පොදු පුරුෂයා – සුනේත්‍රා රාජකරුණානායක ( නව කතාවක වග )

භූමිකම්පාවකට වඩා සිතක ඇතිවන කම්පාව බලවත් බව 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නව කතාව වන පොදු පුරුෂයා කියවන අයෙකුට හඳුනාගන්නට ලැබේවි.

එහි එන මනෝරම්‍යාගේ චරිතය ඇය දැඩි ලෙස ආදරය කළ පිරිමියාගෙන් පවා තමන් බලාපොරොත්තු වන, සෘජු ගතිගුණ හිඟ බව දැනෙන්නට වූ විට අවිවාහක තමන්ට, දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගෙනත් දරුවාගේ පියාව අතහරින්නට තරම් දැඩි තීරණ ගත් ගැහැණියකි.

පසුව ඇයට බොහොම කිට්ටු හාදකමක් පවත්වන සාෂා නම් වන, තම වයසට සමාන්තර වයසේ පසුවන පුද්ගලයෙකු තමන්ගේ එකම දියණිය වන වර්ණාසි සමග පෙමින් බැඳී මවගේ විරෝධය නොතකා විවාහ වීමෙන් ඔවුනොවුන් අරවන හැලහැප්පීම්වල සංකීර්ණබව කියාපාන්නට කතුවරිය සමත් වන්නේ ඒ ඒ චරිතය පාඨකයා වෙත ආරෝපණය කරමින් වීම මෙහි එන විශේෂත්වයයි.

ඇය තම විශ්වාසය කඩකළ එක් පිරිමියෙකු නිසා සමස්ත පිරිමි වර්ගයා කෙරෙහිම සැකයෙන් බලන්නටත්, පිරිමින්ව තමන් විසින්ම ළකුණු කරගන්නා ලද සීමාවෙන් එපිටින් තබන්නටත් කටයුතු කරයි . ඇයගේ මනසේ කෙතරම් ප්‍රබල සලස පිරිමියා කෙරෙහි අවිශ්වාසය දළුලන්නේද යත් සැමියා විසින් තම දියණියව කොයි මොහොතේ හෝ හැර යාවි යන දැල්වෙන බලාපොරොත්තුවකින් දියණිය පෙනෙන මානයකම රැඳෙමින් ඇය බලාහිඳියි

“ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඔයා හොඳට ඉගෙන ගන්න. ඊට පස්සෙ ඔයාට හිතුනොත් ගෙදර පත්තිනි මෑණි කෙනෙක් වෙන්න ඕනි කියලා ඒකට යට වෙන්න. ඒත් ඕනම වෙලාවක තමන්ගෙ බත්පත් තමන්ට හොයා ගන්න පුළුවන් පසුබිමක් එක්කයි ඒක තියෙන්න ඕනි”

85 පිටුව

මනෝරම්‍යා සිය දියණියට කියන මේ වදන්, සර්ව කාලයටම බලපාන සත්‍යක් බව සමස්ත සමාජයේ බොහෝ දියණිවරුන්ට අවබෝධවන විට මග වැරදී අවසන්වීම දුකට කරුණයි.

සාෂා වර්ණාසි ඉදිරියේ මවන්නේ ඇගේ ලද බොළඳ තරුණ සිත බඳවන්නට සමත් කතාවන්ය.

“ඔයා ළඟ තියෙන්නෙ ගැඹුරු නිශ්චල සතුටක්. හරියට සඳුන් සුවඳයි පිච්ච මල් සුවඳයි මිශ්‍ර වෙලා හැදිච්ච දෙයක් වගෙයි. ඔයා ළඟ අමුතු සන්තෝසෙකුයි, අමුතු තැන්පත්කමකුයි තියෙනවා. සමහරවිට ඊට යටින් මේ මං වගේ දඟ කෙනෙකුත් නිදාගෙන ඉන්නවා ඇති. ඉඳිකට්ට අතේ ඇනිලා නිදාගෙන හිටිය කුමාරි වගේ වෙන්නත් බැරි නෑ”

102 පිටුව

“ එදා මං ඔයාට කිසි දෙයක් කිව්වෙ නැත්තෙ හිත රිදෙයි කියලයි. පිරිමි එහෙම වෙලාවල්වලදි ඒ වගේ කතා කියන්නෙ ඒවා කවදාවත් නොකෙරෙන බව දැනගෙනමයි. ඒ වුනාට ඔයාගෙ ජාතියෙ ගෑණුන්ට එහෙම වචනයක් ඇති හීනයක් හදා ගන්න“

111 පිටුව

සාෂා මව වන මනෝරම්‍යාව තමන් කෙරෙහි බඳවන්නට සමත් වන්නේ ඊට වෙනස් ආකාරයටයි.

දැන් ඔයාගෙ හිත මගෙන් මිදිලා දුවන්න කියලෙ ඔයාට යෝජනා කරනවා ඇති. ඒ ඔයාගෙම හිත “නෙවෙයි. ඔයයි මමයි හැදුනෙ සුද්දන්ගෙ චරිතයෙන් එකගෙයි කෑම හිටං නූගත් ගෝත්‍රික වැඩක් බවට පත් කරපු පරිසරයකනෙ. මිනිස්සුන්ගෙ කෑම බීම ඇඳුම් පැළඳුම් ආගම් කතා කරන භාෂාව විතරක් නෙවෙයි හීන පවා යටත්විජිතකරණයට අහුවෙලානෙ. දැන් ඔයාට පපුවෙ හඬ වගේ ඇහෙන්නෙ ආන්න ඒ අඬවැඩියාවයි”

190 පිටුව

බොහෝ දුර්වල පිරිමි තමන් විවාහ වන කාන්තාව තමන්ට වඩා අඩු උගත්කමක් , සමාජ හා දේශපාලන නොදැනුවත්කමක් තිබීමෙන් තමන්ගේ පවුල් ජීවිතය සාර්ථක කරගත හැකියැයි සිත්නනේ එසේ නොවුනහොත් තමන්ගේ පිරිමිකම බාල්දුවනු ඇතැයි යන බිය නිසාවෙනි.

මං නිකං ඔහේ පා වෙවී හිටිය බෝට්ටුවක් වගේනෙ. එයා මගේ ජීවිතේ පිරෙව්වා . එයා දේශපාලනය දන්නෙත් නෑ. මං දන්න හුඟක් දේවල් දන්නෙත් නෑ. ඒත් ගෙදර ගියාම මිනිෙහකුට රජෙකුට වගේ දැනෙන්නෙ ඒ වගේ ගෑණියෙක්ගෙ අහිංසකකම හිංදයි. මං කවදාවත් එයාට වරදක් කරන්නෙ නෑ.

212 පිටුව

මේ ආකාරයෙන් පාඨකයාගේ සිත දැඩි කම්පාවට ලක්කරන කතුවරිය, අවසාන පිටු 70 තුළදී පාඨකයාව අතින් අල්ලන් ගෙන ආ දුර නිමවන්නට පෙර මගකදී අතුරුදන්ව ගියා වැනි හැඟීමකින් අතරමං කරන්නටත් සමත්වීමත් වෙනස්ම අද්දැකීමකි.

✍️නදීකා සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *