ආදරණීය ඩයනා,

“කියාදෙමු පියඹන්න
අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණු
කුරුල්ලන් වී දිනෙක….”
ආදරණීය ඩයනා,
බ්රිතාන්ය රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත්වීම සඳහා ඔබගේ බාල පුතු ගත් තීරණය පසුගිය දිනෙක රජ පවුලේත්, ලොව පුරාත් මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් වූ බවට අන්තර්ජාලය තුළ සැරිසරද්දී මා හට දැකගැනීමට ලැබුණි. සැබෑය. ඇත්ත වශයෙන්ම එය ආන්දෝලනාත්මක පුවතකි. බොහෝදෙනෙකු “කුමාර ජීවිතයක්” අපේක්ෂා කරන, ඒ පිළිබඳව සිහින දකින යුගයක වචනයේ පරිසමාප්තියෙන්ම “රිදී හැන්ද කටින් ගෙන” පැමිණියෙකු වූ ඔබගේ පුතුගේ මෙම තීරණය ලෝ වැසියන් මහත් පුදුමයට පත් කළ පුවතක් වූවාට කිසිදු සැකයක් නැත.

බොහෝදෙනා ඔහුගේ එම තීරණය පිළිබඳව නොයෙක් අර්ථකථන ලබාදීම සිදුකළත් මා එය දකින්නේ සිය මවට දැඩි ලෙස ආදරය කළ දයාබර පුතෙකු සිය මවගේ අඩිපාරේ යමින් ඇය සිහින දුටු ලෝකය කරා තැබූ සාර්ථක පියවරක් ලෙසය.
ඔබ රාජකීයත්වයේ කටුක අමිහිරි බව ඉතාමත් හොඳින් ස්පර්ශ කළ, අත්විඳි ගැහැනියක බව ලොවට නොරහසකි. නිදහස් කිරිල්ලියක මෙන් ජීවන අඹර සිසාරා පියඹා යන්නට සිහින දුටු ඔබගේ ආත්මය වසාගත් රාජකීයත්වයේ අඳුරු සෙවණැල්ල එදා ඒ පුතු ඔබේ නිල් පැහැති දයාබර දෑස්වලට යටින් දකින්නට ඇත. රාජකීයත්වය ඔබට උරුමකර දුන් අසීමිත මානසික පීඩා, දුක්ඛ දෝමනස්සයන් සහ අනේකවිධ අපවාදයන් ඔබේ සුන්දර සිනහවට යටින් සැඟවී තිබූ බව මැනවින් අවබෝධකරගත් එකම පුද්ගලයා ඇතැම්විට ඔහුම පමණක් වන්නට ඇත. ඔහුගේ මෙම තීරණයට තවත් බොහෝ කරුණු කාරණා හේතු වන්නට ඇතත් ප්රබලවම බලපාන්නට ඇති හේතු සාධකය මෙයම වන බවට මට හැඟී යන්නේ එහෙයිනි. මන්ද ආදරණීය පුතෙකුට සිය මව තරම් වටිනා වස්තුවක් මෙලොව තවත් නැති හෙයිනි. එනිසා ඔබගේ මතකය තරම් වටිනා තවත් සදානුස්මරණීය යමක් ඔහුගේ ජීවිතය තුළ ඇතැයි මම නොසිතමි.
ඔහුගේ සෑම පියවරක් පාසාම ඔහු තමා “ඩයනාගේ පුතු”ම බැව් ලෝකයට පෙන්වා දුන්නේ ය. ඔහු තමා “ඩයනා කුමරියගේ” පුතු නොව මුළු ලෝකයේම ආදරය දිනාගත් මිහිමත සුරඟනක් බඳු වූ “ඩයනා ස්පෙන්සර්ගේ” පුතු බව මේ වන විට ලෝකයටම ප්රකට කර හමාර ය. මා මහත් සේ ප්රිය කරන රත්න ශ්රී විජේසිංහයන් “පිරිමි පුතෙකු අරභයා රචනා කළ මනරම් ගීයක කොටසක් මට මේ මොහොතේ සිහිපත් වේ.
“ඇතෙක් වගේ තනි මංසල
බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට
පෙනෙන්න බැබළෙන්නයි”
සැබැවින්ම ඔහු කොතක් මෙන් සතර දිගට පෙනෙන්නට බැබළුණේ ය. ඇතෙකු මෙන් රාජකීයත්වයෙන් වියුක්ත තනි මංසලක නොබියව ගමන් කිරීමට තීරණය කළේය. ඔහුගේ එම තීරණය පසුපස සිටි යෝධ සෙවණැල්ල ඔබම වනවා බවට මට කිසිදු සැකයක් නැත. තෝරාගත් නිදහසේ මාවතේ නොබියව පියාසර කිරීමට ඔබ ඔහුට සවිමත් පියාපත් ලබාදුන්නෙහි ය. මවකගේ සෙනෙහසේ දෑත් කොතරම් දිගු දැයි ඔබ මුළු ලොවටම කියාදුන්නෙහි ය. ඒ පියාපත් විහිදා ඔහු ලෝකය දිනන දින කොහේ හෝ හිඳ ඔහු වෙනුවෙන් නෙතඟ උපන් සතුටු කඳුළකින් ඔබ ඔහුට ආශිර්වාද කරන්නට ඇතුවා නිසැක ය.
May be an image of 2 people, people standing and text
ප්රීතිමත් බිරිඳක වීමේ භාග්යය දෛවය විසින් ඔබ හට හිමිකර දුන්නේ නැත. නමුත් වාසනාවන්ත ආඩම්බරකාර මවක වීමේ භාග්යය දෛවය විසින් ඔබ හට නොඅඩුව ලබා දී ඇත. සැබැවින්ම ඔබගේ නිල්වන් දෑස සහ සුන්දර සිනාවටත් වඩා මා බෙහෙවින්ම ප්රිය කරන්නේත් ආදරය කරන්නේත් මවක ලෙස ඔබ සතු වූ ඒ දයාබර බවට ය.
ඔහු ඔබත් සමඟම ඔබගේ සිහින වැළලෙන්නට ඉඩ දුන්නේ නැත. ඔබේ වියෝවෙන් වසර ගණනාවකට පසුත් ඔහු ඔබේ සිහින ජීවත්කරවූවේ ය. නිදහස් අහසක පියාසර කිරීමේ නොතිත් ආශාවෙන් මඬනා ලද සොඳුරු කිරිල්ලියක වූ ඔබ මතු දිනෙක තම පැටවුන් ද එලෙස නිදහස් අහසක නිදහසේ පියාසර කරනු දකින්නට සිහින මවන්නට ඇත. ඔවුන් වෙනුවෙන් අවසාන මොහොතේදීත් ඔබ තුළ වූ ප්රාර්ථනය ද එයම වන්නට ඇත.
අද එම දිනය උදා වී ඇත. ඒ සතුට හදවතින් විඳීමට අද ඔබ ඔහු සමඟ නැතත් ඔබේ මතකය ඔහු සමඟින් මේ මොහොතේත් රැඳී සිටිමින් එය බෙදාගන්නවා වන්නට ඇත. ඊටත් වඩා මවකට ලද හැකි ත්යාගයක් පිළිබඳව මට සිතාගත නොහැකිය.
May be an image of 3 people and people standing

ඔබ මට පුරාවෘත්තයකි. මතු දිනෙක ඔබේ පුතු ද පුරාවෘත්තයක් බවට පත්වනු ඇත. අනාගතයේ දිනෙක රජවන ඔබේ පුතු ගැන නොව ඔබේ සිහින ජීවත්කරවීම වෙනුවෙන් රාජකීයත්වය ප්රතික්ෂේප කළ ඔබේ පුතු ගැන කතාන්දරය මම මගේ දරුමුණුබුරන්ට කියාදෙන්නෙමි. තමා නොමැති වුව ද සිය දරුවන් තම සිහින ජීවත්කරවනු දැකීම තරම් ත්යාගයක් යහපත්, ආදරණීය මවකට දරුවෙකුගෙන් ලැබිය නොහැකි බව මම ඔවුන්ට වටහා දෙන්නෙමි. මතු දිනෙක ඔවුන්ට නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී පියාඹා යන්නට සවිමත් තටු ලබාදෙන්නෙමි. ඔවුන් එම නිදහසේ පියාපත් විහිදා ඔවුන්ගේ අහස ජයගත් දිනෙක ලොව කොතැනක හෝ හිඳ ඔවුන් වෙනුවෙන් උපන් සතුටු කඳුළින් දෑස් පුරවාගන්නෙමි.
– හංසිනී කවින්දි –
ප. ලි. – වේල්සයේ රෝස කුසුම ඩයනා කුමරිය ලොවෙන් සමුගෙන අදට වසර 25ක්. නමුත් ලෝකයා ඇය කෙරෙහි දක්වන ආදරය මේ වන තෙක් බිඳුවක් වත් අඩුවෙලා නැහැ. මේ කලකට ඉහත දී ඇයත්, ඇයගේ බාල පුතු වූ හැරීත් සම්බන්ධයෙන් මා විසින් ලියන ලද නිර්මාණාත්මක ලිපියක්. අද දින ඇය පිළිබඳව මතකය නැවතත් අලුත් වූ නිසා නැවත වරක් පලකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *