පොඩි එකාගෙ ලියමන – 01

ගෑස් සිලින්ඩරය ගෙට ගෙනා තාත්තා ඒක පොහොර කවරයක බස්සා කාමරයේ මුල්ලක තිබ්බාය . අක්කා ඒකට මූණ බුල්ඩෝග් කරගත්තේ බස් එකකට ගොඩ උන ප්රවාහන ඇමතියා වගේය . යකෝ මෙව්ව පුපුරයි ..මගේ කාමරේ තියන්ඩෙපා .. තවම ජීවිතේ පටන් ගත්ත විතරයි .. අනික මේ කුස්සිය නෙමේ නේ කියූ අක්කා වල පයයි ගොඩ පයයි ඉන්න අත්තම්මා ගේ කාමරයට ඒකට ස්ථාන මාරුවක් දුන්නේ අයියාට වැඳලාය . ඒක දැකපු වෙ⁣ලේ ඉඳන් අත්තම්මා වඳින්නේ ගෙදර උන්ට හෙණ ඉල්ලලාය . දාපියව් මේ අටමගලෙ වෙන තැනකට තොපිට මාව මරාගන්න ඕනෑ වෙලාද පරහැත්ත කියමින් ම උන්දෑ ඉතිපිසෝ කියනවාය. මට නම් මේක මැජික් ය.. ඒ දැන් දැන් කුස්සියේ බඩු කාමරවල , අල්මාරි වල දාන නිසාය ..

අක්කා සබන් දත් බෙහෙත් අල්මාරියෙ දාලා යතුරත් මල්ලෙ දාගෙන යනවාය . අම්මා සීනි පිටි ළුෑනු කබඩ් එකේ දානවාය . වට පිට බලල යතුර තංගල්ලේ බැංකුවට දානවාය . අත්තම්මා බුලත් විටේ රෙද්දේ ගැටගසා ගෙනම ඉන්නවාය . මුන්ට දැන් ටික දවසක ඉඳලා මේ ලෙඩේ තිබුනාය ..ඒ මදිවට නාන්නේ ලිඳෙන් ය . එක බලුප් එකේ එළියෙන් සේරම වැඩ කර ගන්නවාය .
ඒ අවුඅස්සෙ බාගෙට කරුවලේ තාත්තා අත්තම්මා ට අයුතු යෝජනාවක් කරලා මාට්ටු වෙලාය .. ඒකටත් අම්මා පලිය. ඒ අම්මගේ චීත්තයක් අත්තම්මා ට දීපු වරදය . ඒ කතාවට අත්තම්මා රජතුමා බෙදපු සිල් රෙද්ද අැදල නෝන්ජල් උන විදියද එකතු කලාය .
කතාවෙන් කතාවට දර පැලිල්ල අමතක උන තාත්තා පොරව අරගෙන මිඳුලට පැන්නාය . කඩේ මාම මැදුල මැද හතරගාතෙන් වැටී අඬා වැටෙනවාය . මම ඇත්ත කියන්නම් , අනේ බුදු මල්ලියෙ කොටන්න එපා කියමින් තව මොනවදෝ කීවාය . තාත්තා ඒවා හැන්සාඩ් එකෙන් අයින් කලාය .
තොට කොටන්ඩ නෙමේ බොල …මං මේ දර පලන්න කියා තාත්තා ඒකාව නැගිට්ටුවාය . මල්ලියෙ ඔය අරටු ගස් පලන්න එපා බං.. එව්ව වටිනවා කියමින් පොර මහ කොටය උඩම ඉඳ ගත්තාය .
කොයිකත් පැලුවම දර නේ බං. දැං ඔය වලව් වල හොද අරටු ගස් ගත්තෙම දරට නේ බං .. කී තාත්තා කඩෙයා වාඩිගෙන හිටි කොටයටම පත බෑවේය ..කඩයා හැරුණු තැපෑලෙන් කඩේට දිව්වාය .. පොර ගෙනා පත්තරෙත් මඟ වැටිලාය . මම ඒක අහුලගෙන එන ගමන් දැකල පුරුදු මාමිල දෙන්නෙක් හිටි නිසා ඒක කපලා ලියුමේ අලවා ගත්තාය ..
ඒක දැක්ක තාත්තා වලව්වල දරට කැපුුනු රූස්ස ගස් කියමින් කොටේට පොරෝ පාරක් ගැසුවේය . අයියා කීවේ ඒ ගස් දරට කැපී ලිපට වැටී අළු දූලි වී ඇති බවය . මට නම් ඉතිම් පිෂ්ෂු වගේය …..
මීට.
පොඩි එකා…..
සුභාෂ් දික්වැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *