මේ රටේ සම්ප්‍රදායත් එක්ක කවි ලිවීමත් දුෂ්කර වැඩක් – චමිලා මැණික්ගමගේ

කවිය කොහොමද ජීවිතේට ලං වෙන්නේ 

ඒක නම් ඉස්කෝලේ කාලෙදිම සිද්දියක් . අපෙ දෙවෙනි අක්ක කවි ලිව්ව. ඉතිං ඒවත් දැක්ක . පොත් පිටිපස්සෙ කවි ලියන් ඉන්නවා . ඔය අතරෙ සුදත් ගාමිණී බණ්ඩාර ගුරුතුමා අපේ පාසලට ආවා සිංහල උගන්වන්න . ඉතිං ඔය කාලෙ උමා ගීතයට පිස්සුවෙන් හිටියෙ. ඒක ලිවු සර් අපිට සිංහල උගන්වනවා කීවම ඊට එහා සතුටක් . පස්සෙ සර්ගෙ කවි කියවන්න අවස්ථාව ලැබුනා .එතනින් ටික ටික කවි පරිශීලනය පුරුදු උනේ. කවිය මට ලංවුනේ එහෙම .

ඔබ ගුරුවරියක්. අපේ සමාජයේ මේ ගුරු වෘත්තිය එක්ක කවි ලියද්දී ඇත්තම දැනෙන හැගීම් ලියන්න අපහසුයි නේද ? මේ සංස්කෘතික බාධාව ජය ගත්තේ කොහොමද ?

ඔව් ඒක නම් සම්පූර්ණ ඇත්ත .මොකද ඒකට හොඳ ම සාක්ෂිය මගෙ දිනපොත. ලියපුවා එළියට දාන්න අපහසු අවස්ථා එමටයි. මොකද ගුරුවරයා කියන සංස්කෘතික රාමුව ඇතුලෙ මට ඉන්න වෙනව බොහෝ අවස්ථා වල. නමුත් ඒ වෘත්තිය පාවිච්චි කරලා අසාමාන්‍ය ගරුත්වයක් මවාගෙන නම් නෑ . මම පාසලට ගුරුවරියක් . එච්චරයි .කවි ලියන එකේදි රාමුවක ඉන්න වෙලා තියෙනවා . මම ඒකට විරුද්ධ වෙන්න අකමැති ඒක තේරෙන්නේ සමාජයේ ඉන්න කොට දකින යම් යම් දේවල් නිසා. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බීල කාණුවක වැටිල හිටියොත් කවුරුත් එච්චර ගනන් ගන්නෙ නෑ නේද .ඒ මනුස්සය බීල වැටිල. ඒත් ඔතන හිටියෙ ගුරුවරයෙක් නම්.. ඔන්න ඕකයි මගෙ රාමුවට හේතුව . මම විසින් මම රාමු වුන අවස්ථා තියෙනවා . නමුත් යම් සීමාවක ඉඳලා කවියක් ලියන්න ගත්ත උත්සාහයන් තමා මේ.

කවි ලිවීම අභ්‍යාසගත වැඩක්. ඒත් හිතට එන ඕනම සංකල්පනාවක් කවියක් ලෙස ලිවීම සහ අභ්‍යාසයක් මත කවි ලිවීම යන දෙක දකින්නේ කොහොමද?

හිතට එන දේ ලියන්න අභ්‍යාසයක් අවශ්‍ය නෑ . නමුත් එහෙම වුනාම ඒක කවියක් ද ගීතයක් ද එහෙම නැත්නම් ලිවීමක්ද කියල නිර්ණය කරන්න අමාරුයි . නමුත් සාර්ථක සංකල්පනාවක් වෙන්න පුළුවන් ඉඳහිට .නමුත් අභ්‍යාසයක් මත කවි ලිවීම මත ඉහත කාරණාවට වඩා සාර්ථක බිහිවීමක් දකින්න පුළුවන් . මොකද මට මතකයි සුදත් සර් පාසල් කාලයෙදි මගෙ කවි අත්පිටපතක ලියල තියෙනවා සතතාභ්‍යාසයේ යෙදීම මගින් සංකල්පනා සාර්ථක වීම සිදුවෙන බව. ඉතිං එහෙම බලද්දි අභ්‍යාසගත ලිවීම් සාර්ථක බවයි කියන්න පුළුවන් .

ඔබ සහ බොහෝ කවියන් සමාජ ජාලාවන් පාදක කොටගෙන කවි ලියන්නන් ලෙස වඩාත් ප්‍රචලිතයි .. මේ අවකාශය කවියට යොදා ගැනීම සම්බන්ධයෙන් කුමක්ද කිව හැක්කේ..

ඉස්සර ඇත්තටම කවි ලියල පත්තරේට දැම්මම එතනින් ඒක ඵල වෙන්න කාලයක් යනව.නමුත් දැන් එක මොහොතෙන් කවි සයිබර් අවකාශයට මුදාහරින්න පුළුවන් .ඒක සමහර වෙලාවක අංකූර කවි කිවිඳියන්ට හොඳ අවස්ථාව ක්.නමුත් එතම වෙන හානිය තමා අසාර්ථක කවි වුනත් හිතවත් කම් මත,එහෙම නැත්නම් අසාර්ථක කවි ඉහල කතාබහට ලන්වෙන ඉඩ තියෙනවා

මේ කවි පොතේ නම අපිට අලුත්. මෙහි ප්‍රශ්තුතගත කවිය සම්බන්ධව සඳ බිදුණු ගොවිඳුහෙල ගැන යමක් කිවහොත්..

ගොවිඳුහෙල කියන්නෙ ගෝවින්දහෙළ කියන මොණරාගල ප්‍රදේශයේ පිහිටා තියෙන කන්දකට.ඉතිං ඒ කන්ද මට ජීවිතේ ලස්සන මතකයක් ඉතිරි කලා.පොත ට නම ආවෙ කවියකින් වුනාට ඒ කවියෙ සම්පූර්ණ කන්ද ගැන විස්තර නැහැ.නමුත් පොතේ තියෙන මම කැමතිම කවියෙ තමා ගොවිඳුහෙල මතකය තියෙන්නේ .

ඇත්තටම වර්තමානයේ සමාජ දැක්ම සහිතව බිහිවන කවි ඉතා දුර්ලභයි.. කවිය සමාජ කියවිමක් ලෙස ගත හොත් වර්තමානයේ එවැනි සමාජ කියවීමට සමත් කවි රචනා වෙනවාද ?

සමාජ දැක්ම සහිත කවි දුර්ලභයි කීවට තියෙනවා නැත්තෙම නෑ .ඇත්තටම මම එහෙම දකින එක කවියක් තමා රත්නශ්‍රී විජේසිංහ මහත්තයගෙ “ගෙත්තම්පාන ” පොතේ එන වියපත් නිළිය කවිය. එවගේම අනුරාධා නිල්මිණි මහත්මියගෙ රිදුම් පිරි පිරිමැදුම්’ කාව්‍ය සංග්‍රහයෙ එන පපුවෙන් සිංහල ගලනව කවිය. ඇත්තටම ඒක හොඳ සමාජ කියවීමක්. මිනිස්සුන් ගෙ සත්‍ය සිතිවිලි ,හැසිරීම් හාස්‍යජනක විදිහට ඉදිරිපත් කරල තියෙනවා . එවගේම නවක කිවිඳියක් වන එරන්දි ඉරේකා තිරණාගම ගේ “බිමට වට සිත ” කාව්‍ය සංග්‍රහයේ සලරුවේ සඳවත කවිය .. වගේ මම දැකපු සමාජ කියවීම් සහිත කවි හමුවෙනවා. තවත් ඒ වගේ කියවීම් බොහොමයක් හමුවෙලා තියෙනවා .

ඇත්තටම මේ හතු පිපෙන්න වගේ බිහිවෙන කවි පොත් මිනිස්සු කියවනවද? සමාජ රැල්ලට යාමක්ද ?

හතු පිපෙනව වගේ කවි ලියන්න බෑ .පොත් නම් ගහන්න පුළුවන් . එහෙම බැලුවම මම අවුරුදු කීයක් පහුවෙලාද මේ පොත ක් කරන්නෙ. ඇත්තටම මට පොත ක් කරන්න එහෙම අදහසක් ආවෙ 2019 දි වගේ. නැත්නම් ඔය ඉඳහිට කවියක් පත්තරේට දානවා. නමුත් කවි පොත ක් ලිව කියල ඇත්තටම වැඩක් නෑ මිනිස්සු වැළඳගන්නෙ නැත්නම් .නමුත් මෙහෙම අදහසක් තියෙනවා .හතු පිපෙනව වගේ ඇවිත් කවියක් දෙකක් ලියල පොත ක් කරනව නම් එතන සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්න බෑ .ඒකතමා රැල්ලට යාමක් . වර්තමානයේ කවි පොත් මුද්‍රණය සුලබ උනත් සාර්ථක පොත ක් කියන්නෙ මිනිස්සු ආදරයෙන් කියවන එකක්නෙ.නමුත් සමහර පොත් අතට අරන් ආයෙ තියෙනවා
නිවැරැදි කියවීමක් තියෙනවා නම් මිනිස්සු රැල්ලට ගහන පොත් මිළදී ගන්නෙ නෑ . රැළ්ලට යන්න වෙන්නෙ නෑ.

ඔබ නුවර පදිංචිකාරියක්. නුවර සංස්කෘතිකමය ලෙස යම් සම්ප්‍රදායන් ආරක්ෂා කරනු ලබනවා.. කවිය කියන්නේ හැගීම් පිරි දනව්වක්.. ඉතිං සාම්ප්‍රදායිකත්වය හා නූතන නිදහස් සමාජය මේ කවි කිරීමේ දී දුෂ්කර වූවාද

අවංකවම පින්තූර නම් “ඔව්” මොකද කවුරු හරි චෝදනා කරනවානම් කවි ලියන්න ඕනෙ තමාට ඕන විදිහට නිදහසේ කියල ඒකටත් මම එකඟයි. නමුත් තාම ලංකාව සාම්ප්‍රදායික අදහස් එක්ක ඉන්න මිනිස්සුන් ගෙ රටක්. මේ රටේ සම්ප්‍රදායක් එක්ක කවි ලිවීමත් දුෂ්කර වැඩක්. දෙයක් ගැන හිතෙන විදිහට කවියක් ලීවොත්, රැඩිකල්වාදී අදහස් කවලම් උනොත් උදහසට ලක් කරනවා. අපේ මිනිස්සු එහෙමයි. මම සාම්ප්‍රදායික නෑ කියල කතාවට කීවට බහුතරයක් ඉන්නෙ එල්බගත් සමාජයක ඉන්න මිනිස්සු. ඉතිං එහෙම සමාජයකට පුද්ගලිකවම මට මගේ නිදහස් අදහස් ලියන්න යම් තරමක් අපහසුයි. නමුත් පුළුවන් විදිහට කවි වල අවශ්‍ය අදහස ඔබ්බවල ලියන්න උත්සාහ කරා.

කොහොමද චමිලා නැමැති කිවිදිය බිහි වෙන්නේ

ඒක අහම්බයක් ම නෙවෙයි .ඉස්සෙල්ලා ම මගෙ ඉංග්‍රීසි ගුරුතුමිය ප්‍රින්සිලා විජේසේකර මහත්මිය ඉංග්‍රීසි කාලච්ඡේදයෙදි ඉංග්‍රීසි කවියක් දෙනව සිංහලට පෙරළන්න. ඉතිං දන්නෙ නැති වචන අහ අහ ඒක කරනව.ඒ වෙනකොට මම කවි ටිකක් ලියන කාලෙ.ලියල දුන්නම මූණ වෙනස් කරන් බලල පොත තියාගෙන ඉන්නවා .මමත් වාඩිවෙලා බලන් හිටියා.මේක මම සුදත් ට දෙන්නම් මේක හොදයි පුතා කියනවා. අන්තිමේ සුදත් සර් ඒ කවිය අඩුපාඩු හදල දිවයින පත්තරේට දානව. එන සතියෙම පල වෙනව.ඔන්න පළවෙනි පුවත්පත් කවිය. ඉන්පස්සේ දිගටම හැම සතියෙම කවි පළවෙනව.රාවයෙ පද්මතටාකෙ කවි පලවෙනව කියන්නෙ ලේසි නෑ මොකද රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඒ කවි බොහොම හොදින් බලල තමා පලකරන්නෙ. ඔහොම ඒ වසරෙම සිංහල භාෂා හා සාහිත්‍යය රස රංග තරගයට කවියක් දාල ජාතික මට්ටමේ පළමු තැන ගන්නෙත් සර්ගෙ යොමුකිරීමකින්. මම කවි ලීවෙ සුදත් සර්ගෙ මැදිහත්වීම් මත.

 අපට ඔබගේ ජීවන වටපිටාව යම් තරමින් කිවහොත් ? විශේෂයෙන් මෙවැනි කලා ක්ෂේත්‍රයකට පිවිසීම ගැන

මගෙ උපන් ගම බිංතැන්නෙ මහඔය .මම තාම ආදරය කරන පළාතක්.ඊට පස්සෙ දෙමව්පියන්ගේ රැකියා නිසා තමා බදුල්ලට ආවෙ.විවාහයෙන් පස්සෙ තමා වසර විස්සක සිට මහනුවර පදිංචි වෙන්නෙ.මට වෙනස් පරිසර වටපිටාවන් එක්ක ගණුදෙනු කළ එකම හේතු වෙන්න ඇති ලියන්න.බදුල්ල තමා මගෙ හිත නතර වෙලා තියෙන තැන.ඒ මතක දිගේ තමා මම කවි ලියන්නෙ.හතරවටේ පේන කඳු, දවස පුරා ඇදෙන මීදුම මේව තමා ජීවිතේ රහතැන්. ඒව ඔක්කොම එකතු වෙලා කවි ලියන්න මාව තල්ලු කරා. පුළුවන් වෙලාවට කවියක් ලියල සතුටින් ඉන්න තමා බලන්නෙ.මේ ක්ශේත්‍රය හරි සුන්දරයි කියල හිතෙනවා .

ඉතිං ඔබගේ මේ කුළුදුල් කවි පොත ගැන වචනයක් කියන ගමන්ම අපට කියන්න මේ එළිදැක්වීම සිදුවන්න් කොහේද කවදාද යන්න..

“සඳ බිඳුණු ගොවිඳුහෙල ” කවි පොත ටිකක් කල් ඇදිල කරන්න වුනේ රටේ තිබුණු යම් යම් තත්ත්ව නිසා.කොහොම හරි හීනයක් ඉටුවෙලා වගේ සතුටක් තියෙනවා .පොත එළිදැක්වීම සැප්තැම්බර් 10 වෙනිදා මහනුවර රෝයල් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදි සවස 1.30 සිට 4.00 දක්වා පැවැත්වෙනවා .පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා , ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක කපිල එම් ගමගේ සහ පරිවර්තිකා සහ ලේඛිකා අනුරාධා සංකල්පනී තිඹිරියාගම මෙනවියගෙ කතා බහකින් හවස ආලෝකමත් වෙනවා.මේ කාර්‍යට සහයෝගය දුන්න සියලුම දෙනාටම ආදරේ කියල කියනවා.

 

සාකච්ඡා කලේ –  තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *