නිර්මාණකරණයට වඩා, පවතින සමාජ ක්‍රමයට එරෙහි වීමේ දේශපාලනය කිරීමයි වැදගත් – තක්ෂිලා ස්වර්ණමාලී

මොකද්ද මේ බීඩිය?

ඒ බීඩියි මේ බීඩියි දෙකම ප්‍රකාශනයන්. මේකෙ ලක්ෂණ දිහා බලපුවාම මේක නවකතා පොතක් කියල තමයි අනිත් අය කියන්නෙ. මටත් එහෙම පේනවා. යමක් ලිව්වා මිසක් නවකතාවක් ලියනවා කියලා හිතාන ලිව්ව එකක් නෙමෙයි.

 නවකතා අතර වෙනස් ආකෘතීන් නාමකරණයෙන් ගෙන නිර්මාණ කිරීම අපි දැක තිබෙනවා. මෙහි අන්තර්ගතය තුළ ඔබ කියන්නේ කුමක් ද?

අහවල් එක කීම සදහා මම මේක ලියනවා කියල හිතාන ලිව්වෙ නෑ. යම් නිශ්චිත විග්‍රහයක් සහිතව, පවතින සමාජ වටපිටාව සම්බන්ධව මගෙ තුළ පීඩනයක් තියෙනවා. බීඩි කියන්නෙ යම් මොහොතක තිබ්බ පීඩනයක ප්‍රකාශනයක්. ඒ පීඩනය ප්‍රකාශයට පත්කිරීම තුළ  විරෝධයපෑමක් තියෙනව. මාස දෙකක් වගේ කෙටි කාලයකදි මට විවේකය ලැබෙන වෙලාවල මම මේක වේගයෙන් ටයිප් කරගෙන ටයිප් කරගෙන ගියා. ටයිප් කරපුවා මොකුත් ආයෙ එඩිට් කළේ නෑ. ටයිප් කරලා ඉවරවෙලා හැරිලා බැලුවා මම ඒ ටයිප් කළේ මොනවද කියල. ඒවට මට තේරුම් තියෙනවා. කියවන කෙනාට ඒ තේරුම් ඒ විදියටම ලබා දෙන්න පොතකින් බෑ.

මේ පොතේ මුල් කවරේ ඉදන් අග කවරෙ දක්වා අයි එස් බී එන් පිටුවෙ පවා බීඩි කතන්දරේ ඇතුළත්. පොතේ කවරෙ හදල තියෙන්නෙත් කතාවෙ ඉන්න නයනානන්ද විසින්. ඒ කියන්නෙ පොතේ අයි එස් බී එන් පිටුව, කවරෙ සහ පෙරවදන පවා කතන්දරේ කොටසක්. පොතේ කතාව ඇත්ත කියලා ඔප්පු කරන්න ඡායාරූප පවා පොතේ දක්වලා තියෙනවා. අපි ජීවත්වෙන්නෙ ප්‍රබන්ධයක් තුළ මිස සත්‍යය කියා දෙයක් තුළ නොවන බව ප්‍රකාශ කිරීම සහ වමේ ක්‍රියාධරයින්ගේ සියුම් මතවාදී වෙනස්වීම් සටහන් කිරීම මේ තුළ තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනෙ මේකෙ අවසාන සිදුවීම ලියවෙන්නෙ, මිනිස්සුන්ගෙ ජීවිත තීරණය කරන්නෙ විඤ්ඤාණවාදය සහ දේපළ සම්බන්ධතා විසින් බව ප්‍රකාශ කරන්නයි.

කියවන කෙනා මේවට විවිධ තේරුම් දෙන එක වළක්වන්න බෑ. එහෙම වළක්වන්න ඕනෙත් නෑ. මිනිස්සු දෙයක් රසවිදින්නෙ තමන් පයගහන් ඉන්න ඛණ්ඩාංක අනුව. ඒ නිසානෙ මිනිස්සු වෙනස් කිරීමේ හෝ සමාජය වෙනස් කිරීමේ දේශපාලනය කලාවෙන් කරන්න බැරි. අර ඛණ්ඩාංක හොල්ලන එක තමයි වෙන්න ඕනෙ.

ලංකාවෙ සමාජයට ලියන නවකතාවක් කොහොමද චෙන්නායි විශිෂ්ට කෘති 05 අතරට යන්නෙ?

යාපනේ ප්‍රකාශන ආයතනයක් විසින් මේ පොත දමිළ භාෂාවට පරිවර්තනය කරලා මුද්‍රණය කරලා බෙදාහැරියා. එයාලා ලෝකය පුරා විසිරිලා ඉන්න දමිළ භාෂාවෙන් කියවන සියලුම ජනතාව අතර තමන්ගෙ පොත් ප්‍රකාශන ව්‍යාප්ත කරනවා. ඒ ක්‍රියාවලියෙදි බහුතර පාඨක පිරිස නියෝජනය කරන්නෙ දකුණු ඉන්දියාව.

ලෝකයේ වෙනත් රටක කෘතියක් පරිවර්තනය වීමෙන් පසු එය එම සමාජය කියවා ගන්නේ එකීසමාජයේ හරයන් සමග සමපාත වීම මත මේ කෘතිය තුළ එ් සදහා මොනවාද තිබෙන වස්තු බීජයන්

ඒක හරියටම කියන්න පුලුවන් ඉතින් එයාලටම තමයි නේද..

අප මීට පෙර අහල තියෙන්නේ චිත්‍රපට ලෝකයේ වෙනත් රටවල ප්‍රසිද්ධ වී සම්මානයට පාත්‍ර වූවාට පසුව ලංකාවේ ඒවා ප්‍රදර්ශනය වීම ගැන නමුත් නව කතාවකට මේ දේ වෙන්නේ ඉතා කලා තුරකින්?

ඔව් නේද. ඒක දිහා මම බැලුවෙ දැන්. ඒ ප්‍රකාශන මාධ්‍යයන් දෙකේ ස්වරූපයන් අනුව නේද ඒක වෙනස් වෙන්නෙ. කොයික උනත් ඔය ඔක්කොම ඇතුළෙ තියෙන්නෙ අමුතු මොකුත් නෙමෙයි බිස්නස් කතන්දරේම තමයිනෙ. වෙළද යාන්ත්‍රණේට යටයි ඒ ඔක්කොම ක්‍රියාකාරිත්වයන්. ඒ යාන්ත්‍රණේ අස්සෙහරි පීඩනයන්ට මර්ධනයන්ට සහ ඕනෑම යුගයක අධීපති පන්තීන්වල ම්ලේච්ඡත්වයට එරෙහිව නිර්මාණකාරයෙක් කරන ඝෝෂාව වටිනව, සිස්ටම් එකේ ජඩකම වැහෙන විදියෙ සුමිහිරිතාවලින් ජනතාව රසාලිප්ත කරනවට වඩා. හැබැයි ඒ ඝෝෂාවට ජනතාව සාවධානව ඇහුම්කන් දීලා කන් විවර කරගන්නෙ නෑ, ක්‍රමවිරෝධී සමාජ ව්‍යාපාරයන් නැති තත්වයන් තුළ.

ඇහුවට කමක්නැද්ද? ලංකාවෙ කොතරම් පාඨක ප්‍රමාණයක් මෙය කියවා තිබෙනවද? විචාරයන් කීයක් මේ ගැන ලියා තිබෙනවද?

මේ පොත මේ වෙනකොට සිංහලෙන් කියවලා තියෙන්නෙ ඉතාම ටික දෙනයි. මම ලියන දෙයක් අති විශාල පිරිසක් කියවනවා දැකීමෙ අරමුණක්, මේ මොහොතෙ ඉන්න මගෙ තුළ නැහැ. මේ ගැන මම දැකලා තියෙන්නෙ විචාර දෙකයි. මට ඒක හොදටම ප්‍රමාණවත්. මගෙ ෆේස් බුක් එකේ සහ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැමීම මිස මම මේ පොත ප්‍රචාරණයට වෙන මොකුත්ම කරලා නැහැ.

නිර්මාණ ප්‍රචාරය කරගන්න හෝ නිර්මාණකරුවෙක් කියලා නමක් හදාගන්න හෝ වෙහෙසෙන එක මම සම්බන්ධයෙන් මට තේරුමක් නැති වැඩක්. එහෙම වෙහෙසෙන්න ඕනෙ තමන්ගෙ නිර්මාණ අළෙවි කරගැනීමේ අවශ්‍යතාවය පවතිනවා නම් හෝ ඒ නිර්මාණය ජනතාව රසවිදිනවා බැලීමෙන් තෘප්තියක් ලැබීමේ අවශ්‍යතාව පවතිනව නම් (ඒ තෘප්තීන් පවතින්නේ මොකක් මතද කියලා තමන් අවංකව දකින්න ඕනෙ.) හෝ ජනතාවට ඒ තුළින් නිශ්චිත බලපෑමක් කළහැකියි කියලා සිහිනයක් තමන්ට තියෙනව නම් හෝ ප්‍රසිද්ධ චරිතයක් වීමේ ආශාවක් පවතිනවා නම් තමයි. මට දැනෙන විදියට මට ඒ හැටි තදබල විදියට එහෙම ඒවා මොකුත් නෑ.

මම ගෙවන වර්තමාන සමාජ මොහොත සාහිත්‍යයේ තැනක සටහන් කරලා මිය යාම මාව තෘප්තිමත් කරනවා. ඉස්සරනම් ලියන ඒවයින් උත්සාහ කළා අපි ගිලිලා ඉන්න අර්බුදය සම්බන්ධව මිනිස්සුන්ව සංවේදී කරවන්න. ඒත් ඒක සීරියස් විදියට කරන එක සංවිධිත සමාජ ව්‍යාපාරයන් එක්ක බද්ධ විය යුතු දීර්ඝකාලීන වැඩක් මිසක් කලා කෘතියක වැඩක් නෙමෙයි.

මම තේරුම්අරන් ඉන්න විදියට නිර්මාණකරණයට වඩා, පවතින සමාජ ක්‍රමය අවබෝධ කරගනිමින් ඊට එරෙහි වීමේ දේශපාලනය කිරීමයි වැදගත්. ඒක කලා නිර්මාණවලින් කරන්න බැහැ. මොකද කලා නිර්මාණයක් කියන්නේ නිර්මාණකරු බලාපොරොත්තු වෙන නිශ්චිත අර්ථය තුළ රාමුකරන්න බැරි, ඕනෙම අර්ථයකින් ඕනෙම කෙනෙක්ට පුරවන්න පුලුවන් දෙයක්. බිතෝවන්ගෙ නමවෙනි සිම්පනිය උදාහරණයට අරන් ජිජැක් ඕක හරි ලස්සනට පැහැදිලි කරල තියෙනවා.

සිංහලෙන් කියවන ජනගහනයට වඩා ලෝකය පුරා දෙමළ භාෂාවෙන් කියවන ජනගහනය ඉතා විශාලයි. මගෙ කවි සහ කෙටිකතා අවුරුදු 10 කට එහා කාලෙක විතර ඉදන් රිෂාන් දෙමළ භාෂාවට පර්වර්තනය කරන්නෙ. ඒවා විසිරුණු දෙමළ සමාජය පුරා ව්‍යාප්ත කරලා තියෙනවා. මම ලියන දේවල් මිනිස්සු කියවනවා බලලා ප්‍රීත්මත් වෙන්න මට අවශ්‍ය වුණොත්, මගෙ දෙමළ පරිවර්තන කියවන විශාල පිරිස දිහා බලලා මට ප්‍රීති වෙන්න පුලුවන්.

බීඩි නවකතාව දමිළ ජනතාව අතරේ කියවීමට හා ඒ සදහා යාපනයේ ප්‍රකාශන ආයතනයක් මුල් වීමට බලපාන හේතුව කෘතිය සමග කියවූවොත්?

ඇත්තටම ඒකට හේතුව මම දන්නෙ නෑ. ඒක මම එයාලගෙන් ඇහුවෙ නෑ. ඒක දැනගන්නවත් ඒ ගැන හිතන්නවත් මට ඕනෙ උනේ නෑ. ඒත් එයාලා මේ පොත පරිවර්තනය කරලා මුද්‍රණය කරනවා කියලා මට කිව්වාම මම එයාලට කිව්වා මේ පොතේ තියෙන අති බහුතරයක් අවස්ථා සිංහල සමාජය විතරක් දන්න සිදුවීම් නිසා ලංකාවෙ උතුරේ, ඉන්දියාවේ සහ ලෝකයේ විවිධ රටවල ව්‍යාප්ත වෙලා ඉන්න දෙමළ භාෂාවෙන් කියවන ජනතාවට ඒ සිදුවීම්වල රසය විදගන්න අමාරුවේවි කියන එක. ඒත් ඒක නොතකා එයාලා මේ පොත දෙමළෙන් කළා, එයාලා බීඩි කියවලා වින්ද යම් අමන්දානන්දයක් මත. ඒ අමන්දානන්දය අළෙවි කරන්න පුලුවන් කියන අවබෝධය එයාලට තියෙන්න ඇති.

උදාහරණයක් විදියට මාකදුරේ මධූෂ් මරපු විදිය, සබීතා පෙරේරාගෙ සහ රුක්මනීදේවිගෙ පෙනුම, ආනවිලුන්දාව ඩෝසර් කිරීම, සිදුහත් ගවුතම සහ එයාගෙ ශ්‍රාවකයෝ සම්බන්ධ  සිද්දි වාගේ දේවල් සමීප වෙලා තියෙන්නෙ සිංහල සමාජෙටනෙ. ඒත් දෙමළ පරිවර්තනය කියවපු ඉන්දියානු පාඨකයන්ගෙන් ලැබුණු ඊමේල්වල තිබුණු දේවල්වල හැටියට එයාල ඒවයෙ වෙනම රසයක් විදලා තිබුණා. මට හිතෙන්නෙ දෙමළ පාඨකයො වෙහෙසට පත්නොවෙන විදියට රිෂාන් මේක පරිස්සමට කල්පනාවෙන් ලතාවකට පරිවර්තනය කරලා ඇති. වික්ටර් රත්නායකලා, අජිත් තිලකසේනලා ලංකාවට විශේෂ උනාට බිතෝවන්, සෙලාසි, පීටර් ටොෂ් වගේ අය ලෝකෙටම පොදු වීමෙන් විශේෂිත තැන්වල අමුත්ත සමනය වෙනව ඇති.

ඒ බීඩිත් ඉන්දියාවටයි ලංකාවටයි දෙකටම පොදුයිනේ. බීඩි ලංකාවට ආවෙත් ඉන්දියාවෙන්, ඉන්දියානු වතු කම්කරුවොත් එක්ක. කොරෝනා ලොක්ඩවුන් කාලෙ ලංකාවෙ සිගරට් බීපු සමහරු බීඩියට බැස්සා. බැස්සා කියනව මිසක් බීඩියට මාරුඋනා කියන්නෙ හරිම අඩුවෙන්නෙ. අමුතුවෙන් බහින්න දෙයක් නෑ කොහොමත් අපි හැමෝම බීඩියට බැහැලම තමයි හිටියෙ. ඒත් අපි ඒක දකින්න ආස නෑ. විවිධ භාෂාවලින් කියවන අපි හැමෝම ඉන්නෙ එකම සිස්ටම් එකක නිසා දෙමළෙන් කියවන අයට ආගන්තුක බව සමගම හුරුපුරුද්දකුත් මේකෙ දැනෙනවත් ඇති.

සිංහල සාහිත්‍ය සංස්කෘතියට වඩා දෙමළ සාහිත්‍ය සංස්කෘතිය මට පහසුයි. සිංහලෙන් පොතක් කරද්දි ප්‍රකාශන ආයතනයක් සොයාගැනීම, විචාර ලිවීම, ප්‍රචාරය, පොත පාඨකයන් අතරට යැවීම, ඇගයීමට පාත්‍රවීම කියන බොහෝ ක්‍රියාවලීන් සදහා බොහෝවිට දැඩිව බලපාන්නෙ යාලුමිත්‍රකම්, ඇදුනුම්කම් සහ ගොඩනගාගත්ත ප්‍රතිරූප. සමහර තැන්වලදි ඒවා සිද්දවෙන විදි ඉතාම ජුගුප්සාජනකයි. මම ඇදුනුම්කම් සහ ප්‍රතිරූප ගොඩනගාගන්න වෙහෙසිලා උත්සාහ නොකරන කෙනෙක්. ඇදුනුම්කම් ගොඩනැගුනත් ඒවා මගේ පුද්ගලික වාසි වෙනුවෙන් දිගින්දිගට නඩත්තු කරන්න මං වෙහෙසෙන්නෙත් නෑ. මම ලියන දේවල් පරිවර්තනය කරන සහෝදරයව මම අද වෙනකල් හැබැහින් දැකල නෑ. පින්තූරයක් මිසක් එයාගෙ වීඩියෝ එකක්වත් දැකලා නෑ. එයාට අදාළ වෙන්නෙ මම ලියන්නෙ මොනවද කියන එක විතරයි. මම ලියන දේවල් දෙමළට පරිවර්තනය කරලා මුද්‍රණය කරලා බෙදාහරින දමිළ ප්‍රකාශන ආයතනත් එක්කත් මගෙ පුද්ගලික ඇදුනුම්කමක් නෑ. එයාල බලන්නෙ මං දිහා නෙමෙයි මං ලියපු දේ දිහා. ඒ දෙක සම්බන්ධයි කියල මේක කියවන කෙනෙක්ට හිතුනා නම්, නෑ ඒ සමබන්ධය තුළ සංකීර්ණ වෙන්වීමක් තියෙනවා.

ජාතිකවාදී අත පෙවීම් තුළ බොහෝ විට අප දැක්කේ සමගිය වෙනුවට තවත් වෙන් කිරීමේ ඉරි ඇදීමක් .. විශේෂයෙන් නිර්මාණ තුළපවා .. මෙම කෘතිය තුළ ඔබ ඉන් ඔබ්බට ගොස් තිබේද

බීඩි දමිළ භාෂාවට පරිවර්තනය කිරීම නිසා සහ ඒ පොත දකුණු ඉන්දියාවේ හොදම පොත් පහ අතරට නම්කරලා තිබ්බ නිසා, මේක නොකියවපු කෙනෙක් හිතාවි මේ පොත ඇතුළෙ ලංකාවෙ ජනවාර්ගික අර්බුදය සම්බන්ධ යමක් ඇති කියලා. ලංකාවෙ දමිළ ජනතාවට සුවිශේෂී වුණු පීඩනයට එරෙහිව ක්‍රියාත්මක වුණු අරගලකාරී දමිළ ජනතාවට මම පුද්ගලිකව පාක්ෂිකයි. ඒත් ඒක මගෙ පරිවර්තකවත් පොත් ප්‍රකාශකවත් දන්නෙ නෑ මම හිතන්නෙ. මගෙ නිර්මාණවලටත් ඒ දමිළ අරගලකරුවන්ට පක්ෂ මතය තදින් පාදක වෙලා නෑ. දමිළ ජනතාවට විශේෂවුණු පීඩනය සම්බන්ධව නිර්මාණ පැවතිය යුත්තෙ දමිළ සාහිත්‍යය තුළ සහ සිංහල පරිවර්තන සාහිත්‍යය තුළ. ඒ සම්බන්ධව මගෙ තුළ තියෙන්නෙ ලියාගන්න බැරි විපිළිසර බවක්. ඇත්තටම බීඩි පොත ඇතුළෙත් ලංකාවෙ වාර්ගික අර්බුදය සම්බන්ධව කිසිම දෙයක් නෑ. අඩුගානෙ කනත්ත පාමුළ කදුරු ගහ උඩට විජේවීර, ජිජැක්, සිදුහත් පවා එද්දි ප්‍රභාකරන් එන්නෙ නෑ. එයා ඉන්නෙ කදුරු ගහ උඩට නොපැමිණීම තුළ. මේ පොතේ යම් තැනක ලංකාවේ වාර්ගික අර්බුදය ගැන කතාවක් තියෙනව නම් ඒ කතාව තියෙන්නෙ, ‘මේක තුළ ඒක නැහැ’ කියන නොමැති වීම තුළ විතරයි.

බීඩි නව කතාවේ පර්වර්තනයන් වෙනත් භාෂාවන්ට ගෙන තිබේද ? කොතරම් දුරට ඔබ මෙය මෙහි අන්තර් ගත සමග ව්‍යාප්ත කරන්නේද ?

බීඩි පලවුණේ සිංහලෙන් සහ දෙමළෙන් විතරයි. දෙමළ පරිවර්තනයත් මම ඉල්ලලා කරගත්තු දෙයක් නෙමෙයි. ඒක ඒ ප්‍රකාශන ආයතනය විසින් ගත්තු තීරණයක්. තව භාෂාවන්ට මේක පරිවර්තනය කරවන්න ඕනෙ කියලා හිතලා මම උත්සාහයන් දරන්නෙ නෑ. ඒක කෙනෙක්ට අවශ්‍යයි කියල හිතුණොත් කරාවි. අර කොමියුනිස්ට් ප්‍රකාශනය, ප්‍රාග්ධනය වාගෙ එව්ව නම් එහෙම ගොඩක් භාෂාවන්ට පරිවර්තනය කරලා තිබ්බට කමක් නෑ. ලාභ ඉපයීම අරමුණු කරගත්ත ක්‍රියාවලිය ඇතුළෙ ලෝකය විනාසෙට යන හැටි ගැන අවබෝධය ලබාදිදී සාකච්ඡා සංවිධානය කරලා ඒවයෙ අන්තර්ගතය ව්‍යාප්ත කරන්න වෙහෙසුනාට කමක් නෑ. ඇත්තටම ප්‍රබන්ධ සාහිත්‍යයට වඩා ව්‍යාප්ත කරන්න වෙහෙසියයුතු වෙනත් කෘති තියෙනව. බරපතල ඛේදවාචකයක් සම්බන්ධව පාඨකයා තදබල ලෙස සංවේදී කරවන්න පුලුවන් ප්‍රබන්ධ වෙනුවෙන්නම් වෙහෙසුණාට කමක් නෑ.

අවසන් වශයෙන්ඔබ මෙහි රචකාවිය ලෙස ඔබ ගැනත් සදහන් කරන්න .. කෙසේද මේ නිර්මාණ පාර්ශවයට අත පොත් තැබීම සිදුවන්නේ ..

සමාජ විපර්යාසයේ ඓතිහාසික ක්‍රියාවලිය ඇතුළෙ මාත් තවත් තිතක්. මම ලියන අකුරු නිර්මාණය කළේ මං නෙමෙයි. මම ලියන වචනවල තේරුම් හැදුවෙ මම නෙමෙයි. එෆ් එම් අභයයි ඉන්ඩිසයිනුයි හැදුවෙ මම නෙමෙයි. මම නිර්මාණ කරන්න පටන්ගත්තෙ මට ඕනෙ නිසා නෙමෙයි. මගෙ තුළ තියෙන සමාජය එක්ක බද්ධ වෙච්ච පැල්ම පුරවගන්න මොකක්හෝ ප්‍රකාශනයක් අවශ්‍යවුණු තත්වයක මම උන්නු නිසයි මම නිර්මාණ කරන්න පෙළඹෙන්නෙ. පීඩනය ප්‍රකාශයට පත් කිරීම සහ විරෝධයපෑම වෙනුවෙන් මම ලියන්නෙ. යමෙක් කරන නිර්මාණයක් කියන්නෙ සමාජයීය නිශ්පාදනයක්. දැනෙන දේ ලිවීම සහ ලිව්ව දේ දැනෙන එකයි වැදගත්. ලිව්ව දේ දැනෙන්න බලපාන්නෙ ලිව්ව දේ විතරක් නෙමෙයි, පාඨකයා ඉන්න තැන එතෙන්දි ප්‍රබලයි.

හැමෝම ලියන එව්වා ඇතුළෙ ඒක ලියන කෙනා අනිවාර්ය වශයෙන් සෑමවිටම ඒ තුළ නැහැ. ඒත් තමන්ගෙ නිර්මාණ තුළින් නිර්මාණකාරයෙක් කරන ප්‍රකාශන අව්‍යාජනම් ඒ ප්‍රකාශනය තුළ නිර්මාණකාරයා ඉන්නවා. මම බොරුවට හිත හිත ආලවට්ටං දදා තතන තතන මොනවත් ලියන්නෙ නෑ. නිරායාසයෙන් ලියවෙන්න අරිනවා විතරයි. ඒ නිසා මම ලියන එව්වා ඇතුළේ මට මාව පේනවා. මම ලියන දෙයක් කියවන අයට ඒක ලියපු මොහොතේ ඉදපු මාව මුණගැහෙයි. ඒත් ඒ මේ දැන් ඉන්න මම නෙමෙයි.

සාකච්ඡා සටහන – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *