මගේ නිර්මාණ ඇතුළෙ මව්පිය සෙනෙහස වගේම ප්‍රේමය විරහවත් තියෙනවා. – ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි

කවියට ප්‍රවිශ්ට වන්නේ කොහොමද හාමුදුරුවෝ

කුඩා කාලයේ සිටම කාව්‍යමය ආභාෂයන් ලැබුණා මට. මගේ අධ්‍යාපන දහරාවත් එක්ක තමයි කවිය ඒ තරමටම සමීප උනේ. කාව්‍යයන් විශාල ප්‍රමාණයක් වනපොත් කරන්න එහෙමත් සිදු උනා.මේ දේවල් එක්ක කවිය ටිකෙන් ටික මගේ චෛතසිකවලට මුසු උනා. ඉතිං ඒ ආභාෂය නිසා මම පුංචි පුංචි කාව්‍යයන් ලියන්න හුරු උනා. විජය පුවත්පත වගේ පුවත් පත්වලටත් ඒ නිර්මාණ යොමු කළා. ඒවාගෙන් විශාල සතුටක් වගේම පන්නරයක් මට ලැබුණා. ඒ තමයි මම කවියට ප්‍රවිශ්ට උන විදිහ.

 ගොඩක් හිමිවරුන්ට ප්‍රශ්තුත වෙන්නේ තමන්ට අහිමිව ගියපු ආසන්නම දේවල් කවියකට කතාවකට ඒ් අතරින් අම්මා නැත්නම් මව්පිය සෙනෙහස වගේ දේවල් තියෙනවා. මේක හාමුදුරුවන්ගේ කවිවලටත් පොදුද

ඒක හිමිවරුන්ට පමණක් නෙවෙයි.ගිහි අයත් ලියන මාතෘකාවක්නෙ. හැබැයි හිමිවරුන්ගෙ නිර්මාණ ඒ කියන සාධකයට පමණක්ම සීමා වෙන්නෙ නෑ.  අතීතයේ ඉඳන්ම බැලුවොත් තොටගමුවෙ හාමුදුරුවොන්ගෙ,වීදාගම , මහින්ද , වෑත්තෑවෙ හිමිවරුන්ගේ නිර්මාණ ඇතුලෙ තියෙන්නෙ ආසන්නතම අහිමිවීම්ද කියල අපිට හිතන්න වෙනවා නේද?ඒ හිමිවරු එක එක පරාසවල කවි ලියපු අය. මව්පිය සෙනෙහස ගැන,  හිමිවීම් අහිමිවීම් වගේම රට ජාතිය ගැනත්,  පුද්ගල චින්තනයන් පිළිබඳවත් හිමිවරුන් ලියපු කාව්‍ය නිර්මාණ බොහොමයක්ම අපිට හමුවෙනවා. මගේ නිර්මාණවලටත් ඔබ කියන කාරණය පොදුද කියන එක තීරණය කරන්න ඕන ඒවා රසවිඳින අය. නමුත් මම නිර්මාණ සඳහා යම් යම් ප්‍රස්තුතයන් තෝරා ගැනීමේදී එක සීමාවකට පමණක් කොටු වෙන් නෑ. මගේ නිර්මාණ ඇතුළෙ මව්පිය සෙනෙහස වගේම ප්‍රේමය විරහවත් තියෙනවා. සොභා සෞන්දර්යයත් තියෙනවා. රාගය වගේම විරාගයත් තියෙනවා.ධර්මය වගේම මිත්‍යාවේ විවේචනත් තියෙනවා.

ආදරය වගේ ප්‍රශ්තුතයන්හිදී අපිට මිනිස් හැගීම් මිසක් ආගමික තත්වයන් හදිනා සිවුර අදාළ වෙන්නේ නෑ.. ඒවැනි ප්‍රශ්තුතයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ නිර්මාණ කොහොමද භාවිතා වුනේ

මම හිතන විදිහට ලෝකයේ ඕනෑම සාහිත්‍යයක බහුලව නිර්මාණයන් බිහිවෙලා තියෙන්නේ ප්‍රේමය කියන මාතෘකාවට අදාළව. ගිහි පැවිදි භේදයකින් තොරව නිර්මාණ කරුවන් ස්වකීය රචනාවන් ප්‍රේමය විෂයෙහි ලියලා තියෙනවා. ප්‍රේමය කියන සංකල්පයමනෙ ධර්මය ඇතුළෙ මෛත්‍රීය කියන වචනයෙන් භාවිතා වෙන්නෙ. ප්‍රේමය ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර සිදුවන චෛතසිකමය ගණුදෙනුවක් පමණක්ම නෙවෙයි කියන තැනයි මම ඉන්නෙ. එතනින් එහාට ගියොත් මිනිසුන් අනික් මිනිසුන් සමඟ කටයුතු කරද්දි එකිනෙකාට ගරු කරද්දි සොබා දහමත් සමඟ කටයුතු කරද්දි ස්මතු වෙන්නෙ ප්‍රේමණීය චෛතසිකයන්.ඒ දේවල් ගැන ලියද්දි ගිහිද පැවිදිද කියන කාරණය වැදගත්ම වෙන් නෑ. සමස්තයක් හැටියට ආදරය වගේ මාතෘකාවක් මූලික කරන් නිර්මාණ කරද්දි මම ඉන්නෙ එය රසවිඳින්නාගේ කෝණයෙන්.  සමහරවිට ඒ රසවිඳින්නා ප්‍රේමවන්තයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් විරහවෙන් යුක්තෙක් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයන් දෙදෙනාගේම මනෝභාවයන්ට කොහොමද නිර්මාණයකින් සාධාරණයක් කරන්නේ කියන හැඟීමෙන් ඉඳීමයි වැදගත්.

ඉතිං අලුත් කෘතිය ගැන කතා කරමු මොනවගේ කවිද එහි අඩංගු

අලුත් කෘතියේ නම තමයි ඇතුළුවීම තහනම් .මේ මගේ පළමු කාවය සංග්‍රහය. කවිවර ප්‍රකාශනයක් ලෙසටයි එය ඔබේ දෝතට පත්වන්නේ.එහි අන්තර්ගතය ගැන කතා කළොත් සඳැස් හා නිසඳැස් කියන ආකෘති දෙකේම නිර්මාණ ඇතුළත් වෙලා තියෙනවා.මෙහිදී කාව්‍ය දෝෂාදියට අවධානයක් යොමු කරලා ඒ ආකෘති දෙකේම නියාමනයන්ට අනුගත වෙලයි නිර්මාණ ඇතුළත් කළේ.මෙහි ඇතුළත් නිර්මාණ විවිධ ක්ෂේත්‍රයන් වලට යටත් වෙනවා.ආගම,දර්ශනය,සමාජය,පුද්ගල මනෝභාවයන්, සමාජය ගිලගෙන තිබෙන මිත්‍යා මත, දේශපාලනය,සොබා ධර්මය, ළමා චෛතසිකයන් වගේ විවිධාකාර ඉසව් ඔස්සේ රචිත කාව්‍යයන් තමයි මෙහි අන්තර්ගතවෙන්නේ.

ලංකාවේ කාව්‍ය කරණයේ භික්ෂු ලකුණ ඉතා ඈතට දිව යන්නක්. වර්තමානය දිහා බලද්දී හිමිවරුන්ගේ කවි ලිවීම් ඉතා අඩුවෙන් දැකිය හැක්කේ මෙයට හේතුව කුමක්ද

ඇත්තටම අනුරාධපුර යුගයේ ඉඳන් වර්තමානය දක්වාම ලංකාවේ සාහිත්‍යකරණය ඇතුළේ යති සළකුණ තිබුණා. එළු සඳැස් ලකුණ, සිදත් සඟරාව වගේ කාව්‍ය ශාස්ත්‍ර, ව්‍යාකරණමය ග්‍රන්ථවල ඉඳන් සංදේශ කාව්‍යාදිය දක්වාම ඒ සළකුණ ව්‍යාප්ත උනා. කොයි තරම් දුරට එහෙම උනාද කීවොත් දඹදෙණි කතිකාවතෙන් භික්ෂූන් කාව්‍යකරණයෙන් ඉවත් වෙලා ශාසනික ක්‍රියාවල පමණක් නිරතවිය යුතු බවටත් දක්වලා තිබුණා. ලංකාවේ කාව්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න පෙරගමන් වැඩියෙත් යතිවරයන් වහන්සේලා. ඒත් අවාසනාවකට වර්තමානයේ කාව්‍යකරණය ඇතුළෙ අපිට භික්ෂූන් වහන්සේලා හමුවන්නේ බොහොම අඩුවෙන්. ඒකට නිශ්චිතම හේතුව මොකක්ද කියල හොයද්දි මට හිතෙන්නෙ ප්‍රාචීන භාෂාදිය හැදෑරීමට යොමුවන පිරිස් අඩුවීම කියලයි. පාලි සංස්කෘත සිංහල භාෂාත්‍රය ගැඹුරින් හදාරද්දි අපිට ඒවායේ සාහිත්‍යයත් හැදෑරීමට හැකිවෙනවා. ඒවාගෙන් ලැබෙන දැනුම කාව්‍යකරණයට විශාල උත්තේජනයක් සපයනවා. නමුත් ඒ පැත්තට යොමුවන පිරිස් අඩුවීම මේකට එක හේතුවක් කියලා මම හිතනවා.

ඉතිං කවි පොත දොරට වැඩුම සිදුවන ස්ථාන හා වේලාවන් කිව්වොත්

ඇතුළුවීම තහනම් කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම සිදු කරන්නේ සැප්තැම්බර් දහතුන්වෙනි අඟහරුවාදා සවස තුනට. කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී තමයි එම කාර්යය සිදු කරන්නේ. නුතන භික්ෂු පරපුරේ කාව්‍ය සළකුණක් වන තැන්නේ ඤාණානන්ද හිමි, ප්‍රවීන සාහිත්‍යවේදී නලිංද සංජීව ලියනගේ මහත්මා වගේම මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මියත් එදින දේශනයන් පවත්වනවා. කාව්‍යයට ඇල්මක් තිබෙන කව්රසවිඳින ඕනෑම කෙනෙක්ට ඒ සොඳුරු සැඳෑවට සම්බන්ධ වෙන්න පුළුවන් කියන කරුණත් ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.

ඊලග නිර්මාණ ඉසව්ව කවි පොතක්ම නැත්නම් වෙනත් නිර්මාණයක්ද

ඊළඟට මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ නවකතාවක් රචනා කිරීමට. එහි කටයුතුත් මේ දිනවල ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ඒ නවකතාවේ යම් විශේෂත්වයකුත් තියෙනවා. ලබන වසර තුළ ඒ විශේෂත්වය කුමක්ද කියන කරුණ අවබෝධ කර ගැනීමට වගේම එය කියවීමටත් ඔබට අවස්ථාව ලැබේවි.

 

සංවාද සටහන – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *