අපේ කෙටි කතාව විදේශයෙන් ගෙනත් බලෙන් මෙහේ වර්ධනය කළා යැයි මම පිළිගන්නේ නෑ – කසුන් කාරියවසසම්

කාව්‍ය සමාජය තුල තරුණ කවියෙකු ලෙස අප හදුනාගෙන සිටින කසුන් කාරියවසම් සිය කුළුදුල් කෙටි කතා සංග්‍රහය කෝරළේ රාළ නොහොත් කුසුමා නමින් ජනගත කිරීමේ අවස්ථාව හෙට දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාළා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී සිදුකිරීමට නියමිත අතර, මේ ඒ සම්බන්ධයෙන් සහ පොදුවේ කෙටි කතාව සම්බන්ධයෙන් ඔහු සමග Lankatarget.com සිදුකල සංවාදයයි.

ඔබ කෙටි කතාව දකින්නේ මොන විදිහටද

පාඨකයා වෙත ගද්‍ය මාධ්‍යය හරහා කෙටි කාලයක් තුළ සම්ප්‍රේෂණය කල හැකි, ප්‍රබල එක් සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් සමග ගමන් කර අවසානයේ ඕනෑම චිත්ත වර්ණයක් තම සිත්හී සායම් කල හැකි පරිදි පුපුරායාමකින් හමාර වන, ඉස්මතුවී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් සහිත, සාහිත්‍යමය කැවීම් සහිත මනා පරිකල්පනීය ගුණාංගයන්ගෙන් පිරුණු ප්‍රභල ලිවීමක් කෙටි කතාවක් විදියට හදුන්වන්න මම කැමතියි.

 සාහිත්‍යංගයක් විදිහට කෙටි කතාව කෙරෙහි ඔබේ ඇති ඇල්ම බැල්ම කොයි විදිහේ එකක්ද,

මමත් සාහිත්‍ය අංශ කිහිපයක් එක්කම සැරිසරන්නෙක් විදියට කෙටි කතාව මට බොහොම සමීප සහ මම වඩාත් රුචි ගද්‍ය මාධ්යයක් විදියට හදුන්වන්න කැමතියි. මතක ඇති කාලයේ ඉදන්ම මම කියවන්න බොහොම රුචි කෙනෙක්. ඒ අතර මම කෙටි කතාවලට තැබූ බර අති මහත්. අපේ ජීවිතවල වර්තමාන කාර්යබහුලත්වයත් එක්ක පරිශීලනය කරන්න පහසු සාහිත්‍යාංගයක් විදියට කෙටි කතාව මම භාවිතා කරනව. මගේ ඇස කෙටි කතාව කෙරේ මුළින්ම යොමු වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කෘති ඇසුරු කිරීම හරහා. එතුමන්ගේ මඩොල්දූවෙන් ඇරුඹුනු මගේ කියැවීම අතරේ 1923 දී පමණ එතුමන් ලියූ ” ගැහැණියක් ” නමැති කෙටි කතා සංග්‍රහය මට කියවන්න ලැබෙනව. 1923 දීම V D ලැනරෝල් මහතා විසින් “උපාසක මහත්තයා ” නමින් කෙට් කතාවක් පළ වී තිබුනත් ” ගැහැණියක් ” කෙටි කතා එකතුව තමයි ලංකා ඉතිහාසයේ කෙටි කතාව මුල් බැසගන්න තැන. මගේ කියැවීම්වල කේ. ජයතිලක,( අතීරණය, අපට වැසිකිළියක්) ගුණදාස අමරසේකර,( රතු රෝස මල, ජීවන සුවද) ජී බී සේනානායක,( පලි ගැනීම) ඩබ්.ඒ. සිල්වා,මඩවල එස් රත්නායක ( තවලම්කාරයෝ – උපන්දා සිට කරපු පව්) වැනි එවක ප්රවීනයන් වගේම වර්තමානයේ එරික් ඉලයප්ආරච්චි,(විශ්රාමික පෙම්වතිය ) මොහාන් රාජ් මඩවල, ( බෝදිලිමා ) මලික් තුසිත, (චන්දරේ මචං) මහාචාර්ය ලියනගේ අමරකීර්ති(ගෙදර වට සිතියම) අනුරසිරි හෙට්ටිගේ(දිමියා), අසංක සායක්කාර (වසරේ හොදම කෙටි කතාව) වැනි ලේඛකයන් සහ තවත් අති දක්ෂ ලේඛකයන්ගේ කෘති ඇසුරු කරමින් කටයුතු කරනව. මම බොහෝ රුචියක් දක්වනව ඔවුන්ගේ ඒ ලේඛන ශානරයන්ට. ඒ වගේ ලිවීම් ඇසුර හරහා ගුණාත්මක ලේඛනාභ්‍යාසයක් කිරීමයි මගේ උත්සාහය.

අනෙකුත් සාහිත්‍ය ශානරයන්ට සාපේක්ෂව කෙටිකතාව ස්ථානගත වී ඇති තැන පිළිබදව ඔබගේ කියවීම කුමක්ද

මං හිතනව ලංකාව තුළ ගත්තොත් ගද්‍ය කලාවේ වැඩිම ඉඩක් වෙන් වෙන්නේ නවකතාවට.එහෙම වෙන්නේ ලංකික පාඨකයා දීර්ඝ වින්දනීය මනසකට ඇති කැමැත්ත නිසා විය යුතුයි. පද්‍ය කලාව ගත්තත් නිදහස් ආරේ කවිය සහ ගීත කාව්ය පමණක් ඉස්මතුවෙන්නේ ඒ හරහා මතුපිට සරළ වින්දනයකට ඉඩ සැළසෙන නිසා සහ ලියන්නන්ටත් ඒ සදහා ඇති රීති බාධක අඩු නිසා බවයි මගේ හැගීම. ඒ උදාහරණ දෙකක් විතරයි. සාපේක්ෂව ගත්තොත් කෙටි කතා ලිවීම් අපට දකින්න ලැබෙන්නේ අඩුවෙන්. පොත්හලකට ගියත් එහි රාක්ක නිරීක්ෂණය කලහොත් එය සැබැවින්ම වැටහෙනව. ප්‍රතිශතමය වශයෙන් එය අවප්‍රමාණිකව තිබුනත් ස්ථානගතවීම් තුළ හොද තැනක තිබෙනවා කියල මම හිතනව. ඔබ සහ මම අද මේ සාකච්ඡාවට සම්මුඛ වෙන්නෙත් ඒ ස්ථානගතවීමේ යහපත් ඵලයක් විදියට. ඇත්තෙන්ම සතුටුයි ඒ ගැන. කලාකරුවෝ විදියට අපට හැකිනම් කෙටි කතාව තුළ ගුණාත්මක නිර්මාණ ඉදිරිපත් කරන්න බොහෝ පාඨකයන් වෙනදාටත් වඩා වැළඳ ගනීවි.

අපේ කෙටි කතාව අපේ එකක්ද නැතිනම් විදේශයෙන් ගෙනවිත් මෙහේ බලෙන් වර්ධනය කරපු එකක්ද

මගේ කියැවීම අනුව නම් ලංකාවේ අපට දේශිය නෑකමක් සහිත ඇරඹුමක් ලාංකීය කෙටි කතාවලට තියෙනව. වනපොත් වහරෙන් ආපු බොහෝ කතා පසුව අපේ ගද්‍ය සාහිත්‍යට මුහු වෙලා ජාතක කතා පොතෙන් ඇරඹෙනව කියල මට හිතෙනව. කෙටිකතාවලත් ජාතක පොතේ කතාවලත් අංග ලක්ෂණවලින් ඇතැම් තැන් වෙනස් උනාට මූලය හා හැඩය එක හා සමාන බවයි මට හැගෙන්නෙ. කෙටි කතාව පසුකාලීනව වෙනස් වෙවී දියුණු මානයන් වෙත එන්නට ඇති. එය සාමාන්‍ය කරුණක්. හරියට අපේ සිංහල අක්ෂර මාලාව වගේ. මේ ගැන මාර්ටින් වික්‍රමසිංහ සූරීන්, ගුණදාස අමරසේකර සූරීන්, එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන් වැනි අය තර්ක විතර්ක ගෙන එමින් දීර්ඝ කතිකාවත්වල යෙදී තියෙනව. ඒවා අපි සැළකිල්ලට ගන්නට ඕන කෙටි කතාව අධ්‍යනයේදී. මෙතැනදී අපේ කෙටි කතා කලාවට විදේශීය ආභාෂය නොලැබුනා කියල කිසිම විටෙක කියන්නට බැහැ. වි⁣ශේෂයෙන් රුසියානු සාහිත්‍ය ආභාෂය. නමුත් එය බාහිරින් ගෙනැවිත් මෙහෙට බලෙන් එබ්බුවා කියන තැන මම නැහැ.

ඔබ කවියෙක් විදිහට තමයි රසික සමාජය හදුනාගෙන තිබෙන්නේ. කවියත් කෙටිකතාවත් අතර ඔබ දකින සමානතා මොනවද

මම මුළින්ම කලාවට එන්නේ ගද්‍ය හරහා. 2006 වසරේ මගේ මුල්ම ජාතික තලයේ කෘතිය ” අවුකන විහාරය සහ සෙල් පිළිමය ” නමින් නිකුත් වෙනව. ඒ වෙනකොට මම යම් තරමකින් කවියත් එක්ක හිටියත් ඒ දේවල් ප්‍රකාශණය කරගන්න යහපත් මාධ්‍යයක් මම හදුනාගෙන ඉන්නේ නෑ. නමුත් පසුකාලීනව කවිය එක්ක මගේ ආශ්‍රය වැඩි වෙනව. ඒ අනුව තමයි කාලයක් තිස්සේ ලියූ කවි එකතු කරගෙන මගේ දෙවැනි කෘතිය කාව්ය ග්‍රන්ථයක් විදියට 2020 වසරේ සන්ථව ප්‍රකාශණ හරහා එළිදක්වන්න ලැබෙන්නේ. මේ වෙලාවෙ මම අවස්ථාවක් කරගන්නව මාව කවි ලෝකයට මතු කලාට ප්‍රවීණ කිවිවර, ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ට ආචාර කරන්නත්. ඉතින්….කවිය නමැති පද්‍ය සමග කෙටි කතාව නමැති ගද්‍ය ගත්තම සමානකම් කිහිපයක් මම දකිනව. එකක් මේ සියල්ල සාහිත්ය. අපේ නිර්මාණ ගද්ය හෝ පද්ය වේවා අපි ඒවා පාඨකයන්ට, අසන්නන්ට, නරඹන්නන්ට දෙන්නෙ සතුටු සිත් ඇති කරවන්නත්, වඩා සංවේදී පුද්ගලයන් බිහිකරන්නත් වගේම තිබෙනවාට වඩා සවිංඥානික බවක් ඔවුන් කෙරේ ඇති කරවන අභිලාෂයෙන්. එය කවියෙන් වගේම කෙටි කතාවෙනුත් ඉෂ්ඨ වෙනව කියල මම හිතනව. කවියක ගීතයක ගත්තත්, කෙටි කතාවේ ගත්තත් යම් මූලික කාරණාවක් ලක්ෂය කරගෙන නිර්මාණ හමාර කල යුතුයි. කවියටත් කෙටි කතාවටත් ලිවීම් සීමා මෙතෙකැයි කියා නැති උනත්, කවියා වගේම කෙටිකතාකරුවාට නිරායාසයෙන්ම ඒ ඒ රීතීන්වලට අනුගත වෙන්නට සිදු වෙනව. ඒ හැරුනුකොට කවියත් කෙටි කතාවත් අතර සැළකිය යුතු වෙනස්කම් රැසකුත්.තියෙනව.

ඔබේ කෙටිකතාව සදහා බලපෑ දෙස් විදෙස් කෙටිකතා කරුවන් කවුද

මම තවම කෙටි කතා කලාවට පුංචිම පුංචි වැලි කැටයක් තරම් අයෙක්. මම මගේ ලිවීම්වලදී සයිමන් නවගත්තේගම සූරීන්, කේ ජයතිලක සූරීන්, කැත්ලින් ජයවර්ධන, වගෙම අසංක සායක්කාර සූරීන්, කපිල ගාමිණි ජයසිංහ සූරීන්, වැනි ලංකික කෙටිකතාකරුවන් වගේම ඇන්ටන් චෙකොෆ්, ගී ද මෝපසාං, රුබීන් දාරියෝ වැනි අයගේ කෙටිකතාවල යම් යම් කියැවීම් බලපෑමක් වන්නට ඇති කියල මම හිතනව.

ඔබ කෙටිකතා පොතේ අන්තර්ගය කෙබදුද

කෝරළේ රාළ නොහොත් කුසුමා නමින් ලියපු මගේ කුළුදුල් කෙටි කතා සංග්‍රහයේ විවිධ තේමාවන්ගෙන් ලියැවුනු කෙටි කතා නවයක් ඇතුළත්. වැඩවසම් යුගයේ රදළවාදය. එදා සිට අද දක්වා අප සෑම තැනකට දකින අසමතුළිත ජීවන අවස්ථා. අසම්මත යැයි ලොව දකින ප්‍රේමය. මිත්‍යා විශ්වාස හා බැදුනු අපේ ජීවන රටාවේ ව්‍යාකූල තැන්. විරහව වගේ කාරණා මගේ කෙටි කතා පොතට මම ඇතුළත් කරලා තියෙනව.

පොත කොයි විදිහටද ජනගත වෙන්නේ, ඒ ගැන ටිකක් විස්තර කරමු,

ඔව්. සාහිත්‍ය මාසයේ 24 වෙනි සෙනසුරාදා පෙරවරු 10.00ට ඒ කියන්නේ හෙට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් පැවැත්වෙන 2020 පොත් ප්‍රදර්ශණ භූ⁣මියේ දී තමයි කෙටි කතා සංග්රහය එළිදැක්වෙන්නේ. එහිදී දේශකයන් විදියට ජ්‍යෙෂ්ඨ කිවිවර, ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ජ්‍යෙෂ්ඨ කිවිවර, සම්මානනීය ගේය පද රචක රවී සිරිවර්ධන, සහ සුභාෂිණී ඒකනායක කිවිදිය ප්‍රධාන කථිකයන් දේශන පවත්වනවා ඇති. ඒ වගේම ප්‍රසාංගික අත්දැකීමක් ලෙසින් මෙහි ගීත ගායනයට ඉන්දික ලියනගේ, නිමානි සන්දීපනී ගමගේ සහ දේදුණු සමන්මලී ගැයුම් සිදු කරාවි. සංගීතය සපයන්නේ මාලක රත්නායක. පූරක භූමිකාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි නිරංජලා හේමමාලි වෙඩික්කාර විසින් සිදු කිරීමට නියමිතයි. මගේ ආදරණීය රසිකයන්ට, පාඨකයන්ට, සියලු දෙනාට විවෘත ආරාධනයක් කරනව එන්න කියල එදාට… මගේ නිර්මාණය එක්ක මුහුවෙන්න. මට මේ අවස්ථාව ලබා දුන් Lankatarget.com වෙබ් අඩවියටත්, තුසිත පතිරණ, චින්තක සමන් සහෘදයන්ටත් බෙහෙවින්ම තුති.

 

සංවාද සටහන – චින්තක සමන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *