ප්‍රජාතාන්ත්‍රික විප්ලවය සහ ජැකොබින්/සමුරායි භූමිකාව – සුමිත් චාමින්ද

ශ්‍රී ලංකාවේ ජන අරගල දේශපාලනය පෙරට පැමිණ ඇත. මැතිවරණ දේශපාලනය දැන් ජන අරගලය පසුපස ගාටයි. 2029 වනතුරු සෙලවීමට බැරි යැයි බොහෝ පඬිවරුන් සිතූ රාජපක්ෂ පාලනය බිඳ වැටීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. 2024 සහ 2029 මැතිවරණවලදී බලයට පත්වන්නේ ගෝඨාද, බැසිල්ද, සජිත්ද, විමල්ද, චම්පිකද, නාමල්ද යන අතිසරල ප්‍රශ්නයේ ගිලෙමින් පැවති සමාජ මාධ්‍ය අවකාශය වඩා ගැඹුරු දේශපාලන සංවාද මාතෘකා වෙත හැරෙමින් තිබේ. කලින් පැවති මැතිවරණ කාල සටහන තවදුරටත් වලංගු නැත. මන්ද යත්, අප දැන් සිටින්නේ නව දේශපාලන කාල-අවකාශයක් තුළ බැවිනි. ලෙනින් පැවසූ “දශක සිදුවන සති” ආරම්භ වී තිබේ.

මෙය ජනතාවගේ අරගලයකි. ලාංකීය නිදහසින් පසු දේශපාලනය තුළ ජනතාව යන්න පුළුල්ම අරුතින් අර්ථ ගැන්වෙන්නේ දැන්ය. මෙතෙක් කලක් ජනතාව අර්ථ දැක්වුණේ දේශපාලකයින් අතිනි. එය දේශපාලකයින් ජන්ද ප්‍රචාරක කටයුතුවලදී පාවිච්චි කරන ජනප්‍රිය යෙදුමක්ව පැවතිණ. ඒ අනුව, මෙතෙක් කලක් පැවතියේ පක්ෂවලට අයත් ජනතාවකි. 1994 දේශපාලන පෙරළිය පසුපස සිටි ජනතාව පවා පක්ෂ දේශපාලනය විසින් සංවිධානය කරන ලද ජනතාවක් විය. පක්ෂ සීමා ඉක්මවා යන අරුතක් ඇතැම් අවස්ථාවල ජනතාව යන්නට ලැබුණි නම්, ඒ ජාතිකවාදයේ ප්‍රතිපලයක් ලෙසිනි. 1987 ජූලි මස අගදී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව පාරට බසින ලද ජනතාව ඒ සඳහා හොඳම නිදසුනයි. නමුත්, ශ්‍රී ලංකාවේ ජාතිය අර්ථකථනය වන්නේ ජනවර්ගයට අනුව බැවින් ඒ ජනතාවද අවසන් අරුතින් සිංහල හෝ දෙමළ ජනතාවක් විය. මෙවර ප්‍රථමවරට පක්ෂ දේශපාලනයේ මෙන්ම ජනවාර්ගික දේශපාලනයේද සීමා ඉක්මවා යමින් ජනතාව දේශපාලන විෂයක් ලෙසින් දේශපාලනයේ භූමියට කඩා වදිමින් තිබේ. මීට ආසන්න සංසිද්ධියක් මින් පෙර සිදුවූයේ නම් ඒ 1953 අගෝස්තු හර්තාලයේදීය. එහිදීද ඉතාම ඉක්මණින් වමේ පක්ෂවලට දේශපාලන කතෘත්වය ගත හැකි විය. නමුත්, මෙවර ජනතා නැගී සිටීමේ කතෘකයා තමන් යැයි කියා පාන්නට කිසිදු තනි පක්ෂයකට (හෝ පක්ෂ එකතුවකට) නොහැක.
සැබවින්ම ආරම්භයේදී අපේක්ෂා කළ හැකි පරිදිම බොහෝ පක්ෂ නායකයින් ජනතා නැගී සිටීමේ දේශපාලන ගම්‍යතා ගැන බියට පත් වූහ. “අසංවිධානාත්මක සහ වගකීම්විරහිත විරෝධතා” ගැන අනතුරු ඇඟවූහ. ඔවුන් වඩා ප්‍රිය කරන්නේ තම පක්ෂ න්‍යායපත්‍ර අනුව වැඩ කරන ජනතාවකට බව සැඟවිය නොහැකි විය. නමුත්, විරෝධයේ යෙදෙන ජනයා වනාහි තමන්ටම විනය රීතීන් පනවාගෙන ස්වයං-වගකීමක් ඇතිව වැඩ කරන්නන් බව අඩු තරමින් මේ දක්වා වූ සිද්ධීන්ගෙන් සනාථ වී තිබේ. ජනතාව විශ්වාස කළ යුතුය යන මාවෝ සේතුංගේ උද්දෘතයේ වලංගුතාව සනාථ විය. කෙසේ වුවත්, ඉතාම ඉක්මණින් පක්ෂවලට තමන් සමාරම්භකත්වය නොගත් ජනතා විරෝධතා පසුපස ගමන් කරන්නට සිදු විය. ජනතාව, පක්ෂ න්‍යායපත්‍ර අනුව හැසිරෙන ජනතාවක් බවට පරිවර්තනය කරන්නට මෙතැන් පටන් පක්ෂ නායකත්වයන් උත්සාහ දරනු ඇත.
සැබෑ අරගලය ආරම්භ වන්නේ දැන්ය. මෙතෙක් මෙරට ඉතිහාසයේ නොදක්නා ලද ජන ගංගාවකින් වීදි උතුරන්නට පටන් ගන්නේ අද දිනයේදී වීමට බොහෝදුරට ඉඩ තිබේ. මේ ජන ගංගාව හැරවෙන්නේ කවර දිශානතියකටද? එය කොතරම් ඈතකට ගලා යනු ඇත්ද? එය විසින් පෙරළා දමනු ඇත්තේ අප සමාජයේ කවර නම් පවුරු ප්‍රාකාරද? එක් රාජපක්ෂවරයෙකුගේ හෝ සියලු රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍ය පෙරළා දැමීමේ සීමිත ඉලක්කය ජය ගැනීමෙන් එය නතර වනු ඇත්ද? නොඑසේනම්, අපගේ දේශපාලන ක්‍රමයේ ගුණාත්මක පරිවර්තනයක් ඇති කරන්නට එය සමත් වනු ඇත්ද? අනුග්‍රාහක දේශපාලනයේ ආකෘතීන් පුපුරවා හරින්නට තරම් එය ප්‍රබල හා ප්‍රචණ්ඩ වනු ඇත්ද? ආණ්ඩුක්‍රමික වෙනස්කම් සඳහා වූ යෝජනාවලට සීමා වූ ප්‍රජාතාන්ත්‍රික කතිකාව වඩා පුළුල් හා ගැඹුරු කරන්නට එය දායක වනු ඇත්ද?
මේ සියල්ල තීරණය වනු ඇත්තේ දේශපාලන අරගලයෙනි. ජනතා නැගී සිටීම් සිදුවන්නේ කලින්ම නියම වූ කිසියම් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීම සඳහා නොවේ. පෙරෙස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් ප්‍රතිසංස්කරණ ඔස්සේ “සැබවින්ම පැවති සමාජවාදයේ” වේල්ල විවෘත කරමින් අවසාන සෝවියට් නායකයා වූ මිහයීල් ගෝර්බචෝව් පැවසූ පරිදි, “ඉතිහාසය විවෘතය.”දේශපාලන වියහැකියාවන්ගේ ක්ෂේත්‍රය දැන් විවෘතය. මේ මොහොතේ වියහැකියාවන් රැසක් පවතී. ඒ අතුරින් කවර වියහැකියාවක් (possibility), සැබෑ හැකියාවක් (actuality) බවට පත් වන්නේද යන්න නිශ්චය කෙරෙනු ඇත්තේ දේශපාලන ක්‍රියාවෙනි. එක් වියහැකියාවක් සැබෑ හැකියාවක් බවට පරිවර්තනය කිරීමේදී තවත් වියහැකියාවක් යටපත් කර දමන්නට සිදුවනු ඇත. අප සැබෑවක් බවට පත් කරන්නේ කවර වියහැකියාවද යන්න, මේ අනුව, දේශපාලනික උපායමාර්ගික තෝරා ගැනීමකි. උපායමාර්ගවලින් තොර දේශපාලනයක් පැවතිය නොහැකි බව දේශපාලනිකයේ (the political) මෙවන් නිමේෂයක ඉතා හොඳින් පැහැදිලි විය යුතුය.
මේ මොහොතේ පුළුල් අරුතින් ප්‍රගතිශීලීන් විසින් තෝරාගත යුතු උපායමාර්ගය විය යුත්තේ කුමක්ද? වත්මන් දේශපාලන ක්‍රියාවලිය තියුණු ලෙස විශ්ලේෂණය කරමින් සිටින අප රටේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන විද්‍යාඥයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෑත දිනෙක ලාංකීය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ ආරම්භයක් ගැන ඉඟි කොට තිබිණ. ඔහු අදහස් කරන්නට ඇත්තේ දැනටමත් ප්‍රජාතාන්ත්‍රික විප්ලවය ආරම්භ වී තිබෙන බව නොව වත්මන් ජන අරගලය එවැන්නක් දෙසට දිශානත කළ යුතු බව විය හැකිය. වත්මන් ජන අරගලයේ ප්‍රජාතාන්ත්‍රික විභවය ගැන කිසිදු සැකයක් නොමැත. නමුත්, අභියෝගය වන්නේ එම ප්‍රජාතාන්ත්‍රික විභවතා සැබෑ කරන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයකි. අද දිනයේ ජන අරගලයේ මූලික ඉල්ලීම් ආර්ථික සහ සමාජ යුක්තිය පදනම් කරගත් වූ ඒවා බැවින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සීමා වූ පටු ආයතනික සහ ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයක් ඉක්මවා යාමේ අවශ්‍යතාවක් සහ හැකියාවක් සැබවින්ම පවතී. ලාංකීය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ මූලික කර්තව්‍යයක් විය යුතු ජනවාර්ගික සහ ආගමික සුළුතරයට යුක්තිය ඉටු කිරීම පිළිබඳ තේමාවද දැන් පෙරට ගත හැකිය.
නමුත්, ප්‍රශ්නය වන්නේ ජන අරගලය එවන් ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් කරා රැගෙන යාමේ කතෘකයා වන්නේ කව්රුන්ද යන්නයි. මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගෙන වැඩ කරන දේශපාලන පක්ෂ ඒ සඳහා අසමත් වනු ඇතිය යන්න මගේ අදහසයි. මන්දයත්, මෙතෙක් අප දැක තිබෙන පරිදි බහුතර ජන්දය පිළිබඳ සාධකය පෙරට ආ වහාම තම ප්‍රතිපත්තිමය ස්ථාවරයන් සම්මුතිගත කිරීමට එවන් පක්ෂ පෙළඹෙන බැවිනි. තම න්‍යායපත්‍රවලට ඔබ්බෙන් සංවිධානය වන ජනතා ක්‍රියාකාරීත්වයන් ඉදිරියේ පාර්ලිමේන්තුවාදී පක්ෂ නායකත්වයන් බියට පත් වන බවද එතරම්ම පැහැදිලිය. ඒ අතරම මෙරට පාර්ලිමේන්තුවාදී පක්ෂ වත්මනෙහි ලාංකීය ආර්ථික අර්බුදයට සහ ඒ හා බැඳුණු රාජ්‍යයේ අර්බුදයට ගෙනෙන ධනේශ්වර විසඳුමක් ලෙසින් කිසියම් මාර්ග සිතියමක් සකස් කරමින් සිටින කලාපීය සහ ගෝලීය බලවතුන් සමග ඉක්මණින්ම සම්මුතිගත වීමේ ඉඩකඩක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් සඳහා වන ජනතා අරගලයේ මාර්ග සිතියම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කතෘත්වයෙන් (බොහෝවිට චීන පාලනාධිකාරයද කොටස්කරුවෙකු කරගෙන) සකස් කෙරෙන මාර්ග සිතියමකට යට විය යුතු නැත.
එසේනම්, ලාංකීය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ කර්තව්‍යයන් සපුරාලනු වස් ප්‍රධාන ධාරාවේ පක්ෂවලින් ස්වායත්තව පවතින රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික කතෘකයෙකු වුවමනා බව පැහැදිලිය. ග්‍රාම්ස්චියානු අරුතින් අපට දැන් ලාංකීය ජැකොබින් ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබේ. ප්‍රංශ විප්ලවයේදී ජැකොබින් ව්‍යාපාරය විසින් ඉටු කරන ලද කාර්යභාරය ඇගයීමේදී ග්‍රාම්ස්චි සැලකිල්ලට ගන්නේ ජැකොබින්වරුන්ගේ ප්‍රචණ්ඩ භාවිතයන් නොවේ. වත්මනෙහි අපට කිසිසේත්ම ජැකොබින් ව්‍යාපාරයේ ප්‍රචණ්ඩ භාවිතයන්ගේ ආදර්ශය යෝජනා කළ නොහැකිය. ඒ වෙනුවට ජැකොබින්වරුන්ගේ ග්‍රාම්ස්චි අවධාරණය කරන වැදගත් ආදර්ශයන් දෙකක් පවතී. පළමුවැන්න නම් විප්ලවයේ ප්‍රාරම්භක අරමුණු කිසිසේත් සම්මුතිගත නොකිරීමයි. ග්‍රාම්ස්චි පවසන ලෙස ප්‍රංශ ධනේශ්වරය ඉතාම උකටලීව පැකිළෙන විට සහ රාජාණ්ඩුව සමග සම්මුතීන්ට එළඹෙන්නට ප්‍රයත්න දරන විට ඔවුනගේ පස්සා පැත්තට පා පහර දෙමින් ඔවුන් විප්ලවය කරා දක්කාගෙන ගියේ ජැකොබින්වරුන්ය. දෙවනුව, විප්ලවයේ පණිවිඩය ගම්බද ප්‍රංශය කරා රැගෙන ගොස් ගොවි ජනයා සංවිධානය කොට ඔවුන් නූතන ප්‍රංශ ජාතිය ගොඩ නැංවීමේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කරගනු ලැබුවේ ජැකොබින්වරුන් විසිනි. ජපානයේ මෙයිජි ප්‍රතිසංස්කරණ පිටුපස සිටි තරුණ සමුරායිවරුන්ගේ ඓතිහාසික භූමිකාවද බොහෝ අංගවලින් මේ හා සමානය.
ලාංකීය ජැකොබින් ව්‍යාපාරයක කාර්යභාරය ඉටු කළ හැක්කේ දැනට නාගරික මධ්‍යම පන්තික කොටස්වල වැඩි සහභාගීත්වයකින් යුත් ප්‍රජාතාන්ත්‍රික ජන අරගලය ග්‍රාමීය ගොවි ජනයා, නාගරික කම්කරුවන්, ධීවර ප්‍රජාව, විරැකියා තරුණ ප්‍රජාව, ශිෂ්‍යයින් සහ සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් කරා ව්‍යාප්ත කොට ඒ සියල්ලන් ආර්ථික සහ සමාජ යුක්තිය සඳහා වූ විස්තීර්ණ මාර්ග සිතියමක් වටා සංවිධානය කළ හැකි ව්‍යාපාරයකටය. තවමත් වාමාංශික නැඹුරුවකින් යුත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට, කම්කරු-ගොවි-ධීවර සංවිධාන ඇතුළු ප්‍රජා නායකත්වයන්ට සහ රැඩිකල් වාමාංශයට මේ සඳහා කළ හැකි දායකත්වය ඉමහත්ය. 2015 ජනවාරියේදී  සාමාන්‍ය ආණ්ඩු පෙරළියක් විප්ලවයක් ලෙසින් න්‍යායිකව වැරදි ලෙස නම් කිරීමෙන් විහිළුවක් බවට පත් වූ විප්ලවය යන යෙදුමට සැබෑ අරුතක් එක් කළ හැක්කේ එලෙසිනි.
– සුමිත් චාමින්ද       

Leave a Reply

Your email address will not be published. Required fields are marked *