ගෝඨාගෝගම අරගලය තුළින් නව සමාජ සම්මුතියක් කරා – සුමිත් චාමින්ද

පසුගියදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල බිමට අන්තරය ඇතුළු විය. මග දෙපස රැස්ව හුන් ජනතාව ජව සම්පන්න තරුණ සටන්කරුවන් පිළිගත්තේ අත්පොළොසන් දෙමිනි; ප්‍රීති ඝෝෂා පවත්වමිනි. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මේ මොහොතේ මෙරට ප්‍රති-හෙජමොනික දේශපාලනයේ හදවත කරා සම්ප්‍රාප්ත වූයේ අරලිය ගහ මන්දිරයේ තාප්පය විරෝධතා පුවරුවක් බවට හැරවීමෙන් අනතුරුවය. වෙහෙසට පත්ව සිටි දහස් ගණනක් සිසු සිසුවියන් හට පැය කිහිපයක් ඇතුළත ආහාර පිළියෙළ කර දීමේ මෙහෙයුමක් ගෝඨාගෝගමේ ජනපදිකයින් විසින් ආරම්භ කෙරිණ. “ආදරේ අරන් අන්තරය කොළඹට” යන උදෘතය ලැව් ගින්නක් සේ පැතිර යන්නට විය. මෙතෙක් කලක් අන්තරය වහකදුරු වී සිටි ඇතැමුන් පවා දැන් තමන් ඔවුන් ගැන වෙනස් ආකාරයකට සිතන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පෝස්ටු පළ කළේ උගත් තරුණ බලවේගය සංවේදී බසින් ආමන්ත්‍රණය කරමිනි. ඒ, දේවල් වෙනස් වෙමින් පවතින බවට වූ සංඥා දහස් ගණනකින් එකක් පමණි.

නව දේශපාලනයක්

ඇතැම්විට ඓතිහාසික වෙනස්වීම් සලකුණු වන්නේ ඉතාම කුඩා සිදුවීම්වලිනි. කටුවාපිටිය පල්ලියේ සිට කුරුසයක් ඔසවාගෙන දින ගණනාවක් පුරා ගාලු මුවදොර අරගල බිම කරා ඇවිද ආ ජෙහාන් අප්පුහාමි සොයුරා දැනටමත් අප හමුවේ දිග හැරෙමින් පවතින ඓතිහාසික පරිවර්තනයක සංකේතයක් බවට පත්ව අවසන්ය. ජෙහාන් එනතුරු අරගල බිමේ උපවාසයක යෙදෙමින් සිටි කලණ ගුණසේකර සොයුරා සහෝදරත්වයේ සාක්ෂිකරුවෙකු බවට පත් විය. ගාලු මුවදොර අරගලය ආරම්භ වීමට දින කිහිපයකට පෙර “දියවන්නාවෙන් ඔබ්බට ජනතා බලයක්” යන තේමාව ඉහළට එසවූ ජන අරගල ව්‍යාපාරයේ පළමු සම්මේලනය අමතමින් ජෙහාන් පැවසූ පරිදි අලුත් දේශපාලනය පදනම් විය යුත්තේ ආදරය සහ අවංකත්වය මතය.

ජෙහාන්ගේ පා ගමනින් පසුව ජනාධිපති කාර්යාලය ඉදිරිපස පැවති ජන රැළියේදී ජනවාර්ගික සහ ආගමික සහෝදරත්වය පිළිබඳ තේමාව ඉහළට එසවිණ. ජන රැළිය ඇමතූ තරුණ කතිකයෙකු අප රටේ ජාතික කොඩියට සැබෑ අරුතක් ලැබෙමින් තිබෙන්නේ දැන් යැයි පැවසීය. එය ගාලු මුවදොර අරගලයට සුබ පතමින් මෑත දිනෙක උතුරේ පැවති රැස්වීමකදී එම්. ඒ සුමන්තිරන් කළ ඉල්ලීමකට දැක්වූ සංකේතාත්මක ප්‍රතිචාරයක් ලෙසින්ද සැලකිය හැකිය. 1956 සිංහල පමණක් පණත සම්මත කිරීමෙන් පසුව ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාව සිහිපත් කළ සුමන්තිරන් “නුඹලා අද දිනයේ අරගල කරන තැනම වසර හැට හයකට පෙර අප කළ අරගලයේ පණිවිඩය සිහියට ගන්න” යැයි තරුණ අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනවාර්ගික සහ ආගමික බෙදීම් ඉක්මවා ගිය පොදු ජාතික/ජනතා පරිකල්පනයක් ගොඩ නගා ගැනීම පිළිබඳ සුබවාදී සංඥා ප්‍රකාශයට පත් වීම වත්මන් ජන අරගලය තුළ මෙතෙක් දිනා ගනු ලැබූ වැදගත්ම ජයග්‍රහණයක් ලෙසින් සැලකිය හැකිය. ජනාධිපති මන්දිරයේ බිත්ති මතට ‘එක්සත් ශ්‍රී ලංකාවක්’ නමැති තේමාව ප්‍රක්ෂේපණය කරන තරම් දුරට එය ගමන් කළේය. එවැන්නක් සමගි ජන බලවේගයේ හෝ ජාතික ජන බලවේගයේ වේදිකාවක් මතින් අපේක්ෂා කළ නොහැකි බව පැහැදිලිය. එයින් කියැවෙන්නේ පාර්ලිමේන්තු විපක්ෂය තුළ තවමත් අධිපතිව පවත්නා ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදී පරිකල්පනය ඉක්මවා යන ආකාරයේ බහුත්වවාදී ජනරජවාදී දැක්මක් ජන අරගල විපක්ෂය තුළින් මතු වෙමින් පවතින බවය. පැරණි දේශපාලනය සහ නව දේශපාලනය අතර සංකේතීය සීමා සලකුණු වෙමින් තිබෙන්නේ එලෙසිනි.

නව සම්මුතියක්

උපත ලබන්නට අර අදින නව දේශපාලනයේ නිර්වචනාත්මක ලක්ෂණය ලෙසින් දෘෂ්‍යමාන වන්නේ ජනතාවගේ බහු-විධ ප්‍රජාතාන්ත්‍රික අපේක්ෂාවන් මුල් කොටගත් නව සමාජ සම්මුතියක් පිළිබඳ බලාපොරොත්තුවයි. ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනවාර්ගික, ආගමික හෝ පක්ෂ දේශපාලන අනන්‍යතා මගින් නිර්වචනය නොවන ජනතාවක් නිර්මාණය වෙමින් පවතී. ජනතාව සක්‍රීය විෂයක් ලෙසින් දේශපාලන බිමට කඩා වදිමින් සිටී. නමුත්, මෙම වැදගත් දේශපාලන සංසිද්ධිය විසින් අනිවාර්ය ලෙසම අපව වඩා ප්‍රජාතාන්ත්‍රික අනාගතයක් කරා රැගෙන යනු ඇතැයි කිව නොහැකිය. විවර වී ඇති දේශපාලනිකයේ මොහොත විවිධ වියහැකියාවන් සඳහා විවෘතය. තිසරණී ගුණසේකර පෙන්වා දෙන පරිදි ගාලු මුවදොර සුන්දර රාත්‍රියෙන් අප ආලෝකවත් උදෑසනකට අවදි වීමේ අනිවාර්යතාවක් නොමැත. අප මෙම අරගලයේ ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණ තහවුරු කරගන්නට අසමත් වුව හොත්, ඇතැම්විට අප අවදි වනු ඇත්තේ භයංකර සිහිනවලින් පිරුණු තවත් දීර්ඝ රාත්‍රියකට විය හැකිය. වත්මන් ගෝලීය වසංගතයෙන් පසුව නිර්මාණය විය හැකි කොමියුනිස්ට් අනාගතයක් පිළිබඳ සුබවාදී පෙරදැක්ම ප්‍රශ්න කරමින් ශන්තාල් මූෆ් අවධාරණය කරන පරිදි අර්බුද සමයකදී වියහැකියාවන්ගේ ක්ෂේත්‍රය ඉතාම විවෘත වන අතර එවිට සියල්ල රඳා පවතින්නේ අපගේ වත්මන් මැදිහත්වීම්වල ප්‍රතිපල මතය. අනාගත ලෝකය කෙබඳු එකක් වනු ඇත්දැයි කිසිදු නියාමයකින් කලින්ම නිර්ණය වී නොමැත. එය ගොඩ නැගිය යුතුව ඇත්තේ අප විසිනි.

එසේනම්, වත්මන් ජන අරගලයේ ජයග්‍රහණ ආපසු හැරවිය නොහැකි ආකාරයෙන් තහවුරු කරගන්නේ කෙසේද යන තීරණාත්මක ප්‍රශ්නයට අප වහාම පිළිතුරු සෙවිය යුතුව ඇත. අරගලයේ මුල් දිනවලම මා අවධාරණය කළ පරිදි, මේ ජනතා ව්‍යාපාරය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් බවට පරිවර්තනය කළ හැක්කේ අරගලයේ නිරත කණ්ඩායම් අතුරින් නව සමාජ සම්මුතියක් නිර්මාණය කර ගැනීමෙනි. මෙතෙක් මෙරට දේශපාලන විද්‍යා ඉගැන්වීම් තුළ සමාජ සම්මුතිය යන්න තේරුම් කරනු ලැබ ඇත්තේ ප්‍රබන්ධ කතාවක් ලෙසිනි. නමුත්, දේශපාලන චින්තනය තුළ සමාජ සම්මුතිය පිළිබඳ ප්‍රබන්ධය මගින් පැහැදිලි කරනු ලැබ තිබෙන්නේ කිසියම් ඓතිහාසික සංසිද්ධියකි. සම්මුතිය ප්‍රබන්ධයක් වන අතරම ඓතිහාසික යථාර්තයක්ද වේ.

රූසෝ ඔහුගේ සමාජ සම්මුතිය නමැති කෘතියේ මෙලෙස පවසයි: “බහුතර ජන්දය පිළිබඳ නීතිය වුවත් රඳා පවතින්නේ සම්මුතියක් මතය. එයින් හැඟවෙන්නේ අඩු තරමින් එක් වරක් හෝ ඒකමතිකත්වයක් පැවතී ඇති බවය.” මේ අනුව, බහුතර ජන්දයෙන් තීරණ ගන්නා නූතන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පදනම් වන්නේ කිසියම් ඓතිහාසික මොහොතක ජනතාව විසින් ඒකමතිකව ඇති කර ගන්නා ලද සමාරම්භක සම්මුතියක් මතය. මැතිවරණ මගින් ඇති කරගන්නා තාවකාලික සම්මුතීන් එකී සමාරම්භක සම්මුතිය මත රඳා පවතී. රූසෝගේ වචනයෙන් කිවහොත්, ජනතාව ජනතාවක් බවට පත්වන්නේ එසේ සමාරම්භක සම්මුතියකට එළැඹීමෙනි. ඔහු මෙලෙස ප්‍රබන්ධීය ස්වරයෙන් පැහැදිලි කරන්නේ යුරෝපීය සමාජයන් තුළ ප්‍රබුද්ධත්ව යුගයේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් පිළිබඳ ඓතිහාසික නිෂ්ටාව ගොඩ නැගුණේ කෙසේද යන්නයි.

කෙසේ වුවත්, ලංකා විජිතයට නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන මොඩලය හිමි වූයේ රූසෝ කතා කළ ආකාරයේ සමාරම්භක සම්මුතියක් මත පදනම් වූ ජනරජයක අංගයක් ලෙසින් නොවේ. එය ඉහළ සිට සහ පිටත සිට අපට හඳුන්වා දෙන ලද්දකි. නිදසුනක් ලෙස, 1931 දී ලංකාවට සර්වජන ජන්ද බලය හිමි වූයේ ලාංකීය සමාජය තුළ සිදුවෙමින් පැවති පරිවර්තනයක ප්‍රතිපලයක් ලෙසින් වනවාට වඩා බ්‍රිතාන්‍ය තුළ සිදුවෙමින් පැවති වැදගත් දේශපාලන පරිවර්තනයක ප්‍රතිපලයක් ලෙසිනි. නමුත්, එම මොඩලය අපට හඳුන්වා දුන් පසුව අප එය ලාංකීයව “සැබවින්ම පැවති සමාරම්භක සම්මුතියකට” අනුව හැඩ ගසාගෙන ඇත්තෙමු. එකී සමාරම්භක සම්මුතිය වන්නේ ජනවාර්ගික ජාතිකවාදී සම්මුතියයි. ඒ අනුව අප ජනතාව නිර්වචනය කරගෙන ඇත්තේ සිංහල ජනතාව හෝ දෙමළ ජනතාව ලෙසයි. මෙතෙක් කලක් මෙරට සැබවින්ම පැවති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම පදනම් වී ඇත්තේ මෙසේ ජනවාර්ගිකව නිර්වචනය වූ ජාතිය/ජනතාව නම් නිර්මිතය මතය. දැන් අප හමුවේ ඇති අභියෝගය සහ අපේක්ෂාව වන්නේ මෙතෙක් පැවති එම පැරණි සමාජ සම්මුතිය වෙනුවට නව සම්මුතියක් ගොඩ නංවා ගැනීම සඳහා වත්මන් දේශපාලන මොහොත යොදා ගත හැකිද සහ එසේනම් ඒ කෙසේද යන්නයි.

නව ජනතාවක්

ඉහත ප්‍රශ්නයට රූසෝ සපයන විදර්ශනාව සාධනීය වූවකි. ඔහු පවසන්නේ මිනිසුන්ට මෙන්ම ජාතීන්ටද ඉගැන්විය හැක්කේ ඔවුනගේ ළමා වියේදී බවයි. පැරණි ආකල්ප සමග ඇට්ටර වූ මිනිසුන්ට යමක් අලුතින් ඉගැන්විය නොහැකි පරිදිම ගතානුගතිකත්වයේ ගිලුණු ජාතීන්ටද අලුතින් කිසිවක් ඉගැන්විය නොහැකිය. නමුත්, ඇතැම්විට පුද්ගලික අර්බුද හමුවේ මිනිසුන් තම අතීතය අමතක කරනු වෙනුවට අතීතය දෙස භීතියෙන් බලා අලුත් මිනිසුන් ලෙස නැවත ඉපදෙන්නාක් සේ ජාතීන්ද අර්බුද සමයන්හිදී නව ජවයකින් පුනරුත්ථානය වන්නේ නව තාරුණ්‍යයේ ජවය සහ ශක්තිය කැටි කර ගනිමිනි. අතීතයේ අළු මතින් යළි නැගී සිටින එවන් ජාතියක්/ජනතාවක් නව සමාරම්භක සම්මුතියක් මත තම අනාගත දේශපාලන සහ ආර්ථික ක්‍රමය ගොඩ නංවන්නට සමත් වේ. අද අපට අවශ්‍යව ඇත්තේ එවන් නව සමාජ සම්මුතියක් පිළිබඳ අධිෂ්ඨානයේ සහ බලාපොරොත්තුවේ දේශපාලනයකි.

හොඳයි. මේ අපේක්ෂාව යථාර්තයක් කළ හැක්කේ කෙසේද? ඒ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ අරගලයේ නිරත සියළු බලවේග සහ කණ්ඩායම් අතර පොදු එකඟතා මාලාවක් ගොඩ නගා ගැනීමයි. එම එකඟතාවල ඉලක්කය විය යුත්තේ පවතින පාලනය පළවා හරින්නේ කෙසේද යන්න පමණක් නොවේ. ඉන්පසුව අප ගොඩ නගා ගන්නා දේශපාලන සහ ආර්ථික ක්‍රමය කෙබඳු වූවක්ද යන කාරණය ගැනත් සම්මුතියක් අවශ්‍ය වේ. සුනිල් විජේසිරිවර්ධන කදිමට පැහැදිලි කරන පරිදි, පවතින ක්‍රමය බිඳ දැමීමෙන් පසුව අප සාමූහිකව දකින්නට කැමති අනාගත ලෝකය කෙබඳු වූවක් විය යුතුද? ඒ ලෝකය තුළ ඔබේ දරුවන් මිදුළට දිව එන විට එහි කුරුල්ලන් ගැවසී සිටිය යුතුද? අපගේ සාමූහික අනාගතය කුමක්දැයි තීරණය කිරීම දියවන්නාවේ බලවතුන්ට හෝ ගෝලීය මූල්‍ය ආයතනවල නිලධාරීන්ට භාර නොදී එය අපගේම අතට දිනා ගන්නට නම් අපට මෙවන් නව සමාජ සම්මුතියක් වුවමනා වේ.

එසේම එම සම්මුතිය ආරක්ෂා කරන සහ එය ක්‍රියාවට නගන ස්වායත්ත ජනතා කවුන්සිල ජාලයක් වුවමනා වේ. බලය දියවන්නාවෙන් ඔබ්බෙන් සිටින ජනතාව අතට මාරු කළ හැක්කේ එලෙසිනි. ප්‍රජාතාන්ත්‍රික ජනරජයක පදනම නැවත ගොඩ නැගීමේ එම ඓතිහාසික ක්‍රියාවෙහි කතෘකයන් බවට මෙරට ගොවිජන ප්‍රජාව, කම්කරු පන්තිය, ධීවර ප්‍රජාව, තරුණ සහ ශිෂ්‍ය බලවේග, ස්ත්‍රීන්, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළු සියලු කොටස් දායක කර ගත යුතු අතර එනයින් ඉදිරියේදී දියවන්නාව තුළ බලයට පත් වන කිසිදු පක්ෂයකටවත් කඩ කළ නොහැකි ආකාරයේ තිරසාර සම්මුතියක් බවට එය පරිවර්තනය කළ යුතුව තිබේ. භයංකර සිහිනයක් විය හැකි ඉදිරි දශකයේ අනාගත චිත්‍රය හමුවේ අපට කිසියම් හෝ බලාපොරොත්තුවක් දරා සිටිය හැක්කේ එවන් නව සමාජ සම්මුතියක් සහ එම සම්මුතිය මූර්තිමත් කරන ජනතා කවුන්සිල ජාලයක් ගොඩ නැංවීමේ ව්‍යාපෘතියක් මගින් පමණි.

– සුමිත් චාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *