ප්‍රේමානිශංසයේ ආනිශංස – නදීකා සෙනෙවිරත්න

චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගෙ ‘ ප්‍රේමානිශංස’ පොත මේ වසරේ (2022) විශිෂ්ටතම නව කතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීම විය යුත්තක් නියමාකාරයෙන්ම සිදුවීමකි.

අඳුරු ඉරණමක් අනාගතය තීරණය නොකරයි. ඒ අතින් අප කරන්නේ ශක්තියක් ඔසවා ලෙළදීමයි

ටෙන්සිං ග්‍යට්සෝ
14 වන දළයි ලාමා තුමා
ඩෙස්මන්ඩ් ටුටූ
විශ්‍රාමලත් දකුණු අප්‍රිකානු අගරදගුරු

පොතේ ආරම්භය ඒ විදිහටයි.

ඒ කියමන කොයි තරම් ඇත්තක්ද කියලා හැඟෙන්නෙ නව කතාව කියවා අවසාන වූ පසුවයි. මේ පොත කියවීමම එක්තරා භාවනවකට සමවැදීමක් හා සමානයි. කතුවරයා භාෂාව කොයි තරම් සීරුවට හසුරවලා තියෙනවද කියනවානම් වචන මගහැරුනොත් රසය මගහැරෙතැයි ලෝබකමකින් පරිස්සමට කියැවූ පොතක්.

ඒ වගේම ඉතිහාසය හා පුරාවිද්‍යාවෙන් පටන්ගෙන ප්‍රේමය රාගය ඔස්සේ බැඳීම්වල ස්වභාවය හඳුනාගෙන ආධ්‍යාත්මය හොයා යන චාරිකා සටහනකට එකතුවෙන්න මේ පොත කියවන කෙනෙකුට තමන්ගේ ජීවිතයත් ගවේශනය කරගන්න පුළුවන්.

සයුරු මේ පොත් එන ප්‍රධාන චරිතයයි. ඔහු අරක්කු රේන්ද ව්‍යාරයෙන් නැගී සිටි පරම්පරාවක උදුමවාගත් මානයෙන් පීඩාවිඳින වගේම , තම උරුමයේ අඳුරු සවණැළි ජීවිතයේ වැදගත්ම සාධකයන්ට කරන බලපෑම් හමුවේ අසරණ වෙන තරුණයෙක්ද වෙනවා. හැම විටම ඒ නිසා තම පෙම්වතිය ඉදිරියේ පවා අඩියක් පසු පසට තබන ඔහුගේ ඇතුල් මනසේ ස්වභාවය මේ පොත ඔස්සේ කියන්නට කතුවරයා උත්සහ ගන්නවා. ඔහු මවට සිය පෙම්වතියට මෙන්නම ඔහුව සනසන කෙවින්ට සොෆීට පවා තමන් තුළට එන්නට ඉඩ දෙන ගෞරවය මත කතුවරයා වරද නිවරද අතර පාඨකයාව රඳවනවන්ට සමත් වෙනවා.

“ ගැහැණිය උපන්නේ මා වෙනුවෙනැයි සිතීම තරම් ක්ලේෂයක් තවත් නැතැයි සහන් මට කීවේ නිරූ ගැන නොව ඈ මට හමුවන්නත් බොහෝ කලකට පෙර ලෝක ධර්මතා ගැන පොදු සාකච්ජාවකදීය…..”

10 පිටුව

මේ නව කතාවේ සයුරු හා බැඳන ප්‍රධාන ගැහැණු චරිත තුනක් වෙයි. ඒ නිරූ, අම්මා සහ සොෆියා වේ.

මම නිසොල්මනේ අසා සිටියෙමි. ඈ මට ඉහළින්, මිනිස් දුවකට ඉහළින්, දෙව්දුවක් ලෙස දුටිමි. සුළඟක් නැතත් රන්වන් කෙහෙරැළි ඇගේ දෙකන්වල අඩක් වසාගෙන වලාකුළක් ලෙස පියාඹනු දුටිමි. ඉතියෝපියානු රූමතියක සේ උස් පාද හා දෙකලවා ස්ත්‍රී ලාලිත්‍යට වැඩිමනත් අගයක් ලබාදේ. මම රාධිකා කුමාරස්වාමි ලියූ ඇත්ත වෙනුවට එතෙක් තිබූ බොරුව විශ්වාස කරන්නේ නිරූ කෙරේ උපන් ප්‍රේමයට හා තෘෂ්ණාව නිසාය. මට නීරූ කෙරේ උපන් ලෝභය අභිබවා ඒ බොරුව විනිවිදිය නොහැකිය.

20 පිටුව

“මතක තියා ගන්න …හැම හමුවීමක් ඇතුළෙම වෙන්වීමක ඉරණම ලියවෙලා තියෙන විත්තිය…. අනික මතක තියාගතයුතු වැදගත්ම දේ හමුවීම ජීවත්වීමක් වෙන්නෙ ගැලපීම හැමදාම නඩත්තු කලොත් විතරයි”

26 පිටුව

…. යලි සන්සුන් වූ ඇය ඈ සතු චමත්කාරම ඉරියව්වට පැමිණියාය. ඒ මුහුණට නගා ගන්නා බැරෑරුම් බවකි.

“මතකද ඉර බහින එක හැන්දෑවක දඹුලු විහාරෙ ගුහාවලට මෙහා පැත්තෙ ගල්තලාවක වාඩිවෙලා, රිටිගල කන්ද දිහා බලාගෙන තමුසෙ මං ගැන හීන මැව්වා. මාව දැක්ක පළමු දවසෙ තමුසෙ තිගැස්සුණා. කියාගන්න බැරි තෙරපුමකින් සුදුමැලි වෙන හැටි දැක්කා. එතනම සයුරු වෙච්ච තමුසෙගෙ ඇතුළෙ සංතෝෂෙන් පීනන්න පුළුවන් මුහුදක් තියෙන විත්තිය මට තේරුණා.

128 පිටුව

ඒ සියල්ල නිරූ ගැනය. නිරූ කියන්නෙ බොහොම ප්‍රියමනාප වගේම උගත් බුදුධිමත් කුමාරස්වාමි පෙළපතේ උරුමය රැගෙන ආ මානුශීය ගුණාංග වලින් පර්පූර්ණ යුවතියක්. ඇය තමන්ගේ ජීවිත්යේ හරය සොයා යන්නට උත්සහ දරන්නෙ සිය අභිමානවත් පරම්පරාවේ අතීතය ස්පර්ශ කරනලද මූලයන් ගවේශනය කරමිනි. ඇය සිය නිදහසට සීමා මායිම් දාගන්නට අකමැතිවනවා සේම මත් වෙන්නට කැමති සේම තම ජීවිතයේ ශෘංගාරය විඳින නූතන යුවතියක්ද වෙනවා. ඇයට උරුම දම්ළ සම්භවය දේශපාලනිකව ගලපා ගන්නා කතුවරයා එය මෑත කාලීන ඉතිහාසයේ සිදුවූ වෙනස්කම වන ආනන්ද කුමාරස්වාමී මාවත නෙළුම් කුළුණ මාවත බවට වෙනස්වීම සංකේතාත්මකව ඉදිරිපත් කරමින් ඒ ඔස්සේ යුධ ජයග්‍රහණයේ සමාජීය බලපෑම පාඨකයාට දැනෙන්නට හරින්නට කතුවරයා උත්සහා දරා තිබෙනවා.

“ මේ ගෙදර ඇවිත්, මේ ගෙදර එන්න කලින් වගේම හොඳට කෑවා බිව්වා ඇන්දා පැළැන්දා. උඹ ගැන හිතලා සංතෝෂ වුණා. ඉතිරි හැම වෙලාවෙම කළේ කල්පනාකරපු එක. උඹේ තාත්තා මට හැම සැපතක්ම දුන්නා. ඒ හින්දා මට හැම දෙයක්ම ඉවසන්නත් සිද්ධ වුණා…. ඒත් මගේ කල්පනාවට අහු නොවිච්ච දෙයක් නැහැ පුතේ.

190 පිටුව
ඒ අම්මා ලියැවුන ගැන සටහනකි. සයුරුගේ අම්මා ස්වාමියා වෙනුවෙන් තමන්ගේ නිදහස් ජීවිතය කැප කරන ලද, පුතෙක් තමන්ගෙ සතුට හා ජීවිතය කරගත් මවක් වෙනවා. ඒ මව තුළින් ආත්මාර්ථය ඉක්මවා ගිය මානුශික චරිතයක් ඉස්මතුවෙනවා.

“කන්ද විතරක් නොවේ බෑවුමත් භයානකයි.”

381 පිටුව

“හුඟක් කතා නොකලාට හුඟක් දේවල් දන්නවා නේද?”

385 පිටුව

“අපි ළඟින් හිටපු විදිහ අමතක කරන්න. හෙට ගැන ඒ සතුටු මුණගැසීම ගැන විතරක් හිතන්න. ඔක්කොම වුනේ මගේ ඕනෑකමටනෙ”

388 පිටුව

මට එළිවෙනතුරුම නින්දක් නොවිණි. සොෆියා හොඳින් නින්දට වැටුණාය. මට මහා අහිමිවීමක සාංකාවක් දැනේ. ලෝකයේ චමත්කාරජනක හා ශාන්තදායී පරිසරයක දින දොළහක් පමණ අඛණ්ඩව එක්ව හිඳිමින් වඩාලූ භක්තිය හා සෙනෙහසක කූට ප්‍රාප්තිය මම සොෆියා නිසා වින්දෙමි. එයට හිමි හතර මායිම් ඇත්තේය. එහෙයින් රාමු කරන ලද චිත්‍රයක් පරිද්දෙන් එය මගේ ජීවන පරිශ්‍රයේ එල්ලා තබමි.

389 පිටුව

මේ සොෆියාගෙ චරිතයයි. ඇගේ චරිතයෙන් බටහිර රටක වෙසෙන නිදහස්වාදී කාන්තා චරිතයක් පෙන්වා දුන්නත් ජීවිතයේ ගැඹුර අතපාත ගාන යුවතියක් මුණගැහෙනවා. ඇය ප්‍රතිපත්තියේ සිටියදී එය අකුරටම පිළිපදින අතර ජීවිතය විඳින තැනදී ඉහළම තැනකින් එය විඳගන්නත් සමත් මානසික සමතුළිතයක් ඇය සතු වෙනවා. ඇගේ චරිතය ඇසුරු කරද්දි දැනෙන සැනසීම පාථකයාටද දැනෙන්නට ලියන්නට කතුවරයා සමත්වෙලා තියෙනවා.

එහි ආ තවත් සුවිශේෂ චරිතයක් කෙවින්. මේ ඔහු ගැන අදහසක් ගන්නටයි….

“ ඔව්. නිරූ තමන්ගෙ පම්පෝරිය කිය කිය යන කෙනෙක් නොවේ ඔය වෙන ගෑණු වගේ නොවේ.”

“ ඉතිං නිරූත් ගෑණියක්නෙ…සයුරු, පම්පෝරි කියවන්නෙ ගෑණු විතරක් නෙවේ. පිරිමිත් කියවනවා. ඒක ශිෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක ජෙන්ඩර් ප්‍රොබ්ලම් එකක් නෙවේ. කෙවින් එසේ කියද්දි මගේ සර්වාංගයම විළියෙන් දැවී ගියේය.

229 පිටුව

… ඒත් මං දැන් එයා ආශ්‍රය කරන්නේ කවදා හරි ආපහු රිලේෂන්ෂිප් එක බ්‍රේක් වෙන්න පුළුවන් කියලා හිතාගෙන…. බැඳීම් කියන්නෙ කැඩෙනවාමයි. ඒක නේචර් එක …සයුරු…”

“කසාදෙක උනොත්”

“වැඩි හරියක් සිද්ධ වෙන්නෙ කසාදය කියන නෛතික රාමුව තියාගෙන බැඳීමෙ තියෙන කලර්ස් අඩුවෙන එක. අපේ වගේ රටවල නම් දරුවො අළුත් පේන්ට් ගාලා ලස්සන කරනවා.

“එහෙනම් අපේ අම්ම තාත්තලා කොහොමද පණ වගේ එකට ඉන්නෙ”

“ඒ අයට තියෙන්නෙ කැඩී කැඩී බැඳෙන සම්බන්ධකම්, ධනය බලය සමාජ තත්වය ඒ අයගෙ ජීවිතවල කොකු විදිහට තියෙනවා. ඒකයි….”

245 පිටුව

මේ චරිතය ගෙනහැර දක්වා තියෙන විදිහට අපේ ආකල්ප මත පවා වෙනස්කරන්නට සමත් වෙනබව මගේ හැඟීමයි. ලිංග බේද නොතකා මනසින් උසස් කියන හැඟීම කොයිතරම් වැදගත්දැයි පේන්න ගන්නෙ කෙවින්ගෙ චරිතය නිසායි.

ජාතිභේදය. කුලය බලය නිලය සියල්ල අභිබවා පවුරු සාදයි. පුද්ගලයාගේ පැවැත්ම…අභිමානය හෝ හීනමානය ගොඩනගයි. අභිමානය සොයා යන්නත් හීනමානය සඟවන්නට සදාචාරාත්මක පැවතුම් නඩත්තු කරන්නටත් දරණ වෙහෙස මේ පොත කියවන්නාට ඒත්තු ගන්වන්නට කතුවරයා සමත් වූ බව මගේ හැඟීමයි.

එබැවින් මේ පොත මං බොහොම ගෞරවයෙන් පරිහරණය කළ පොතක් බවද කිවයුතුමයි. එසේ වූයේ පොතෙන් ඇසුණු ආත්මීය ඇමතීම නිසාවෙන් බවත් තවදුරටත් කිවයුතුමයි.

 

✍️නදීකා සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *