අරගල පැතිර යාමේ න්‍යාය පත්‍ර – විප්ලවය හා ප්‍රතිවිප්ලවය 04

Lane (2008) ප්‍රකාශ කළ පරිදි, විප්ලවය යනු පාලක පක්ෂය පරාජය කොට සෙසු දේශපාලන පක්ෂයක් විසින් නව පාලනයක් තහවුරු කරගැනීම නොවේ. විප්ලවය යනු යම් රාජ්‍යයක යටත් වැසියන් සේ දිවි ගෙවනු ලබන ජනතාවක්, තම පාලනය වෙනස් කරගැනීමට සිදුකරනු ලබන පොදු එකරාශීවීමකි. ආරාබි වසන්තය අරාබිකරයේ රටකින් තවත් රටකට පැතිර ගියේ බාහිර බලවේගවල හෝ ආයතනවල අනුබලයක් නොමැතිව එක් එක් රාජ්‍යයන් තුල දිවි ගෙවූ පීඩිත මහජනතාවගේ කැමැත්ත මත ය. සියල්ල කුමන්ත්‍රණයන් සේ දකින්නන් මෙවැනි සංසිද්ධීන් බාහිර න්‍යායපත්‍රවල පිළිබිබුවක් ලෙස, වෙනත් ඇසකින් බැලිය හැක. කෙසේ වෙතත්, විදේශීය ක්‍රියාකාරීන් සිරියාවේ විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ ක්‍රියාවලීන් ආරම්භ කළ බවට පැහැදිලි සාක්ෂි අපට හදුනාගත හැකි වන්නේ නැත.

විදේශීය මැදිහත්වීමක් යනු සරලව වෙනත් රටක්, බොහෝ විට වඩා බලවත් රටක්, වෙනත් රාජ්‍යයක ගැටුමක් සදහා සෘජුව හෝ වක්‍රව මැදිහත්වීමකි. එම මැදිහත්වීම එම රාජ්‍යය පවත්වාගෙන යාමට මෙන්ම එම රාජ්‍ය බිදදැමීමටද උපස්ථම්භක විය හැකිය. සිරියානු තත්වය ලිබියානු තත්වය හා සංසන්දනය කිරීමේදී ජාත්‍යන්තර මැදිහත්වීමක් මගින් විප්ලවවාදී තත්ත්වයක් වෙනස් කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි උදාහරණ සපයයි.

නේටෝ මැදිහත්වීමට කොළ එළියක් දැල්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් කටයුතු කිරීමත් සමග ලිබියානු රෙජිම හමුදාවන් පරාජය කරමින් විප්ලවවාදී බලවේග ඉදිරියට ගියේය. සිරියානු තත්වය සම්බන්ධයෙන් එවැනි මැදිහත්වීමක් ආරම්භයේ සිදුනොවු අතර, තුර්කිය සහ ඉරානය යන රාජ්‍යයන් යම් මැදිහත්වීම් මෙන්ම සහයෝගය ලබාදීම් වරින් වර සිදු කර ඇත. විප්ලවවලදී සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මැදිහත්වීම් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන නමුත්, මානවහිමිකම් වෙනුවෙන් හෝ රටක් වෙනත් රටක ප්‍රශ්නවලට මැදිහත් වී ඒ හරහා එම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම නීත්‍යානුකූලද යන සාධාරණද ප්‍රශ්නය පැන නැගේ.

කෙසේ වෙතත්, සිරියාවේ පාලන තන්ත්‍රය විසින් මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ බොහෝ සාක්ෂි එවකට තිබියදීත්, ජාත්‍යන්තර මැදිහත්වීම කිසි විටෙකත් සිදු වූයේ නැත. Fixdal සහ Smith (1998) ට අනුව මානුෂීය මැදිහත්වීමක් සාධාරණීකරණය කරන කොන්දේසි දෙකක් තිබේ. පළමුවැන්න එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වෙනුවෙන් එරට එකඟ වූ අවස්ථා ය. දෙවනුව ඊනියා අසාර්ථක රාජ්‍යයන් වෙත මැදිහත් වීමේ පොදු අවස්ථා ය.

අරාබි වසන්තය එවකට පැවති බොහෝ පාලන තන්ත්‍රයන් පෙරලා දැමූ නමුත් බෂාර් අල් අසාද්ගේ නායකත්වය යටතේ පැවති සිරියාවේ පාලනය පෙරලා දමන්නට අසමත් වූයේ ඇයිද යන්න තවත් පැති කිහිපයකින් සාකච්ජා කල යුතු කරුණකි. සිරියාවේ රෙජීම හමුදා සහ කැරලිකාර හමුදා අතර ගැටුම 2011 වසරේ සිට අඛණ්ඩව පැවතුනි. අරාබි වසන්තයට මුහුණ දුන් සෙසු අරාබි පාලන තන්ත්‍රයන්ට සාපේක්ෂව සිරියානු රෙජීමයේ පැවති සුවිශේෂී වෙනස කුමක්ද?
සිරියාව සම්බන්ධයෙන් ගත් කල, බෂාර් අල්-අසාද්ගේ පාලනය අධිකාරිමය බලය අනිසි ලෙස භාවිතා කිරීමට හුරුපුරුදු වූ ඔහුගේ පියාගේ පාලන ක්‍රමයේම අඛණ්ඩ පැවැත්මකි. ජනාධිපතිවරයකු ලෙස බෂාර් ජනාධිපති ධුරයට පැමිණි විට යම් යම් වෙනස්කම් කිරීමට උත්සාහ කරන ලද නමුත්, ඔහුගේ පියාට ආවේනික සාම්ප්‍රදායික ක්‍රමවේදය සිරියානු දේශපාලනය වෙනස් කිරීමට ඔහු දැරූ උත්සාහය වළක්වන ලදී.

අරාබි වසන්ත ව්‍යාපාරය මුල සිටම ආරම්භ කරන ලද්දේ මහජන යහපතට හෝ මහජන අවශ්‍යතාවයන්ට එරෙහිව තම බලය අනිසි ලෙස පතුරවන ආණ්ඩු යටතේ සිටිමින් යුක්තිය සහ සමානාත්මතාවය ඉල්ලා හෙම්බත් වූ මිනිසුන් විසිනි.

අල්-අසාද් පවුල් පාලන තන්ත්‍රය යටතේ දශක ගණනාවක් තිස්සේ සිරියාවේ ජනතාව නිෂ්ක්‍රීයව සිටි නමුත් අරාබි වසන්තයේ සන්දර්භය තුළ විප්ලවය සඳහා ඇති හැකියාව දුටු විට, සක්‍රීය නොවීමට ඔවුන්ට නොහැකි විය. සිරියාවේ අත්තනෝමතික පාලනය සහ එවකට සමාජ නැගිටීම විමසා බලන විට ඉස්ලාමීය දෘෂ්ටිවාදය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ජනාධිපතිවරයා සහ පාලන තන්ත්‍රයේ බොහෝ සාමාජිකයින් ෂියා ආධාරකරුවන්ව සිටියදී ප්‍රධාන ජනගහනය සුන්නි මුස්ලිම්වරුන් වන එකම අරාබි රට සිරියාවයි.

සිරියානු සමාජයේ ව්‍යුහය අනෙකුත් අරාබි රටවලට වඩා සංකීර්ණ වන අතර අරාබිවරුන්, කුර්දිවරුන් සහ ඇතැම් තුර්කි කණ්ඩායම් ඇතුළු ජනවාර්ගිකත්වයේ විශාල ඛණ්ඩනයක් පෙන්නුම් කරයි. කිතුනුවන් ලෙස හඳුනා ගන්නා සිරියානුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද ඇති අතර, මෙම වාර්ගික ඛණ්ඩනය ප්‍රධාන මුස්ලිම් මූලධර්ම වන සුන්නි සහ ෂියා අතර ආගමික බෙදීම සමඟ ඡේදනය වේ.

තවත් සලකා බැලිය යුතු කරුණක් වන්නේ බාහිර රටවල ආගමික භූමිකාවන්ය. ඉරානය මුස්ලිම් ලෝකයේ ෂියාවාදයේ කේන්ද්‍රස්ථානය වූ අතර ඔවුන්ගේ සිරියානු සගයාට ඔවුන් සහාය ලබා දීමට දෙවරක් සිතුවේ නැත. ලිබියානු පාලනයට එසේ කලාපීය හෝ ජාත්‍යන්තර බලවේගවලින් කිසිදු ආධාරයක් ලැබුණේ නැත. සැබවින්ම, නේටෝව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව ගඩාෆිගේ හමුදාවන්ට එරෙහිව දිනපතා ගුවන් ප්‍රහාර යොමුකරමින් විප්ලවවාදී කණ්ඩායම්වලට එවකට සහාය වෙමින් සිටියේය.

චින්තක සමන් හේරත්
2022.09.14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *