ගිනි පුලිඟු අතර  ඉල් මහේ  මතක…

අරගලයක් සමාජ ජයග්‍රහනයක් දක්වා ගෙන යන්නට උර දුන් වැඩිම මිනිසුන් සමූහයක් ලක් දෙරණ මත ඝාතනයට ලක් වූයේ 1987-90 වසර වලදීය. ඉනුත් වැඩි දෙනෙකු ඝාතනය කෙරුනේ 89 නොවැම්බරදීය.දකුණේ මෙන්ම උතුරේත් ස්වකීය ආදරණීයයන්ට සිදු වූයේ කිනම් විපතක් දැයි සොයා බැලීම අතීතය පුනරාවර්ජනය කරමින් සිටීම පමණක් නොවේ. වර්තමානයේද අතුරුදහන් වූ දරුවන් සොයා යමින් ඇවිද යන විඩාපත් දෙමළ මව්පියන්ගේ කේඩෑරි වී ගිය කෙසඟ රූ දසුන් දකුණේ අතීත සංවේගයන් යළිත් සිහිපත් කරයි. ස්වකීය ආදරණීයයන් ගේ අවසන් මොහොත ගැන, පාලකයින් විසින් ඔවුන්ට කුමන ඉරණමක් අත් කලේද කියා දැන ගැනීමට තිබෙන අයිතිය, අපේක්‍ෂාව කිසිවෙකුට හෝ බැහැර කල නොහැකි යුක්ති ධර්මයකි.

සාමාන්‍ය ජනයා අතර ප්‍රකටව සිටි නායකයින් මෙන්ම අප්‍රකට නායකයින්ද අත්තඩංගුවට ගැනීමෙන් පසු හෝ පැහර ගෙන යාමෙන් පසු ඝාතනය කෙරුණි. රෝහණ විජේවීර සහෝදරයා ඇතුලු මේ ප්‍රකට නායකයින් මරා දැමූ අන්දම ගැන සමාජය තුල තරමක් හෙළිදරව් වී තිබුනත් අප්‍රකට නායකයින් ගැන ඇත්තේ ඉතා සැඟවුනු යටගිය තොරතුරුය. සීතල කඳුකරයෙන් පැමිණි ආරියසේන තෙන්නකෝන් සහෘදයා ඉල් මහේ ගිනි පුලිඟු අතර එක් මතකයකි. වර්ථමාන රනිල් රාජපක්ෂ එකල රනිල් ‘වික්‍රමසිංහ’ කෙනෙකි. එවකට ඔහු පිං ජනාධිපති කෙනෙක් නොව බලවත් ඇමතිවරයෙකි. ඔවුන්ගේ බංකොලොත් නිවට පාලනයට අභියෝග කර මරණය කරා ගිය ආරියසේන දිළිදු එහෙත් බලවත් විප්ලවකාරී දේශපාලන නායකයෙකි. ඔහු තම මිනීමරුවන්ගේ ග්‍රහණයට හසුවන්නේ 1989 ඔක්තෝඹර් මාසයේ අවසන් දිනකය. ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසු වධබන්ධනයට ලක්කර තිබුනේ මත්තේගොඩ යුධ හමුදා කඳවුර තුලය. ඒ සැඟවුනු කතාවේ ඉතා කෙටි සඳහනකි මේ….
සාමාන්‍ය සිරුරකින් යුතු මිනිසෙක් තමන්ගේම රුධිරය තුළ ගිලී සිටියේය. ඈත සිට බලා සිටින්නෙකුට මේ දසුන පෙනුනේ මිනිසෙකු සුව පහසුවේ සිමෙන්තු පොලොවෙහි වැතිර නිදා සිටින ඉරියව්වකි. සෙනරත් මේ මිනිසා දෙස ඉතා ඕනෑ කමකින් මදක් බලා සිට ටිකෙන් ටික ඒ වෙත ලං වුනේය. මිනිස් සිරුරින් ගලා ගිය රුධිරය ඔහු දුටුවේ එවිටය. සෙනරත්ට මාස හය හතක පමණ කාලයක් තිස්සේ මෙවැනි දසුන් හුරු පුරුදුය. එහෙයින් අමුතු ගැස්මක්වත් අමුතු සතුටක්වත් ඔහුට දැනුණේ නැත.දෙපිළෙන් එක් පිළක් තෝරාගත යුතු තීරණාත්මක මොහොතේ  ඔහු තෝරාගත්තේ වැඩි බලයක් සහිත පිලය. කෙනෙකු හසුවී  කඳවුර තුලට ගෙන ඒමෙන් පසු ඔහුව හඳුනා ගැනීමට සෙනරත් උපකාර කරමින් සිටියේය. ඒ හැර මංමාවත් වල, නගර වල ඔහුව බිල්ලෙකු හැටියට පාවිච්චි කිරීමට හමුදාව උත්සාහ කලත් ඒවා මගහැර හමුදාවට ඉඟි නොසපයමින් පක්ෂයේ සගයින් සාමාන්‍ය ජනයා අතරින් ඇදී නොපෙනී යන තෙක් ඔහු  නිහඬව බලා සිටියේය. ඔහුගේ හෘදසාක්ෂිය අන්ධකාරයත් ආලෝකයත් අතර වූ ගැඹුරු සුළියක අතුරුදහන්ව තිබුනා වැනිය.
“ඊයෙ ගලවිල වත්ත සෝමවංශ ගෙ ස්පොට් එකේ ඇම්බුස් එකට අහුවුන වුන එකෙක් සර්… වචනයක්වත් එළියට දැම්මෙ නෑ සර්…“
අසල සිටි ආර් ඩී එෆ් බලකා කෝප්‍රල් වරයෙකු එලෙස පැවසුවේ සෙනරත් සමගින් එහි පැමිණී ලුතිනන් වරයෙකුටය. මෙකල විශේෂ විමර්ශණ වල යෙදී සිටි මේ ලුතිනන් වරයා “යටෝරා කැෆටේරියා“ සිට එදින මත්තේගොඩට පැමිණ තිබුණේ හඳුනා ගත නොහැකි නායකයෙකු යැයි සැක සිතිය හැකි පුද්ගලයෙකු එහි සිටින බවට ඉහල නිලධාරියෙකුගෙන් ලැබුණු ඇමතුමකිනි.
දරුණු පහරදීම් නිසා මුහුණ විකෘති වී ඉදිමී ලේ පැහැ ගැන්වී තිබුණු මුහුණු දහසක් අතරින් වුවද මේ මිනිසා හඳුනා ගන්නට සෙනරත්ට හැකි විය. මිය යන සහ මියයමින් සිටින මිනිසුන් බොහෝ ගණනක් දැක පුරුදු අත්දැකීමෙන් ඔහුට යම් දෙයක් අවබෝධ විය.ඒ මේ මිනිසා තවත් විනාඩි කිහිපයක් තුල වුවද මිය යා හැකි බවයි.ආයාසයෙන් හුස්ම ගනිද්දී ඔහුගේ උගුරෙන්  නැඟුණේ බුබුළු රාශියක් බිඳෙන්නාක් වැනි රිද්මයකින් තොර හඳුනාගත නොහැකි හඬකි. මිනිසා දෙස බලාගෙනම සෙනරත් ලුතිනන් වරයාට ඔහු කවරෙක් දැයි පැවසුවේය.
“සර් මෙයා මං දන්නව…මේ ඉන්නෙ ආරි මහත්තයා….. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් “සුගත්“ කියන්නෙ මෙයාට.”
කලක් තිස්සේම ඔවුන් ලුහුබඳිමින් සිටිනා “ආරි මහත්තයා, සුගත්“ යන නම් ඇසෙත්ම ලුතිනන් වරයා විශ්මයට පත් විය. මහත් කලබලයට පත් ලුතිනන්වරයා වහා ඔහුට වතුර ටිකක් පොවා කතා කරන්නට උත්සාහ ගන්නැයි සෙනරත්ට පැවසුවේය.
ලුතිනන්වරයා යටතේ උන් සෙබලුන්ද කඩි ගුලක් සේ ඇවිස්සුනේය. ඔවුන් ආරියසේන වත්තම් කරගනිමින් කෙලින් කරන්නටත් ඔහුට වතුර හා ග්ලූකෝස් පොවන්නට යුහුසුළු වූහ. මර්ධනීය බලකාය සිතුවේ සියලු රහස්‍ය තොරතුරු සමඟ ඔහු මිය ගියහොත් එය මේ මොහොතේ ඔවුන් ලබන එක්තරා පරාජයක් ලෙසය. කීපදෙනෙක් එකතුව ආරියසේනගේ මුවට වතුර වත්කලත් ඒවා කුඩා ධාරාවක්ව කටේ එක කෙළවරකින් ගලාගෙන ගියේ තවත් ඝාතන වැලක් පිළිබඳ වූ ඔවුන්ගේ මිනීමරු සිහිනය කඩා බිඳ දමමිනි.
“ආරියසේන“ හෝමාගම ගලවිල වත්තට පැමිණියේ ඔහු හම්බන්තොට සිට ගම්පහට මාරුවක් ලැබ යන අතරේදීය. ගම්පහට යන්නට පෙර ඔහුට ඩී ඇම් ආනන්ද (අධිකාරී) හමුවීමට යොදා ගෙන තිබුණේ මේ ගලවිල වත්ත නිවසේදීය. ඒ 89 ඔක්තෝබරයේ අවසන් සතියේ දිනකය. 1987 වසරේ මැද පටන් හෝමාගම ගලවිල වත්තෙහි සෝමවංශ අමරසිංහ පදිංචිව සිටි මෙම නිවස මධ්‍යම කමිටු හමුවීම් හා වෙනත් විශේෂ සාකච්චා වෙනුවෙන් පමණක් වෙන් කොට තිබිණ. එහි පැමිණියේ දිස්ත්‍රික් ලේකම් හෝ ඉහල වගකීම් දැරුවන් පමණි. එහෙත් කොතනක හෝ තිබූ වරදකින් 89 ඔක්තෝබර් මැද දිනක ආර් ඩී එෆ් හමුදා කණ්ඩායමක් සෝමවංශ (එකල ඔහු රෙජී) සොයාගෙන එහි පැමිණ තිබුණි. එවෙලෙහි සෝමවංශ එහි නොසිටියත් ආර් ඩී එෆ් භට පිරිස නිවස යටත්කර ඇම්බුස් උගුලක් අටවා රැක සිටියේය. ආරි ගලවිල වත්ත නිවසට එන්නේ මේ අතරේය. රාජ්‍ය රකින්න්ට හුරු පුරුදු කල මාරයින් රැලක් ගලවිල වත්ත නිවස සිය ග්‍රහණයට හසුකරගෙන එහිම සැඟවී බලා සිටිනා බවට පිටතින් කිසිදු සළකුණක් නොවූයෙන් ආරි සුපුරුදු ලෙස එහි ඇතුළු විය. කිසිවක් සිතාගන්නටවත් ඉඩක් නොදී ඔහු මතට කඩාවැදුණු ආර් ඩී එෆ් මාරයින් සිරුර අඩපණ වෙනතුරු පහරදී විලංගු දැමූහ. හුරු පුරුදු විලාසයෙන් සාමාන්‍ය මිනිසෙකු එහි නොපැමිණෙන බව ඔවුන් දැන සිටියහ. ඒ අදහසට යටත්ව ආරියසේන අත් අඩංගුවට ගත්තත් මොහු කවුද? කුමන වගකීමක් දරන්නේද? යන්න පිළිබඳව හාංකවිසියක්වත් ඔවුන් දැන සිටියේ නැත. ඉහත කී සෙනරත් හා පැමිණි ලුතිනන්වරයාට මරණීය තුවාල සමගින් සිටි ආරි දකින්නට ලැබෙන්නේ ඔහු මත්තේගොඩට රැගෙන ඒමෙන් පසු නොකඩවා කල පහරදීම් වධබන්ධන වලින් අනතුරුවය. ඇම්බුස් උගුල අටවා තිබූ දිනක සෝමවංශ අමරසිංහ ද ගලවිල වත්ත නිවස ආසන්නයටම ගොස් දිවි බේරා ගෙන තිබුණේ ඉතා අහඹු ලෙසකිනි. අප දන්නා තරමින් ඒ දිනවල ගලවිල වත්ත ඇම්බුස් එකට හසු වුනු ආරි මෙන්ම තවත් සගයින් දහ දොලොස් දෙනෙකු පමණ පිරිසක් ඊට කොටු වීමෙන් පසු මරා දැමූනි. ඒ හැම කෙනෙකුගේම ඉරණම ඉතා භිහිසුණු විය. ඒ සියලු දෑ මෙවැනි කුඩා සටහනක් තුලට ගෙන ඒම දුශ්කරය.
ආරියසේන තෙන්නකෝන් වැලිමඩ ලුණුවත්ත ගමේ ඉපදී එම පාසලෙන් ශිෂ්‍යත්වය සමත්ව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය හරහා විද්‍යාවේදී උපාධිය ලබන්න 1970 දි කොළඹ සරසවියට ආවේය. ඔහු සරසවියේ පළමු වසර ගෙවෙන්නටත් පෙර 1971 අප්‍රියෙල් තරුණ නැඟීටීම මතුවිය. සිරිමාගේ සමඟි පෙරමුණ ඇගේ සැමියාගේ කාලයේ පටන්ගත් විද්‍යාලංකාර හා විදුදය සරසවි දෙකම වසා සිරකඳවුරු බවට පත් කලේය. මන්ද ඒවායේ සිසුන්ගෙන් අඩකටත් වඩා අරගල කරුවන් වීමට දඬුවමක් හැටියටය. අවංක තරුණයෙකු වූ ඔහු තමා වඩාත් ආකර්ෂණය වු සරසවි ගුරුවරයෙකු වූ ආචාර්ය සුචරිත ගම්ලත් අනුගමනය කරමින් ඔහුගේ දේශපාලනයට එකතු විය. එවකට එය විප්ලවවාදි කොමියුනිස්ට් සංගමය (සමාජවාදී සමානතා පක්ෂය) නමින් දේශපාලනයේ යෙදුනේය. එහි ඇදුරු මඬුල්ලේ සිටි විජේ ඩයස් හා පියසීලි විජේගුණසිංහ ද මේ දේශපාලන ව්‍යාපාරයේ වීම ආරිගේ දේශපාලන ආකර්ශනය වැඩි කරන්නට ඇත. ඔහු සරසවියෙන් පිටව යද්දී ට්‍රොට්ස්කිවාදි දේශපාලනය ගමටත් ගෙන ගියේය. 1974 විද්‍යා ගුරුවරයෙක් ලෙස නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන කාලයේ වි.කො.ස.දේශපාලන සාකච්චා වතු කම්කරුවන් අතරට ගෙන යන්නට ද ඔහු උත්සාහ කළේය. ඔහු සරසවියෙන් ගෙනා දේශපාලන දහමට කඳුකරයේ වෙසෙන පාරම්පරික ජනයාට තබා  පීඩිත වතු කම්කරුවන්වත් කන් නොදෙන්නට ඇත. පලාතේ ජවිපෙ සමාජිකයන් සමග මිත්‍රත්වයකට මුල පිරුනේ මේ කාලයෙය. ඔවුහු පක්ෂ නායකයාට මේ අවංක ට්‍රොට්ස්කීවාදීයා මුන ගැස්සවූහ.දක්ෂ භෞතික විද්‍යාව ගුරුවරයෙකු වූ ආරියසේනට පක්ෂයේ සහෝදරවරුන්ට අධ්‍යාපනය ලබා දීමට මැදිහත් වන්නැයි විජේවීර සහෝදරයා මෙහිදී ඇරයුම් කලේය. එයම ඔහු ප්‍රායෝගික දේශපාලනයට යොමු කලේය.
1980 ජූලි වර්ජනය හේතුවෙන් ආරිට සිය ගුරු වෘත්තිය  අහිමි වන විටත් ඔහු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. එදිනෙදා ජීවිතයේ අසීරුතාවයන්ට මුහුණ පෑමට සිදු විය.ඊට විසඳුමක් ලෙස ඔහුට අදහසක් තිබුනේය. ඔහු සිතුවේ පවතින තත්වයට විකල්පයක් ලෙස ගොවිපොළක් ආරම්භ කිරීම සුදුසු බවය. “නානුඔය“ ගොවිපොළ ඇරඹෙන්නේ එපරිද්දෙනි. 83 ජූලියේ  පක්ෂ තහනම සිදු වන විටත් ආරි ජවිපෙ පූර්ණ කාලීනකයෙකි. තහනමෙන් පසු රහසිගත දේශපාලනයට ගිය මුල් කාලයේ 84-85 වසර වල ඔහු  කොළඹ නාගරික කම්කරුවන් අතර වැඩ කළේය. ඒ දිනවල ජාතික රහස් තොරතුරු ඔත්තුසේවාව ඔහු පසු පස පැන්නීම හේතුවෙන් ඔහු කොළඹින් ඉවත්ව කළුතරටත් පසුව ගාල්ලටත් ගියේය. 87 ජුනි වලදී ඔහු හික්කඩුව ගෝනපිනුවල දී නන්දතික ගලප්පත්ති, ලලිත් විජේරත්න, ගුණපාල සතරසිංහ හා වෛද්‍ය සුමනරත්න ඇතුලු පිරිස සමග පොලිස් අත්ත්ඩංගුවට පත්ව මාස කිහිපයක් සිරබාරයේද පසු විය. අනතුරුව 88 වසර මුල පටන් ඔහු හම්බන්තොටට පැමිණියේ එහි දිසා ලේකම් ලෙසටය. එය පක්ෂයෙන් කෙරුණු එක්තරා සුවිශේෂී තෝරා ගැනීමකි. හම්බන්තොට ලංකාවේ අනිත් දිස්ත්‍රික්වලට සාපේක්ෂව සාමාජිකයන් වැඩි පිරිසක් ජ වි පෙට දිනාදුන් දිස්ත්‍රික්කයකි. කලක් එය වැජඹුනේ ජවිපෙ බලකඳවුරක් ලෙසිනි.දේශපාලනය තෝරාගත්  දේශපාලනය ඇසුරේ ජීවත් වෙන සියල්ල දේශපාලනිකව දකින දියුණු මිනිසුන් සමූහයකට මඟපෙන්වමින් නායකත්වය දිය හැක්කේ වඩා දියුණු  නායකයෙකුට පමණි.“සුගත්“ යන අන්වර්ථ නමින් හම්බන්තොටට යැවුනු ආරියසේන පක්ෂය විසින් කෙරුනු ඒ තෝරාගැනීමේ සුවිශේෂීත්වයට වටිනාකමක් සහ අර්ථයක් එකතු කළේය.
ආරි විවාහ වී සිටියේ නාලිනී ජයසිංහ සමගය. ඇය ඔහු උගන්වමින් සිටි ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල  ශිෂ්‍යාවකි. ඔහුට දරුවෝ සතර දෙනෙකි. ඔහු මරා දමන විටත් දරුවෝ බාල වයස්කාරයෝය.
“ලබන සතියේ චූටි පුතාගේ උපන්දිනේට නොවරදවා එන්නම්“ ….
දවස් කීපයකට පෙරාතුව ගෙදර ගිය වෙලේ ඔහු බිරිඳට කියා තිබිණ. කලාතුරකින් ගෙදර එන තාත්තාගෙන් විනාඩියකටවත් මිදෙන්නට ලොකු දුව ගයන්ති කැමති වූයේ නැත. ගයන්ති දියනිය කුඩා කාලේ ඔහු පත්තර විකුනන්නටත්, කැන්වසින්වලටත් ගියේ ඇය වඩාගෙනය.විටෙක ඇය ආරියසේනගේ බෙල්ල බදා උරිස්සේ හිස තියා නිදාගන්නීය.දරුවන්ට ඔහු දැක්වූයේ අසීමිත ආදරයකි. ඒ ආදරයම තමාගේ නොවන සියලු දරුවන් කෙරෙහිත් දක්වන්නට විප්ලවවාදියෙකුට හැකියාව තිබේ.ඔහු සිය බිරිඳට එලෙසම  ආදරය කළේය.තමා පක්ෂය තුළ දරන වගකීම් ගැන ස්වකීය බිරිඳවත් නොදැන සිටියාය. වගකීම් හා තනතුරුවල රශ්මියෙන් අනෙක් අය ඉදිරියේ විශේෂ අයෙක් බවට පත්වෙන්නට ස්වභාවයෙන්ම ඔහු තුළ අකමැත්ක් තිබුණේය.පක්ෂයේ සාමාජිකයන් අතර සිටිද්දී තවත් එක් සහෝදරයෙක් ලෙස හැරෙන්නට ඔහු වෙනත් වටිනාකම් තදින් ප්‍රතිකේෂ්ප කළේය.නොයෙක් විට පක්ෂයේ සහෝදරත්වය වඩා හොඳ අයුරින් පවත්වාගෙන යෑම වෙනුවෙන් විශේෂ අවදානය යොමු කරමින් සොයා බලන්නට මැදිහත් විය. සිය දේශපාලන ජීවිතයේදී ඉතා අසීරු තත්වයන් යටතේ වුවද මෙවැනි දේ වෙනුවෙන් ඔහු කාලය සොයා ගත්තේය.
මීට වසර 33 කට පෙර ඉල් මාසයේ දී ලංකාව මේ ඉරණමෙන් ගලවා  ගන්නට ජිවිත පරිත්‍යාගයෙන් වෙහෙසුනු නායකයන් මරා දැමුනි. දිවි පිදූ ආරිලා අපි අදත් සිහිපත් කරන්නේ මේ දුර්දාන්ත පාලනයට විරුද්ධ නිර්භිතව සටන් වදින පරපුරකට අතීත උරුමය සිහිපත් කරන්නටය.

සටහන-ගාමිණී මුතුකුමාරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *