්ය ආයෝජනයකි. එසේම එය රටක පාලකයන්ගේ ප්‍රබල වගකීමක් ද වන්නේ ය. කිනම් හෝ ජාතියක අභිමානය රදා පවතින්නේ රටේ තාරුණ්‍යය මතය. නැණ-බල සහිත නිර්මාණශීලී තරුණ පරපුරක් නිර්මාණය කර ගැනීමට සමස්ත රටේම ඉලක්කය විය යුතුය.
එපරිදි ඉතා නැණ-බල සහිත නිර්මාණශීලී තරුණ පරපුරක් බිහිකර ගැනීම වෙනුවෙන් දේශපාලන තීන්දු තීරණවලට අමතරව රටක අධ්‍යාපන
ක්‍රමයට හිමිවනුයේ ඉතා ඉහළ වැදගත්කමකි. එසේම වටිනාකමකි.
මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමය කඳක් ඇති එනමුත් හිසක් නොමැති අධ්‍යාපන ක්‍රමයක් බව පෙනේ. එසේම එය
යුගයේ අවශ්‍යතාවය මත බුද්ධිමත් නිර්මාණශීලී තාරුණ්‍යයක් බිහිකර ගැනීමට කිසිවිටෙකත් දායකත්වයක් නොදක්වන යන්නම් වාලේ යන ලෝකයේ කොහේවත් නොමැති බුද්ධියට නොව කට-පාඩමෙන් ඉදිරියට යා හැකි
හා පන්ති කාමරයට පමණක් සීමා
වූ අධ්‍යාපන ක්‍රමයක් වන්නේ ය. එපමණක්ද නොව එය වත්මන් ලෝකයේ ඉල්ලා සිටින නිර්මාණශීලී තාරුණ්‍යය නිර්මාණය කර ගැනීමෙහිලා සමත්වූ යුගයේ යථාර්තයට අනුව යවත්කාලීන ( A Updated ) නොවූ ( කසිකබල් ) අධ්‍යාපන ක්‍රමයක් ද වන්නේ ය.
මෙරට නිදහස් අධ්‍යාපනය මේවනවිට මුලුමනින්ම කඩාවැටී ඇත්තේ ය.එහි අසාර්ථකත්වය හා කඩාවැටීම මීට පුරා අවුරුදු ගණනාවක හිද දකින්නට ලැබුණද එහි යථාර්ථය කොයි- කාටත් දැනෙන්නට හා හැඟෙන්නට වූයේ කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමග උදාවූ වාතාවරණය හමුවේ බව පෙනේ.
මේවනවිට මෙරට අධ්‍යාපනය අදියර තුනකින් දැඩි විෂමතා සහිතව ක්‍රියාත්මක වන බව පෙනේ. එනම් ඒ ගම්බද පාසැල්, නාගරික හෝ ජනප්‍රිය පාසැල් හා ජාත්‍යන්තර පාසැල් වශයෙනි. මෙයින් වඩාත්ම කැපී පෙනෙන අධ්‍යාපනය ක්‍රියාත්මකවන්නේ ජාත්‍යන්තර පාසැල් තුළ බව පෙනේ. මෙරට වූ දැඩි සමාජ-විෂමතාවය අපට යථාර්ථවාදීව දැනෙන්නට වූයේ කොවිඩ් 19 කාලසීමාව තුළ “දුරස්ථ අධ්‍යාපනය ක්‍රමය” ( A Online Education System ) ක්‍රියාත්මක වීමත් සමගය . එහිලා රජයේ අධ්‍යාපනය මෙම නව්‍ය ක්‍රමය තුළ සාර්ථක වූයේ 43/: පමණ ප්‍රතිශතයකින් බව පෙනේ. එනමුත් ජාත්‍යන්තර පාසැල් අධ්‍යාපනය ඉතාමත් නිවැරදිව ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක වූ බව පෙනේ. මෙයට සමාජ පංති විෂමතාවය බෙහෙවින් බලපෑ බව ද පෙනේ.
●මෙරට තාරුණ්‍යයේ උදාවන හෙට දවස කෙබදුඳ ?
මෙරට දේශපාලනයේ , සමාජීයේ හා ආර්ථිකයේ කඩා වැටීම සේම අධ්‍යාපනයේ කඩාවැටීම තාරුණ්‍යය කෙරෙහි ද ඉතා සෘජුවම බලපාන
බව කාටවත් අමුතුවෙන් කිව යුතු
නැත. තාරුණ්‍යය වූ කලී ජවසම්පන්නය. නිර්මාණශීලීය.. එසේම එය හුදෙක්ම තම තමුන්ගේ රුචි අරුචිකම් මත ක්‍රියාත්මක වන්නකි. තරුණයකුට හෝ තරුණියකට තමුන්ගේ කියා ලෝකයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ය . එය මෙරට තාරුණ්‍යයට පමණක් සීමා වූවක් නොවන අතර එය විශ්වීය කාරණාවක්
ද වන්නේ ය. එහිලා තමුන්ගේ සිහින අනාගතය අවම භෞතික සම්පත් යටතේ වුවද නිර්මාණය කර ගැනීම
තාරුණ්‍යය හමුවේ තිබෙන එක්තරා අභියෝගයකි.
යමෙකුට තම අවසන් බලාපොරොත්තුවද සුනුවිසුණු වී ගිය කල්හි ඉච්ඡාභංගත්වයට පත්ව එය මහා කලකිරීමක් දක්වා පරිවර්තනය වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. වර්තමාන මෙරට සාමාජයට ද මෙහිලා සාකච්ඡාවට බදුන් වන තාරුණ්‍යට ද සිදුවී ඇත්තේ ද එය බව මගේ හැඟීමයි.
2019 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව
ලකුණින් තරග කරන ලද ජනාධිපති අපේක්ෂකයාට තම ජයග්‍රහණය 69.00000 කින් පමණ විජයග්‍රහණයක් කර ගැනීමට මෙරට තාරුණ්‍යය හා එහි නොඉඳුල් ඡන්ද ඉමහත් මහෝපකාරී වූ බව පෙනේ. එහිලා තම අනාගතය පිළිබඳව එතෙක් මහත් අවිනිශ්චිත තත්වයකින් පසුවූ මෙරට තරුණ තරුණියෝ මෙම විජයග්‍රහණය තම පැහැබර අනාගතයේ පෙරමග සළකුණක් සේ සැලකූහ. එපමණක්ද නොව ඒ පිළිබඳව ඔවුහු විවිධ සිහින දකිමින් පෙර නොවූ වීරූ පරිදි සුවිශේෂී ප්‍රපංචකය සේ නිර්මාණාත්මකව ක්‍රියාත්මක වූහ. එහි පිළිඹිබුවකි, එකල්හි තරුණ තරුණිය රටපුරා තාප්ප හා බිත්ති සොයමින් ගොස් චිත්‍ර ඇඳීමේ ව්‍යාපෘතිය. එය හුදෙක්ම දේශපාලන කෝණයෙන් නොව මනෝවිද්‍යාත්මක කෝණයෙන් විමසා බැලිය යුතු බව මගේ පෞද්ගලික මතය යි.
ඉහත කී පරිදි පසුගිය කාලයේ මෙරට බිත්ති හා තාප්ප සොයා ගොස් උමතුවෙන් මෙන් චිත්‍ර ඇන්ඳේ මෙරට නිර්මාණශීලි තාරුණ්‍යය බව ඉතා පැහැදිලි ය. ඔවුහු තමුන්ගේ මනෝභාවයන් එම චිත්‍රවලින් ප්‍රති-නිර්මාණය කළහ. එයින්
තම අනාගත අභිමතයන් හා ප්‍රාර්ථනා පිළිබඳව දෙනෙත් දැල්වූහ. එනමුත් .. එහි අවසානය කුමක්ද ?
“වැඩී බලයක් විනාශයකට මුලය” යන්න කියමනක් තීබේ .
එසේම එය ලෝක දේශපාලනය සන්දර්භය තුළින්ද ගම්‍ය වන යථාර්ථයක් බව පෙනේ. ගෙවී ගිය විසිවැනි සියවසේ ලොව දිවිගෙවූ ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් ( Adolf Hitler 1889 – 1945 ) 1934 දී බලයට පත්වූයේ විශාල ජනතා ආකර්ෂණයක් හා ඡන්ද බලයකින් බව පෙනේ. එපමණක්ද නොව බහුතරයක්
ජර්මානුවෝ හිට්ලර් තම රට ගලවා ගැනීමට දෙවියන් වහන්සේ විසින් එවන ලද “දේවදූතයා” වශයෙන් සලකා
ඔහු එන මඟට මල් විසිකරන්නට පාවා පෙළඹුණහ. රටේ අස්සක් මුල්ලක් නෑරම නාසි ධඡ හා පතාක වලින් වැසුණි. එනමුත් 1945 මාර්තු මාසය වනවිට සියල්ල කණපිට හැරුණි. ජර්මානුවෝ රටේ අස්සක් මුල්ලක් නෑර තම අසහාය ගැලවුම්කාරයා වූ හිට්ලර්ගේ ඡායාරූප පුලුස්සමින් තම දැඩි විරෝධය පෑහ. බිත්ති හා තාප්ප පුරා “Hitler kaput” ( “හිට්ලර් කපෝති” ) කියා ලියූහ.( බලන්න- The Third Reich by Prof, Thomas Childers – 2018 )
අපි තවත් උදාහරණයක් ගනිමු. ඇෆ්ගනිස්ථාන ( Afghanistan ) වූ කලී එදා අසිරිමත් දේශයකි. එහිලා එදා මහා බෞද්ධ ශිෂ්ටාචාරයකට දේශයක් වූයේද මහා කලා සම්ප්‍රදායක් වූ “ගාන්ධාර සම්ප්‍රදාය”ට ( A Tradition of
Gandahar ) නිජබිම වූයේද ගාන්ධාර දේශය යි. කාලයාගේ ඇවෑමෙන් යුගයුග ගණනාවක් පසුකරමින් ද විවිධ දේශපාලන , ආශමික හා සංස්කෘතික වෙනස්කම් වලට භාජයන වෙමින් ද පැමිණ අනූව දශකයේ අගභාගයේ දී පමණ “තලේබාන්” ( Taliban ) ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහණයට ඇතැම් ප්‍රදේශ ද වර්තමානයේ වනවිට මුලුමහත් රට ද නතුවිය. එදා සුවහසක් ඇෆ්ගනිස්ථාන වැසියන් සිතුවේ මොවුන් අප ගලවා ගැනීමට අල්ලාහ් දේවියන් විසින් එවන ලද “සුරදූතයන්”ලෙසිනි . ( බලන්න – Taliban by Ahmed Rashid – 2016 ).
කාලයත් සමග සියල්ල උඩු – යටිකුරු විය. අවම වශයෙන් තමුන්ගේ පණනල ගැටගසා ගැනීමටවත් නිදහස් ඇෆ්ගන් සාමාන්‍ය ජනතාවට නොවීය.එහිලා අන්ත අසරණ වූයේ ස්ත්‍රීන් ය. සියල්ල තලේබාන්වරුන්ගේ රුචි අරුචිකම් අනුව තීරණය විය. අවසානයේදී ඔවුහු මරණය පෙනී පෙනී ධාවන පථයේ ගමන් කරන ගුවන් යානයේ එල්ලී වෙනත් රටකට පැනගන්නට උත්හස කළහ. එවන් වාතාවරණයක් දක්වා රට පරිවර්තනය විය.
මීට අවුරුදු දෙකකට හෝ තුනකට පමණ පෙරාතුව මෙරට අස්සක් මුල්ලක් නෑර බිත්ති හා තාප්ප සොයමින් තම නිර්මාණශීලීත්වය විදහාලන ලද තරුණ ජවය අද නිරුත්තර ය. ඔවුනට වම – දකුණු සොයා ගැනීමට පවා නොහැකි අන්දමේ ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. තම උගත්කමට හෝ වෘත්තීය පුහුණුවට සරිලන රැකියාවක් සැබවින්ම සිහිනයකි. අඩුම තරමින් තමන්ගේ එදිනෙදා පැවැත්මටවත් සරලන ආකාරයෙන් මිල -මුදලක් සොයා ගැනීම පවා සිහිනයකි. තවදුරටත් තම දෙමව්පියන් මත යැපීමට ඔවුනට සිදුව ඇත. මෙය දිගින් දිගටම කළ නොහැක්කි. එසේ වී නම් විකල්පය කුමක්ද ?
තරුණ අසහනය හා එහි පුපුරා යෑම අතිශයින්ම භායානක ය. එයට උදාහරණ අපට ලෝකයේ කොහෙන්වත් ගැනීමට අවශ්‍ය තැන. අපේ රටේ ගෙවීගිය අතීතය විපරම් කිරීමෙන් උණුසුම් රුධිය ගංගාවන් දෙරණ මත දසත ගලාගිය අප්‍රසන්න උදාහරණ කීපයක්ම අපට හමුවේ. එනම් ඒ 1971 හා 1988 – 89 තරුණ සන්නද්ධ කැරැල්ල හා ජාතිවාදය තුළින් මතුව බිහිසුණු ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වුණු LTTE සන්නද්ධ අරගලය මීට කදිම උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. එසේම මෙම සෑම සමාජ ප්‍රපංචයකම අභ්‍යන්තර යථාර්ථය කුමක්ද යන්න විමසා බලනු වටී. එම.අභ්‍යන්තර යථාර්ථය නම් ඉච්ඡාභංගත්වයෙන් නිර්මාණය වූ තරුණ අසහනය යි.
වර්තමානයේ මෙරට තාරුණ්‍යට විකල්පයක් කියා කිසිවක් ඉතිරි වී නොමැති. තමුන්ගේ උගත්කමට හෝ වෘත්තීය සුදුසුකම්වලට සරිලන සේ රැකියාවක් රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ලැබෙයි කියා ඔවුනට කිසිදු බලාපොරොත්තුවක් නොමැත. පවතින රජය තාරුණ්‍යය හෙටක් තියා මහජනතාවගේ දෛනික පරිභෝජන අවශ්‍යතාවයන්වත් අඛණ්ඩ ලබාදීමට නොහැකි තත්වයකට පත්ව ඇත. පෞද්ගලික අංශයේ බොහෝ රැකීරක්ෂා කප්පාදු කර තියෙන මෙවන් කාලපරිච්ඡේදයක් තුළ නව රැකියා උත්පාදනයක් පිළිබඳව සිතිමත් විහිළුකි. එසේ වී නම්, මෙරට මධ්‍යම හා කම්කරු පාන්තික තරුණ තරුණියන්ට ඇති විකල්පය කුමක්ද ?
මෙරට තාරුණ්‍යය ඉතිරිව ඇත්තේ එකම එක විකල්පයක් පමණි. එනම් ඒ හරිගියා හෝ නැතා හෝ කුමන හෝ රටකට යෑම පමණි. එහි පළමු පියවර වන්නේ විදෙස් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමයි.
මෙවන් වූ දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් අරාජික වටපිටාවක් සහිත රටක දිවිගෙවන තරුණයකුට හෝ තරුණියකට ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම වුවද කිසියම් වූ නැවුම් බලාපොරොත්තුවක් ගෙන දෙන්නකි. එසේම එය තරමක හෝ මානසික සහනයක්ද වන්නේමයැ.
මවිසින් ඉහත සදහන් කරන ලද පුවත්පත් වාර්තාවේ සමාජය යථාර්තය වන්නේ ද එයමයැ.
මෙරට ඇත්තෝ කති – බොති
මෙරට නැත්තෝ ලෙව කති.
■ග්‍රන්ථ පරිශීලනය —–
1.An Inquiry lnto Meaning and Truth
by Bertrand Russell — 1980.
2.Human Society in Ethics and Politics
by Bertrand Russell — 1987.
~පූජ්‍ය ඇතිපොළ මංගල හිමි~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *