පිරිමි බයයි තමන්ගෙ මුල් ගෑනිට වඩා හොර ගෑනි නරක වෙයි කියලා – දෙවැනි ගැහැණිය – මංජුල සේනාරත්න

ජීවිතයේ, සරලව පෙනෙනමුත් සංකීර්ණව ගොඩනැගෙන නොයෙකුත් හෘදයංගම සබඳතා හමුවේ පළමු තැන හෝ දෙවෙනි තැන වෙන්කරදීම කෙතරම් අසීරුදැයි දන්නේ එයට මුහුණදෙන්නෙකු පමණිය. එය කෙනෙකුගේ හදවත සදහටම නතර කරන්නට වුවද සමත් තීරණාත්මක සාධකයක් විය හැකිය.

එක් ගැහැණියකගෙන් වෙන්වී වෙනත් ගැහැණියකලඟ නැවතීම යන තීරණය අභියස මතුවන පවුල් සබඳතාවන්හි කැළඹීම මෙන්ම ප්‍රංශය වැනි රටක වුවද එහි ජීවත්වන ලාංකේය සදාචාරාත්මක පරිසරය වුවද සසල වන ආකාරය කතුවරයා ගෙනහැර දක්වන්නෙ අප තවමත් අවබෝධාත්මය බැඳීම් සංකල්පයේ ළදරු අවධියක සිටින බව පසක්කරමින්ය.

වික්‍රම යනු අනෙකාගේ දුකේදී අහකබලා යා නොහැකි නිසාම අනුකම්පාව මුසු සෙනෙහසකින් සිය පවුල හාබැඳී යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් තමාගෙම සීමා මායිම් තුළ වැරදි නොකරන ජීවිතයක් ගෙනගිය මිනිසෙක් වුවද තමන්ට අවනත කරගත නොහැකි නිරුත්සාහයෙන්ම තමන්ගෙ හද බැඳෙන සෙනෙහස ඉදිරියේ කෙතරම් උත්සහගත්තද පිටුපාන්නට නොහැකිවූ පෙම්වතෙකි.

ගැහැණියක් යනු මත්ද්‍රව්‍යක් නොවේදැයි වික්‍රමට සිතුණි. සිත ගියොතින් ගැලවීම අපහසුය. එහෙත් සිත බැඳීතිබුනේ ඇගේ රූපයටවත් , අඟපසඟවලටවත් නොවේ. හුදෙක්ම ඇය සමග කෙරෙන දුරකථන කතාබහට ඔහු ප්‍රිය කළේය. ඇයව හමුවී ගතව යන පැයක දෙකක කාලය ඔහු සිතට සුවයක් ගෙන ආවේය.එය වනාහි බොහෝ නිදහස් කතාබහකි. සීමා රහිත වදන් හුවමාරුවකි…..

215 පිටුව

කෙනෙකුට සමුදීම අසීරුවන තරමටම සංවේදී හිතක් ලැබීම සංවේදී මිනිසෙකුට ලැබෙන දඬුවමක් බඳුය.

“එකම ගැහැනියක් සමග තිස් වසරක් දිවි ගෙවන්නේ කෙසේද? මේ තිස් වසර තුළ සිතට ඇතුළුවන ප්‍රේමනීය හැඟීම් විඳිමින් මානසික පීඩාවකටලක්විය හැකිද? තමා විසින්ම සදාගන්නාලද සදාචාරය නැමැති සිරගෙදර සිරවුන සිරකරුවෙකු වශයෙන් දිවිගෙවාදමන්නට හැකිද? අතරමැදි මොහොතකදී අහක බලන්නට නොහැකි ආදරයක් ජීවිතයට ඇතුළු වුනොතින් කළ යුත්තේ කුමක්ද? ගන්නා පියවර කුමක්ද?

58 පිටුව

කතුවරයා වික්‍රමගේ චරිතය පොතපතට ආදරය කරන, අනෙකාට උදව් කරන සමාජය පිළිගත් නිවුන ගති පැවතුම් ඇති ජීවිතය සුන්දරව විඳින චරිතයක් ලෙස කියාපාන අතරම සමාජ සම්මතය බිඳ දමමින් සීමා මායිම් තරණයකර යන්නෙකුගේ හිත විනිවිද පෙන්පමින් පාඨකයාට සිද්ධි අතර අතරමංකරන්නට සමත් වන්නේය.

සුමිත්‍රා වික්‍රමගේ බිරිඳයි. ඇය නවකතාව පුරාවටම සිහිපත් කරන්නේ උහුලන්න බැරි බරක් දරාගෙන සරලව ඉන්න හදන කාන්තාවකගේ පීඩිත චරිතයයි. දියණිය හමුවේ පමණක් තම හිත නිදහස් කරගන්නා ඇය නිශ්ක්‍රිය ගිනිකන්දක් මෙන් දරා සිටින්නීය.

“ඔයා දන්නවද ගෑනියෙක්ගෙ හිත කොයි තරම් බරද කියලා? වාසනාවකට වගේ හැඟීම් කියන ඒවා කිලෝ වලින් මනින්න බැහැ. එහෙම වුනානානං මේ ලෝකේ හුඟක් ගෑනුන්ට කකුල් දෙකින් හිට ගන්න බැරි වෙනවා, හිතේ බර උහුලන්න කකුල් දෙකට බැරි හින්දා. ගෑනු එහෙම තමයි දුවේ. දුක් කරදර නැති කරගන්න බැහැ. අවම කරගන්නවා ඇරෙන්න.”

37 පිටුව

ඇය තමාගෙන් වෙන්වී යන සැමියාට දෙවැනි ගැහැණිය ළඟට යන මොහොතේදී දාර විවර කර දෙන්නීය. පියවයන ඔහු සමග පසු ගමන් යන්නීය. සිදුවන සිද්ධිදාමගේ තම වරද සාධාරණිකරණය කරන්නීය. විඩාපත්වන්නීය. ඉන් මිදෙන මං සොයන්නීය.

පිරිමියෙකුට හොර ගෑනියෙක් ගාවට යන්න තමන්ගෙ ගෑනිගෙ අඩුවක් තියෙන්න ඕනෙ නැහැ. අනික මගේ අඩුපාඩු තියෙන්න ඇති. කා ලඟද අඩුපාඩු නැත්තේ? අපි හැමෝම උත්සහ කරන්නේ සම්පූර්ණ වෙන්න නෙවෙයි. අඩුපාඩු අවම කරගන්න. මමත් එහෙම කළා දුවේ.

92 පිටුව

තම සැමියා ගැන කෝප නොවන ඇය මේ තරම් සැමියාට ගරුකරන කාරණාව සඟවාගෙන සිටින්නීය. ගැහැණිය බිය වන්නේ සැමියා වෙන ගැහැණියක ගැන කායික සබඳතා පැවැත්වීම ගැන නොවේ. ඔහු තවනෙකුට ආදරය කරාවි යන කාරණය ගැන වේ.

පිරිමින්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? හොර ගෑනියෙක් ලඟට යන්න එයාලාට ධෛර්යක් නැත්තෙ, එයාලා බයයි, තමන්ගෙ මුල් ගෑනිට වඩා හොර ගෑනි නරක වෙයි කියලා. මුල් ගෑනිව අත්හරින්න එයාලා කැමතියි. ඒත් දෙවැනි ගෑනිත් එක්ක අළුත් ජීවිතයක් පටන් ගන්න එයාලා බයයි.

96 පිටුව

පිරිමි නම් නරුම ජාතියකි. ඔවුහු ගැහැණුන්ට ලොල් වෙති. ගැහැණු සමග සිරුරින් බැඳෙන්නට ඔවුන්ට ආදරයක් උවමනා නොවේ. එහෙත් තමාගේ මිනිසා වසර පහක සිට දෙවැනි ගැහැණියක් සමග පැටලී ඇත්නම් ඔවුන් දෙදෙනා අතර ආදරයක් ගොඩනැගී තබෙන්නට පුළුවන. දැන් සත්‍ය ලෙසම දෙවැනි ගැහැණිය බවට පත්ව සිටින්නේ තමාය. මේ නිවසේ පමණක් නොව, දරුවන්ගේ ජීවිතවල කැපී පෙනුණු එකම හා ප්‍රථම ගැහැණිය වූ තමාට දෙවැනි ස්ථානය ලැබීම සුමිත්‍රා ඉවසුවේ නැත.

97 පිටුව

එමා හෙවත් දෙවැනි ගැහැණියද ජීවිතයක් ආදරයක් හොයන තවකෙකුට දුකක් නොපතන ගැහැණියක් විය නොහැකිද? පොත කියවා ඇයව සොයා ගන්න හැකිනම් එය සාධාරණ යැයි සිතේ.

ස්ත්‍රියකගේ කඳුළ පිස දැමීම කඩිසර ගමනක වේගය බාල කරන්නට සමත් වෙයි. වදින්නට අදින ඊතලයෙ විස මකා දමයි. පුපුරන්නට ආසන්නව ඇති ගිනිකඳු සිසිල් කරයි. ගැහැණිය යනු බෙහෙවින්ම ත්‍යාගශීලී වස්තුවකි. තමන්ගේ ප්‍රථම ප්‍රේමය, ප්‍රථම හාදුව, ප්‍රථම ස්පර්ශය වැනිදේ මතකය නමැති සාක්කුවේ දමාගෙන, මිය යන තුරු විටින් විට පිටතට ගෙන සිරි නරඹන ඇය, තමන්ගේ කඳුල බෙදා ගත් තැනැත්තාව ලෙහෙසියෙන් අමතක නොකරයි.

151 පිටුව

ඔය මිනිහෙ ආයෙ ආවොත් ඔයාට සිද්ධ වෙනවා එයාගෙ දෙවැනි ගෑනි වෙන්න. ඔයා කැමතිද ඒකට? නැන්දා ඇහුවා. ලෝකෙ කොයි තරම් දෙවැනි ගෑනු ඉන්න ඇත්ද? දෙවැනි ගෑනු ගැන කොයි තරම් කවි ගීත පොත් ලියැවිලා ඇත්ද? එයාලා හුඟක් වෙලාවට පරදින ජාතියක්. හැමෝගෙන්ම බැනුම් අහන ජාතියක්. හැමෝගෙම වෛරයට ලක්වෙන ජාතියක්.

265 පිටුව

කෙසේ නමුත් ජීවත්වෙන කාලය තව කෙතෙක් දැයි අප නොදනිමු. ගෙවා නිමකළ කාලයෙන්ද අවුරුදු දහයක් පහළොවක් වූ ළමා තරුණ වියේදී නොව සැබෑවටම නිදහස්ව තීරණ ගන්නා දිනය කවදා වේද ? එයට අවුරුදු 60ක් වුවද ගත කරන්නට සිදුවිය හැකිය. කොතරම් නොසැලෙන මිනිසෙකු වුවද දැනෙන ආදරයක් හමුවේ සසැලෙනු ඇත.මිනිසෙකුගේ ජීවිතයට ආදරයක් ලැබීම වාසනාවක් වන නමුත් මිදෙන්න බැරි දෙආකාරයක ආදරයන් දෙකක අතරමංවන හිතක් තිබීම අතිශය ඛේදනීය ඉරණමකි.

නදීකා සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *